වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
සැඳෑ සමයට වටිනාකමක් දෙන ගුරුතුමිය ගංගානි ගුණසේකර
ඔබ මේ දකින කාන්තා අත් බෑග් සියල්ල ඇය අතින් නිර්මාණය වූ ඒවායි. එම්බ්‍රොයිඩර්, පැච්වර්ක්, රේන්ද ආශ්රිත ඕනෑම නිර්මාණයක් හරි අපූරුවට සිදු කරයි.
කාලය රන් හා වටී. මේ රුවන් වැකිය අපි කා අතරත් බොහොම ප්‍රචලිතයි. එහෙත් කාලයෙන් නියම ප්‍රයෝජනයක් ගන්නේ කීයෙන් කී දෙනා ද? තරුණ ජවය රටට සම්පතක් කරගන්නට ඔවුන් සිතනවා නම් කාලය අපූරු වටිනාකමක් දේවි. මේ විශ්‍රාමික ගුරුතුමිය ඔබට දෙන පණිවුඩය එයයි.
ඇය ගංගානි ගුණසේකර. නුගේගොඩ, මිරිහාන පාරේ පදිංචි ගුරු ක්ෂේත්රයේ 37 වසරක අත්දැකීම්ලත් විශ්‍රාමික ගුරු මාතාවකි. බොහෝදෙනෙක් තමන් නියැළි රැකියාවෙන් විශ්‍රාම යන්නේ නිවී සැනසිල්ලේ ඉන්නවායි සිතමිණි. එහෙත් කායික, මානසික නීරෝගි බව උදෙසා යම්කිසි කාර්යයක නියැළීම වටී.
මේ විශ්‍රාමික ගුරුතුමියත් එසේය. ඇය සතු මැහුම්, ගෙතුම් හැකියාවෙන් අපූරු ප්‍රයෝජනයත් ගනී. ඔබ මේ දකින කාන්තා අත් බෑග් සියල්ල ඇය අතින් නිර්මාණය වූ ඒවායි. එම්බ්‍රොයිඩර්, පැච්වර්ක්, රේන්ද ආශ්රිත ඕනෑම නිර්මාණයක් හරි අපූරුවට සිදු කරයි. අද කාල ෙය් ඇතැම් තරුණියන් මේ වගේ සියුම් දේවල් නිර්මාණය කරන්න මැළිකමක් දක්වනවා. තම දෑතේ හැකියාවෙන් මුදලක් උපයාගන්න මෙය කදිම අවස්ථාවක්. ඒ වගේම තමන්ට ලැබෙන මානසික සුවයේ
වටිනාකම මිල කළ නොහැකිය. මේ ආදරණීය ගුරු මාතාව තම මුනුපුරාවත් ආදරයෙන් බලාගෙන බෑග් නිර්මාණකරණයේ යෙදේ. එමඟින් අතට පුංචි මුදලක් ද ලබා ගනී. අද කාලයේ විදියට එය පවුලට ලොකු ශක්තියක්.
"මම 1979 වසරේ පුහුණු ගුරුවරියක් ලෙස බෙලිඅත්ත ප්‍රදේශයේ පාසලකට පත්වීම ලැබුවා. උපන්ගම කෝට්ටේ වුණත් දුෂ්කර පත්වීමක් ලෙසයි එම පාසල ලැබුණේ. එහිදී සිසු දරු දැරියන්ට විද්‍යාව, ගණිතය විෂය ඉගැන්වූවා. එහෙත් මගේ හිත ගියේත් වැඩි හැකියාව තිබුණේත් කලා අංශයටයි. ඒ කාලෙදිත් පුංචි පුංචි අත්කම් නිර්මාණය කළා. පාසල් විවේක කාලයේ දී ගැහැනු ළමයි මා වටා එක්රොක් වුණා. ඒ මා අතින් නිර්මාණය වන නිර්මාණ බැලීමට, යමක් දෙස බලා එය මගේම දෑතින් නිර්මාණය කිරීමේ කුතුහලය මා සතුයි.
මේ නිර්මාණ කලාව මගේ ආදරණීය සැමියාත් ඇගයීමට ලක් කළා. ඔහු අද විශ්‍රාමික බැංකු නිලධාරියෙක්. අපට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. පොඩි දුවගේ පුතා එක්කයි මේ දවස්වල මගේ කාලය ගත කරන්නේ. ඉතිං මුනුපුරාවත් බලාගන්න ගමන් මගේ පාළුව කාන්සිය මකාලන්න තවමත් බෑග් නිර්මාණකරණයේ යෙදෙනවා. දන්න කියන අය නිර්මාණයේ වටිනාකමට මුදලක් දෙනවා. අතට මුදලක් ලැබෙන මෙයින් මනසට සැහැල්ලුවකුත් ගෙනෙනවා. ඇත්තෙන්ම අපි දැන් වයසයි කියලා මනසිනුත් තවත් වයසට යාම තමයි බොහෝ දෙනා කරන්නේ. විය යුත්තේ හදවතින් තරුණ වීමයි. එවිට වයස කුමක් වුවත් තමන්ට වටිනාකමක් දිය හැකියි.
මම විශ්‍රාමිකයි. ඒ ව ෙග්ම අත්තම්මා කෙනෙක්. ඒත් මගේ බෑග් නිර්මාණ තරුණියන් අතර බොහොම ජනප්‍රියයි. ඉතිං මා මනසින් තවමත් තරුණයි. එය මගේ නීරෝගි සුවයට ආශිර්වාදයක්.