නව වසරට පාසල් බෑගයක්

දෙසැම්බර් 19, 2022

ළඟ එන නව වසරේ පාසල් යන අපේ දූ දරුවන්ට පාසල් බෑගයක් නිවසේදීම මසා ගත හැකි අයුරු අපි අද ඔබට ඉදිරිපත් කරමු. අද වන විට දරුවෙකුට පාසල් බෑගයක් වෙළඳ පළෙන් මිලදී ගැනීම දෙමව්පියන්ට අසීරු තාවයක් වී තිබෙනවා. ඒ පාසල් බෑග් එකේ මිල පුදුමාකාර විදියට ඉහළ ගොස්. ඒත් ඉතින් එහෙම කියලා දරුවෙකුට නව පාසල් වාරයට අලුතින් බෑග් එකක් අරන් නොදෙන්නෙ නැහැනෙ. සෑම මව්පියෙක් ම තමන්ගේ දරුවන්ට ඉගෙන ගන්න දේවල් වලට කිසිදු අඩුපාඩුවක් කරන්නේ නැහැ. කොහොමහරි පොත් පැන්සල් බෑගය අරන් දෙනවා. ඉතින් ඒ අතර මේ බෑග් එක ඔබට මහල දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් කෙතරම් අගනේ ද?

 

අවශ්‍ය දේවල්

ඝනකම් රෙදි වර්ගයක්

ලයිනින් රෙදි

නො 8 සිප් යාර 2

නො 8 සිප් හෙඩ් 3

පැඩිං

හැඬ්ල් පටි යාර 1

දැල් රෙදි යාර 1/4

එජෙස්මන්ට් ලොක් 2

 

 

මේ සඳහා

ඡායාරූපයේ ඉදිරිපත් කර ඇති පතරොම් කාඩ්බෝඩ්වල ඇඳ කපා රෙදි මත තබා කපාගන්න. පළමුව පිටුපස කොටස සකස් කර ගනිමු. අංක 1 පිටුපස පතරොම ගෙන රෙදි ,ලයිනින් , පැඩිං කපාගෙන එකට තබා මසන්න. අංක 2 බෑගයේ වටේ බෝඩරය වේ.

මෙම බෝඩරේ ඉහළ සිට අඟල් දෙකක් දෙපසින් ම පහළට දැල් රෙදිවලින් බෝතලය බහාලිය හැකි පරිදි අඟල් හයක් උස කොටසක් කපා අල්ලන්න. අංක තුන සිප් බෝඩරය වේ. රෙදි, ලයිනින්වලින් කපාගෙන වටේම මසන්න. හරි මැදින් දෙකට වෙන් කර සිප් එක අල්ලන්න. එය අංක දෙක බෑග් බෝඩරයට සම්බන්ධ කරන්න. මෙම බෑග් බෝඩරය අංක එක පිටුපස පලුව වටේට තබා මසාගන්න. අංක හතර හැන්ඩ්ල් පටි දෙක සකස්කර ගනිමු. රෙදි කොටස් දෙක අතරට පැඩිං කොටස තබා වටේ මසාගන්න. එලෙස කොටස් දෙකම සකසා ගන්න. හැන්ඬ්ල් පටිය එජෙස්මන්ට් ලොක් දමා සකස් කර හැන්ඩ්ල් පටි දෙක සම්බන්ධ කරගන්න. පිටුපස බැලූවේ ඉහළ සිට දෙපසට හැඬ්ල් පටි දෙක තබා මසන්න. අංක එක පතුරමින් තව ලයිනින් රෙදි කොටස් එකක් තබා කපාගන්න .අංක 5 බෑග් බෝඩරය රෙදිවලින් කපාගන්න. අංක හය සිප් බෝඩරය මැදින් සිප් එක අල්ලන්න .කොටස් දෙක එකට එකතු කරන්න. කපා ගත් ලයිනින් රෙදි කොටස වටේට මෙම බෑග් බෝඩරය තබා වටේ මසන්න. දැන් මෙම කොටස මසා අවසන් පිටුපස කොටසට එකතු කරන්න.දැන් අපි ඉදිරිපස පොකට් කොටස සකස් කරමු. ඒ සඳහා රූප සටහන් උපයෝගී කරගන්න .අංක දහය රෙදි, ලයිනින් එකට තබා වටේ මසන්න .එම්බ්‍රොයිඩර් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඇති ආයතනයකදී කරවාගන්න .අංක 8 රෙදි කොටස කවාකාර කොටසට අංක 9 කොටස හා සිප් එකකින් සම්බන්ධ කරන්න.රූප සටහන් බලන්න. දැන් එම කොටසට අංක 10 කොටස තබා මැහුමක් හරහට ගසන්න. ඉදිරිපස කොටසේ ඉඩකඩ වැඩි කිරීම සඳහා 7 වන කොටස අවශ්‍ය වේ. 9 රූපයේ 2" කොටස ඇතුළට නවා ඒ මත 7 කොටස දෙපසට තබා සාක්කු කොටස සාදන්න.මසා ගත් සියලුම කොටස් වැසෙන පරිදි ලයිනින් රෙදි කොටසක් තබා මසන්න .දැන් මෙම පොකට් කොටස බෑග් එකට සම්බන්ධ කරන්න . සියලුම කොටස් එකතු කළ යුත්තේ කණපිට පැත්තෙනි. අවසානයේ බෑගය හොඳපිට හරවන්න.

 

ඔබේ පාසල් යන දරුවාට නව වසරේ අලුත් බෑගයක් මසා දීමට ඔබත් උත්සාහ කරන්න.

 

උපදෙස්

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

ඉරේෂා අබේකෝන්