මගේ ගෙවතු වගාව සාර්ථක වීෙම් රහස කුරුල්ලෝ ගෙවත්තට පැමිණීමයි

අම්බලන්ගොඩ බටපොළ තරූ කළුආරච්චි
සැප්තැම්බර් 12, 2022

 

මගේ වගාවට කෘමි නාශක භාවිත කරන්ෙන් නැහැ. වත්ත පුරාම කුරුල්ලන්ට කෑම තියනවා. ඒ කුරුල්ලෝ කෑම කන්න ආවාම පුංචි කෘමි සත්තු අල්ලාගෙන කනවා. ඵලදාව වැඩි කර ගන්න රසායනික පොහොර වර්ග ස්වල්පයක් නම් යොදනවා.

අප පසුගිය කාලය පුරාම මුහුණ දුන්නේ අනපේක්ෂිත අත්දැකීම්වලට ය. මෙයින් ප්‍රධානතම අත්දැකීම කොරෝනාය. එම වසංගතය හමුවේ බොහෝදෙනකුගේ ව්‍යාපාර කඩා වැටුණේ නොසිතූ ලෙසිනි. එසේම බොහෝ අයට අනාගතය පිළිබඳ දැක්මක් ද නොවීය. නමුත් ඇතැම් දක්ෂ කාන්තාවන් සියලු දේ කඩා වැටෙද්දී පවා අනාගතය පිළිබඳ සුබ සිහින දකිමින් බලාපොරොත්තු දල්වාගෙන ජීවිතයට මුහුණ දුන්නේ මහත් විශ්වාසයකිනි.

අම්බලන්ගොඩ බටපොළ තරූ කළුආරච්චි... ඇය ද ජීවිතයේ සියල්ල කඩා වැටීම හමුවේ ඒ සියලු දේ උපේක්ෂාවෙන් විඳ ගනිමින් ඉදිරියට පියවර තැබූ ගෘහණියකි. තම සියලු ව්‍යාපාර කඩා වැටෙද්දී තරූ දරුවන් හතර දෙනකුගේ මවක් ලෙස තම සැමියා සමඟ ජීවිතය ජය ගන්නට ගෙවතු වගාව සඳහා යොමු වී ඇත්තේ කඩා වැටුණු ආර්ථිකයට යම් තරමක් හෝ ශක්තියක් වෙන්නටය. දකුණේ ඈත දුෂ්කර පළාතක පුංචි වගාවක් ආරම්භ කළ තරූ උඩරට වැවෙන කැරට්, බීට්, ලීක්ස්, ගෝවා, බෝංචි වැනි එළවළු පවා සරුවට වගා කර ඇත්තේ ආදර්ශවත් ගොවිපොළක් ආකාරයෙනි. පර්චස් 20ක් වැනි ප්‍රමාණයක තම නිවෙස ද සහිතව පුංචි ගෙවත්තක් තනා තිබෙන තරූගේ ගෙවත්ත සකස් කර ගත් අයුරු අපට හෙළි කළේ මහත් සතුටිනි.

"මගේ සැමියයි මමයි දෙන්නම අපේම පුංචි ව්‍යාපාරයක් කළා. මාස් ආයතනයේ ලීනියා ඇක්වා කියන ෆැක්ටරියේ sub plant එකක් තමයි කළේ. පසුගිය කාලේ අපට ඒ ෆැක්ටරියේ ඕඩර් එක නැතුව ගියා. ඊට පස්සේ කරන්න දෙයක් නැතුව ගෙදරට වෙලා තමයි හිටියේ. අවුරුදු දහයක් විතර කරපු අපේ ව්‍යාපාරය නැවතුණාට පස්සේ අපට ආදායම් මාර්ගයක් නැති නිසා ගෙදර වියදම අඩු කරගන්න සෑහෙන්න උත්සාහ කළා. මගේ සැමියා නුවන් කළුආරච්චි. එයා මුදල් හොයා ගන්න එළවළු බීජ අලෙවි කරන්න පටන් ගත්තා. මම ගෙදර දරුවෝ හතර දෙනාවත් බලාගෙන වගා කරන්න පටන් ගත්තා.

අපේ මුළු ගෙවත්තම පර්චස් 20යි. නිවෙස පර්චස් 06ක් විතර තියෙනවා. පුංචි මල් වගාවකුත් එක්ක ඉතුරු ඉඩ ප්‍රමාණයේ තමයි එළවළු වගා කරන්නේ.

අපේ ගෙවත්තේ උඩරට වැවෙන සෑම එළවළු වර්ගයක්ම තියෙනවා. ඊට අමතරව බටු, මිරිස්, බණ්ඩක්කා, වට්ටක්කා, මෑ කරල් වගේ එළවළු වර්ග වගා කළා. දැන් අපි කිසිම එළවළුවක් කඩෙන් ගන්නේ නැහැ. වස විස නැති නැවුම් එළවළු ගෙවත්තෙන්ම කඩා ගන්නවා.
මගේ වගාවට කෘමි නාශක භාවිත කරන්ෙන් නැහැ. වත්ත පුරාම කුරුල්ලන්ට කෑම තියනවා. ඒ කුරුල්ලෝ කෑම කන්න ආවාම පුංචි කෘමි සත්තු අල්ලාගෙන කනවා. ඵලදාව වැඩි කර ගන්න රසායනික පොහොර වර්ග ස්වල්පයක් නම් යොදනවා. ඒ හැර කිසිම දෙයක් යොදන්නේ නැහැ. සති දෙකකට සැරයක් ගොම, එළු, කුකුළු පොහොර මිශ්‍රණයක් හදලා ඒක ගස් වටේට දමනවා. ඒ වගේම තමයි මගේ ගෙවත්ත වටේට වැටක් වගේ භෝග වගා කරලා තියෙන්නේ. ඒ වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා වගේ වැල් වර්ග තමයි වත්ත වටේම වැටවවල තියෙන්නේ. ඒක ගෙවත්තටත් ආවරණයක්. ඉඩ ප්‍රමාණයෙනුත් උපරිම ප්‍රයෝජනයක් ලැබෙනවා ඉතින් අද අපි සතුටින්."