වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කිසිම කෙනකුගෙන් යැපෙන්නේ නැති තැනට දූවරු හදන්න
සුදෝ සුදු මිහිදුම් වලාවන් පොරවාගත්, එකකට එකක් නොදෙවැනිව උනුන් පරයා නැඟෙන විසල් කඳු වැටි... ඒ අතර ගලා හැලෙන දිය දහරක, කුරුලු කූජනයක මිහිර සමඟ ගත හීගඩු නංවන ශීතල.... බලන බලන අත හරිත පැහැගත් පරිසරය.... මේ සොබාදහමේ සුන්දරත්වය හැමදාමත් විඳිමින් උදෑසන අවදි වී පාසල් යන ළමා ළපටීන් අතරින් ගමේ පාසලට පිය මනින හුරුබුහුටි දැරියක්....
දුෂ්කරත්වයයි සුන්දරත්වයයි අතර දෝලනය වෙමින් ගෙවුණු සොඳුරු ළමා වියක අවසන ඇය කොළඹ අග නගරය වෙත සේන්දු වෙනවා. ඒ ඇගේ ජීවිතය සොයාගෙනයි.
හිටිහාමි මුදියන්සේලාගේ ලක්ෂ්මි කුමාරි ඇගේ නමයි. අංක 73/23, සෙන් කැතරින් පාර්ක්, හෝකන්දර උතුර ලිපිනයේ පදිංචි, බොහෝ අය 'ලක්ෂ්මි කුමාරි' නමින් හඳුනන අසමසම ධෛර්යයකින් හෙබි ඇය ගැන කියන්නයි මා සූදානම් වෙන්නේ.. ඔබත් ජීවිතේ දිනන්න අදිටන් කරගත් තරුණියක් නම් මේ කතාව ඔබත් කියවිය යුතුමයි. ඉතින් අපි ඇගේ හඬට සවන් දෙමු.
ළමා කාලයට පිය නඟමු.....
"මම ඉපදුණේ, හැදුණෙ වැඩුණෙ වැලිමඩ, සපුගොල්ල කියන ගමේ. අපේ ගම ලස්සන වුණාට හරිම දුෂ්කරයි. පවුලේ වැඩිමලා වුණු මට සහෝදරයො තුන්දෙනෙක් හා එක් සහෝදරියක් ඉන්නවා. අද මතක් වෙනකොට හරිම ලස්සන ගමක ලස්සනට ගෙවපු ළමා කාලයක් කියලා හිතෙනවා. ඇත්තටම අගහිඟකම් මැද වුණත් බොහොම සුන්දර ළමා කාලයක් ගත කළා කියලා කියන්න පුළුවන්. මවුපියෝ, නෑදෑයො, මාව හොඳින් බලාගත්ත නිසා ජීවිතේ ලොකු අමාරුවක් ඒ වයසට මට දැනුණෙ නෑ.
ඔබ කොළඹට එනවා...
මම ඉගෙන ගත්තේ ඌව පරණගම මහ විදුහලෙන්. කලා අංශයෙන් උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. පාසල් අධ්‍යාපනය අවසන් වුණාට පස්සෙ, එහෙම දුෂ්කර, නොදියුණු පරිසරයක ඉන්න බොහෝදෙනකුට හිතෙනවා වගේම මටත් හිතුණා, මගෙ ජීවිතයත් මෙතැනින් එහා තැනකට ගන්න ඕනෙ කියලා. ඉතින් ජීවිතේ කියන්නෙ මොකක් ද කියලවත් හරියටම නොතේරුණු ඒ වයසෙ දී මගේ තීරණය වුණේ රැකියාවක් කිරීමයි. ඒ අරමුණින් 2002 අවුරුද්දේ රුපියල් 300ක් අතේ තියාගෙන කොළඹට ආවා. එතකොට කොළඹ පාරක් තොටක්වත් දැනගෙන හිටියෙ නෑ.
එහෙම කොළඹට ආපු මම රුපියල් 3500ක පඩියකට ඇඟලුම් කම්හලක සහායිකාවක් විදිහට රැකියාවක් හොයා ගත්තා. ඒකත් මට ඒ කාලෙ ලොකු ගාණක්. ඒ රැකියාව කරන අතරෙම පරිගණක පාඨමාලාවක් හැදෑරුවා. අධ්‍යාපනයෙන් ඉහළට යන අතරෙ ඒ ඇඟලුම් ආයතනයේ ම රැකියාවේ ඉහළටත් ගියා. පස්සෙ ඒ ආයතනයෙන් ඉවත් වෙලා, පරිගණක සම්බන්ධ විදේශීය සමාගමකට එකතු වුණා. ඒ ආයතනයේ ලංකාවේ පාලකවරිය දක්වාම ඉහළට ගියා. ඉහළම වැටුපකුත් මට ඒ ආයතනයෙන් ලැබුණා.
කේක් නිර්මාණ කලාවට පිවිසුණේ කොහොමද?
පරිගණක ආයතනයේ රැකියාව කරන අතරෙ, දෙවැනි බබාගෙ උපන්දිනේට කේක් එකක් මගේම අතින් හදන්න අදහසක් ආවා. අන්තර්ජාලයෙන් තොරතුරු හොයාගෙන කේක් එකක් හැදුවා. ඒක හොඳම විදිහට හැදුණා. එතැන් සිට ලොකු උනන්දුවක් ඇති වුණා. ඒ උනන්දුව තමයි කේක් කලාවේ මේ ගමනට පාර පෙන්නුවේ.
එතැනින් එහාට පුළුවන් හැම මොහොතකම ඉගෙන ගනිමින් අත්හදා බලමින් කේක් හැදුවා. ඇත්තටම කේක් එකක් හදාගන්න පුළුවන් කියලා මටම තහවුරු වුණු මොහොතෙ, මං කල්පනා කළා, අමතර ආදායමක් විදිහට කේක් හදන්න. ඒ අනුව අන්තර්ජාලයේ දැන්වීම් පළ කරලා වැඩේ පටන් ගත්තා. ඒ වෙනකොට කේක් හදන අය අඩු නිසා මට ඇති තරම් ඇණවුම් ලැබුණා. රැකියාවට යන අතරෙ රෑට කේක් හදන එක කළා. ඒක හොඳටම කරන මට්ටමට ආවට පස්සෙ තීරණය කළා කේක් පන්ති කරන්න.
පන්ති ආරම්භය.....
මම හිටියෙ කුලියට ගත්ත ගෙදරක. කේක් හදන්න වගේම පන්ති සඳහාත් අන්තර්ජාලයේ දැන්වීම් පළ කරලා ළමයි දෙතුන් දෙනෙක් සොයා ගෙන ගෙදරම පන්ති පටන් ගත්තා. බොහොම ඉක්මනට කේක් හැදීමේ ව්‍යාපාරය වගේම පන්ති කරන එකත් ඉදිරියට ආවා.
ඉක්මනට කේක් හැදීමේ ව්‍යාපාරය වගේම පන්ති කරන එකත් ඉදිරියට ආවා. ඒ අතරෙ BMICH එකේ කේක් ප්‍රදර්ශනයක් කළා. ඊට පස්සෙ පොඩි ෂොප් එකකින් පටන් අරන්, දැනට බත්තරමුල්ලේ තිබෙන 'ලක්ෂ්මි කුමාරි ඉන්ටර්නැෂනල් සුගර් ස්ටුඩියෝ' ආයතනය තියෙන තැනට ගෙනාවා.
ඒ අතරෙම අයිසිං මල් කලාව ඉගෙන ගෙන එයත් උගන්වන්න පටන් ගත්තා. ඉස්සෙල්ලාම කළේ එක් දින පාඨමාලාවන්. පස්සෙ, පාඨමාලාවන් ගණනාවක් පටන් ගත්තා. මමම උගන්නලා හදාගත් සහායිකාවන්ම ගුරුවරුන් විදිහට බඳවා ගෙන පිට පළාත්වල පවා, එක දිගට දින පහේ පාඨමාලාවන් පවත්වනවා. ඊටත් පස්සෙ ස්ථාන ගණනාවක සතියට දවසක් ගානෙ පන්ති පවත්වනවා.
රත්නපුර, කුරුණෑගල, මීගමුව, ගම්පහ, නුවර, මාතර ආදී ප්‍රදේශවල දැනට පන්ති කරනවා. මේ විදිහට මගේ ආයතනය පුළුල් කරන්න මට හැකියාව ලැබුණා.
දැනට ඔබ කරන පාඨමාලාවන් මොනවද?
ඇත්තටම පාඨමාලාවන් ගොඩක් තියෙනවා. කෙටි නම්වලින් කිව්වොත්, Basic, Sugar Flowers, Diploma, Master. මේ කියපු ඒවා ඇතුළෙම තව ඒවා තියෙනවා. ඒ වගේම ලෝකයේ කේක් සම්බන්ධව ඉහළම වටිනාකමක් තියෙන අමෙරිකාවේ WILTON ආයතනයේ නියෝජිතවරියක් විදිහටත් මං කටයුතු කරනවා. ඒ නිසා Wilton 1, 2, 3 යන පාඨමාලාවනුත් අපේ ආයතනයෙන් කරගන්න පුළුවන්.
ඔබ මේ ගමනේ දී මුහුණ දුන් අභියෝග මොනවාද?
මම ආවෙ පහසු ගමනක් නෙමෙයි. මගේ බිස්නස් පේජ් එක දෙපාරක් හැක් වෙලා තියෙනවා. ඉස්සෙල්ලා සැරේ හැක් වුණාම දවස් තුනකින් ඒක හදාගත්තා. ඒත් දෙවැනි සැරේටත් ඒකම වුණා. දවස් ගාණක් උත්සාහ කරලාත් ඒක හදාගන්න බැරි වුණා. මේ ව්‍යාපාරය කරගෙන ගියේම අන්තර්ජාලය පාවිච්චි කරලා. ඒ නිසා පේජ් එක නැතිවෙනවා කියන්නෙ සියල්ල අවසානයි කියන එක. ඒත් දෙවැනි පාර පේජ් එක අහිමි වෙලා යනකොට මම කේක් සම්බන්ධව මේ රටේ ලකුණක් තියලා. ඒ නිසා ඒ කඩා වැටීම එක්ක අලුත් පේජ් එකක් හරහා නැගිටින්න එච්චරම අපහසු වුණේ නෑ. ඒ වගේම කේක් හදන එක කරද්දි, ලොකු කාර්ය මණ්ඩලයක් හිටිය. මුල් කාලෙ රැකියාවටත් යන නිසා ආයතනයට සම්පූර්ණ අවධානයක් දෙන්න බැරි වුණා. ඒකෙන් වුණේ, පහුගිය කොරෝනා පැතිරෙන්න ආසන්නව තියෙද්දි ලක්ෂ ගාණක වංචාවක් මට අහුවුණු එකයි. ඇත්තටම එතැනත් මම වැටුණා.
ආ ගමන දෙස ආපහු හැරී බලනකොට මොකද හිතෙන්නේ?
අමාරුකම් මැද වුණත්, ආපහු හැරිල බලද්දී පුදුමාකාර ආඩම්බරයක් දැනෙනවා. මොකද මේක මම තනියෙන්ම ගොඩදාපු ව්‍යාපාරයක් නිසා. එදා ඉස්සෙල්ලම උපන්දින කේක් එක හදපු දවසෙ ඉඳලා මේ වෙනකම් කාලය ගත්තොත් ඒක ලොකු කාලයක් නෙමෙයි. හැබැයි මේ ක්ෂේත්රයට මම එකතු කරපු දේවල් එක්කම ඒ කෙටි කාලය තුළ ඇවිත් තියෙන්නෙ මටවත් හිතාගන්න බැරි දුරක්. ඉතා කෙටි කාලෙකින් මහා දුරක් ආවට ඒ නිකන් ඔහේ ඇවිද ගෙන ආවා නෙමෙයි. ඇත්තටම මට හැකි තරමටත් වඩා බරක් ඔසවගෙනයි මේ ගමන ආවේ. රැකියාව කරන අතරෙ රෑ නිදි මරාගෙන කේක් හැදුවා. ඒ අතරෙ ඉගෙන ගත්තා. විශේෂයෙන් ම කියන්න ඕනෙ කාරණය මම දන්නෙ කේක් හදන්න විතරක් නෙමෙයි. මම බොහෝ දේවල් ඉගෙන ගෙන තියෙනවා. ඕනෙ නම්, ඔයාට සපත්තුවක් හදලා දෙන්න වුණත් මට පුළුවන්. දවල් රෑ නොබලා, ගැහැනියකට එන අමාරුකම් පවා නොසලකා වැඩකරපු කෙනෙක්. අඩුම තරමේ ලෙඩක් හැදුණු වෙලාවකවත් නිදාගෙන හිටපු කෙනෙක් නෙමෙයි. දරුවා ලැබෙන්න හෙට රෝහල් ගතවෙන්න තියෙද්දි, අද තට්ටු ගාණක් උඩ නැඟලා පන්ති කරලා ආවා. අන්න ඒ උත්සාහය, කැපකිරීම සහ මනා කළමනාකරණය, වගේම ඕනෙ ම අවදානමක් ගැනීමේ සූදානම තමයි අද මාව මෙතැන තියලා තියෙන්නේ. හැබැයි, මට තාමත් මහන්සි නෑ. ඒ නිසා මම මෙතැනින් නවතින්නේ නෑ. මේ ක්ෂේත්රය තුළ වගේම, මේකෙන් පිට දේවලුත් ඉගෙන ගන්නවා. මොකද හැමදාමත් මම සතුටු වුණේ අලුත් යමක් ඉගෙනීමෙන්. ඉස්සරහට මට තව ගොඩක් දේවල් කරන්න පුළුවන්.
ඒ වගේම මම යෝජනා කරනවා, ඔබ කැමැති ඕනෑම ක්ෂේත්රයක් ගැන නිවැරැදිව ඉගෙන ගන්න කියලා. එයින් ඔබට බොහෝ දුර යා හැක. ඒ වගේම තමන්ගෙ දූ දරුවන්ට දේපොළ, දෑවැද්ද ගොඩගහනවට වඩා, ඔවුන්ට ඔවුන්ගේම දෙයක් කරගන්න පුළුවන් විදිහේ වෘත්තීය දැනුමක් ලබා දෙන්න. විශේෂයෙන් තමන්ගෙ දූවරුන්ට කිසිම කෙනකුගෙන් යැපෙන්නේ නැතිව තමන්ගේම දෙයක් කර ගන්න පුළුවන් තැනට හදන්න. මං හිතන විදිහට ඒක තමයි අපි ඔවුන්ට ලබාදෙන හොඳම දෑවැද්ද, හොඳම දේපොළ වෙන්නෙ.
ඉතින් මේ ආව ගමන ගැන, දැන් ඉන්න තැන ගැන ඇත්තටම සතුටු වෙනවා. මොකද මේ හැමදේම කළේ දරුවො තුන් දෙනකුගේ මවක් විදිහටයි. විශේෂයෙන් අම්මකුගෙ හයියත්, දරාගැනීමත් මගේ මේ ජයග්‍රහණයේ තියෙනවා. ඒ නිසා දැන් මම හැම දේකින්ම සතුටු වෙන කාන්තාවක් කියලා කිසිම දෙගිඩියාවක් නැතුවම කියන්න පුළුවන්.
පාලිකා දිල්රුක්ෂි