තෙල් නිස්සාරණයෙන් ඉහළ ආදායමක්

ඔක්තෝබර් 3, 2022

 

කෑම උයන කොට සේර කෑල්ලක් දාන්න ඔබ අමතක කළේ නැහැනේ... සේර සුවඳ කෑමට දෙන්නේ, අමුතු ම ජීවයක්. අම්මලා ඒක අත්දැකීමෙන් දන්නවා. කෑමට දාපු සේර කෑල්ලේ ගුණ ගැන ඔබ දැනගෙන හිටියාද? ඔව්. සේර කියන්නේ, හොඳ පිළිකා නසන දෙයක්. කැස්සට, උණට සේර ගුණයි. දද, හොරිවලටත් සේර ගුණ දෙනවා කියලා පොත්පත්වල තියෙනවා. සේර කියන්නේ, නොම්බර එකේ විසබීජ නාශකයක්. ඒ වගේම ආහාර මාර්ගයේ සියලු ම ලෙඩ රෝගවලට සේර ගුණයි කියලා තමයි, කියන්නේ. ඒ විතරක් නෙමෙයි, විවිධ විටමින් වර්ග, ඛනිජ වර්ග, මැග්නීසියම්, සින්ක් වගේ ගොඩක් ගුණ සේරවල තියෙනවා. ඒ කියන්නේ, පෝෂණීය ගුණයත් ඉතා ඉහළ යි.

 

සේර තෙල්...

ගෙදර ගෙනාපු ඔබ නිතර ම භාවිත කරන පිරිසුදු කිරීමේ දියරවල සුවඳ ඔබට මතකද? එහි කටුක සැර ගතියක් තියෙනවා නේද? ඒවායේ ගොඩක් වෙලාවට තියෙන්නේ සේර තෙල්. අපි “ලෙමන් ග්‍රාස්” කියලා හඳුන්වන්නේ සේර. සේර ශාකයෙන් ලබා ගන්නා තෙල්වලට කියන්නේ ලෙමන් ග්‍රාස් ඔයිල්. ලෝකයේ ප්‍රධාන විසබීජ නාශක සකස් කරන අමුද්‍රව්‍ය අතරේ සේරවලට ප්‍රධාන තැනක් හිමි වෙනවා. ඉතිං ඒ හින්දා සේරවලට හොඳ අපනයන ආදායමක් ලබා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. සමහර රාජ්‍යයන් හි සේර කෑම බීම සඳහාත් භාවිත කරනවා. සේරවලින් රසවත් බීම හදනවා. අයිස්ක්‍රීම්, කේක්, පුඩින් වගේම චුයින්ගම්වලටත් සේර යොදා ගන්නවා. ඉතිං මේ වගේ වටිනාකමක් තියෙන සේර පැළයක් ඔබේ ගෙවත්තේ තිබ්බොත් හොඳයි නේද?

 

ආර්ථිකයට සවියක්...

ඇත්තට ම සේර ජාති දෙකක් තිබෙනවා. අපි කෑමට යොදා ගන්නා සේරවලට කියන්නේ, බටහිර ඉන්දියානු ලෙමන් ග්‍රාස් කියලා. තව වර්ගයක් තිබෙනවා ඒකට කියන්නේ කොචින් ලෙමන් ග්‍රාස් කියලා. තෙල් සකසා ගැනීම සඳහා යොදා ගන්නේ මේ කොචින් ලෙමන් ග්‍රාස් කියන වර්ගය යි. වගා කරන කොට වගාවේ ස්වභාවය අනුව මේ වර්ග දෙක භාවිත කරන්න මතක තියා ගන්න ඕනි. ඉතිං අපි නමෝ විත්තියෙන් ම ආර්ථික වශයෙන් ඵලදායීත්වයක් ලබා ගන්න පුළුවන් සේර වගාවක් ගැන කතා කරමු. මෙයට හොඳම ප්‍රදේශය තමයි වියළි කලාපය. ශ්‍රී ලංකාවේ බදුල්ල, හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවල සේර වගා කරනවා. ජලය හොඳින් බැහැලා යන හොඳින් හිරු එළිය තියෙන ප්‍රදේශයක් තමයි මේකට ඕනි. පස බුරුල් කරලා, වල් අයින් කරලා, පොළොව සකස් කරන්න ඕනි. අඩි 2 ක පරතරයට තමයි පැළ හිටවන්නේ. මේ ක්‍රමයට පැළ කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් බීජ පැළ. අනික දැනට පවතින වගාවක මොටෙයියාන් මඟින්.

අක්කරයට පැළ 8,000ක් 9,000ක් විතර හිටවන්න පුළුවන්. සාමාන්‍යයෙන් සේර වගාවට පොහොර යොදන්න අවශ්‍යතාවක් නෑ. ලෙඩ රෝගත් අනෙක් වගාවන් එක්ක බලද්දී ඇත්තට ම නෑ වගේ. මාස 03 යද්දී අස්වැන්න දෙනවා. ඊට පස්සේ මාස දෙකකට තුනකට සැරයක් වගේ අස්වැන්න ගන්න පුළුවන්. පොළොවේ ඉඳලා අඩි 06ක් විතර උඩින් ගොයම් කපනවා වගේ කපලා ගන්න ඕනි. හොඳින් හිරු එළිය තියෙන වෙලාවක තමයි අස්වැන්න නෙළා ගන්න ඕනි. නෙළාගත් අස්වැන්න මිටි බැඳලා තෙල් නිස්සාරණයට අරන් යනවා. මේ සඳහා බොයිලේරුවක් අවශ්‍ය යි. ගොඩක් අය කරන්නේ, බොයිලේරුවක් තියෙන තැනකට ගිහිල්ලා තෙල් ටික හින්ද ගන්න එක. මේක තමයි වාණිජ වගාවේ කතාන්දරය.

 

ගෙවත්තට සේර.....

ශ්‍රී ලංකාවේ ඕනෑම පළාතක සේර පඳුරක් හදා ගන්න එක ගැටලුවක් නෙමෙයි. හැබැයි හොඳින් හිරු එළිය තියෙන වතුර රැඳෙන්නේ නැති තැනක් තෝර ගන්න. පෝච්චියක වුණත් වගා කරන්න පුළුවන්. මේ සඳහා මුලින් කියපු බටහිර ඉන්දීය ලෙමන් ග්‍රාස් එක හිටවා ගන්න උනන්දු වෙන්න. මොකද, අපි කෑම සඳහා භාවිත කරන්නේ, මේ බටහිර ඉන්දියානු ලෙමන් ග්‍රාස් වර්ගය විතර යි. මේකට තිබෙන හොඳම වැඩේ තමයි, ඔබේ ප්‍ර දේශයේ තිබෙන සේර ගහකින් මොටෙයියෙක් ගලවා ගන්න එක. ඒ වගේම පෝච්චිවල හිටවනවා නම් ඔබ කාබනික ද්‍රව්‍ය, මතුපිට පස් හා වැලි සමව අරගෙන බඳුන් මාධ්‍යය පුරවා ගන්න. දැන් මොටෙයියා හිටවා ගන්න. ජලය ටිකක් ලබා දුන්නාට කමක් නෑ. නිතරම ජලය යෙදීම අවශ්‍ය නෑ. මොකද මෙයා වියළි කලාපයට ඔරොත්තු දෙන හින්දා ගොඩක් වතුර ඉල්ලන්නේ නෑ. පොහොර දාන්න අවශ්‍යයත් නෑ. විටින් විට කාබනික පොහොර, කොම්පෝස්ට් ටිකක් දැම්මා ම ඇති. මාස 03ක් විතර යද්දී පැළය වැඩිලා ඒවි. එතකොට අස්වැන්න ගන්න පුළුවන්. ඔබේ ගෙදරදොර අවශ්‍යතා සඳහා සේර කෑල්ලක් භාවිත කරන්න. ඒක හැම පැත්තෙන් ම ගුණයි. ශරීර සෞඛ්‍යයටත් හොඳයි. අම්ම කෙනෙක් විදිහට ඔබ මතක තියා ගන්න ඔබේ ආහාරයට සේර කෑල්ලක් යොදා ගන්න කොට ගෙදර ගැබිනි මාතාවක් හරි කිරිදෙන අම්ම කෙනෙක් හරි ඉන්නවා නම්, සේර ආහාරයට එකතු කරන්න හොඳ නෑ කියන එක.

මේ සඳහා වැඩි විස්තර දැන ගන්න 0112877841 අංකයට කතා කරන්න එහෙමත් නැත්නම් [email protected] යන විද´ත් ලිපිනයට ලියන්න.

ඉදිරිපත් කිරීම
රන්සිලු වටවල
අධ්‍යක්ෂ සංවර්ධන,
වැවිලි කර්මාන්ත
අමාත්‍යාංශය