අහකදාන පොල්ලෙලි ගෙනෙයි ගෙදරටම සල්ලි

පොල් ලෙලි වෙළෙදාමෙන් ලක්ෂපතියෙකු වන මඟ
මාර්තු 6, 2023

 

 ඔබ සුළුවෙන් ආරම්භ කරන මේ පොල් ලෙලි ව්‍යාපාරය සඳහා ලෙලි සොයා ගැනීමේදී ඉතාම කල්පනාකාරී වෙන්න. ඔබ පොල් ලෙලි කාගෙන් හෝ මිලදී ගන්නා විට ඉතාම හොඳින් ඝනකම ඇති වැඩිය වේළී නැති ලෙලි තෝරා ගන්න.

සෑම සාර්ථක ව්‍යාපාරිකයකුගේ ජීවිතයේ රහසක් තිබේ. මේ රහස ඔහු හෝ ඇය කිසිම දිනක ලෝකයට හෙළි කරන්නේ නැහැ. නමුත් බොහෝදෙනෙක් සාර්ථක ව්‍යාපාරිකයන් අනුකරණය කරන්න උත්සාහ කරනවා. හැබැයි ව්‍යාපාරයක් සාර්ථක කර ගන්න අනුකරණය කිරීම නැති නම් කොපි කිරීමට වඩා අනුගමනය කිරීම තමයි ප්‍රතිඵලදායක. බොහෝ දෙනෙකුගේ ව්‍යාපාර ඉතාම කෙටි කාලයකින් අසාර්ථක වෙන්න ප්‍රධානම හේතුව සාර්ථක ව්‍යාපාරයක් දෙස බලාගෙන ඒ ව්‍යාපාරයම තමුන් කරන්න උත්සාහ කිරීමයි.

හැබැයි සමහර ව්‍යාපාර තිබෙනවා අනුකරණය හා මඟපෙන්වීම දෙකම වැදගත් වෙන අවස්ථා. මේ වගේ ආර්ථික අසීරුකම් ඇති කාලයක කවුරුත් සිතන්නේ අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න. සමහරු හිතනවා තමුන්ගේ රැකියාවට අමතරව පුංචි ව්‍යාපාරයක් කරලා අමතර මුදලක් සොයා ගන්න. තවත් සමහර ගෘහිණියන් උත්සාහ කරන්නේ නි‍ෙවසේ වැඩකටයුතු කරන ගමන්ම අමතර ආදායමක් ලබාගන්න.

ඇතැම් විට මෙවැනි සිතුවිල්ලක් ඔබේ සිතට දැනෙනවා ඇති. අප පුවත්පතේ පසුගිය කලාප කිහිපයකදී එවැනි පුංචි පුංචි ව්‍යාපාර කිහිපයක් සඳහා මඟපෙන්වීම ලබා දුන්නා. ඒ සඳහා අපගේ පාඨකයන් සිය දහස් ගණනක් විමසීම කළේ පුදුම උනන්දුවකින්. මේ තිබෙන අසීරුතාවන්ගෙන් ගොඩ එන්න ඔබ දරන ඒ උත්සාහ ගැන අප අගය කරනවා. ඔබේ උත්සාහයට දිරියක් වෙන්න අප මෙවරත් එවැනිම


පුංචි ව්‍යාපාරයක් හඳුන්වා දෙනවා. පසුගිය කාලයේ අපේ රටේ ඉතාම ජනප්‍රිය වුණු ටෙලිනාට්‍යය වුණේ ‘නාඩගම්කාරයෝ.’ මේ නාට්‍යයේ සරා ඇතුළු තරුණ කණ්ඩායම පුංචි ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ තමයි පොල් ලෙලි ව්‍යාපාරය. ඇත්තටම මේ පොල් ලෙලි ව්‍යාපාරය අපට විදේශ විනිමය ගෙනෙන හොඳම ව්‍යාපාරයක්. ඒ විතරක් නොවෙයි මෙවැනි පුංචි ව්‍යාපාරයකින් හොඳ මුදලක් තමුන්ගේ නිවසේ සිට සොයන්න පුළුවන්.

සාමාන්‍ය‍ෙයන් පොල් ලෙලි ව්‍යාපාරයක් කියන්නේ සල්ලි මවන උල්පතක්. හැබැයි බොහෝ දෙනෙක් මේ ව්‍යාපාරයට යොමු වෙන්න මැලිවෙන්න එක් හේතුවක් වෙන්නේ ප්‍රාග් ධනයක් නොතිබීමයි. පොල් ලෙලි කැබැලි කරන්න මැෂිමක් නැතිව බැහැ කියලා තමයි බොහෝදෙනෙක් සිතන්නේ. නමුත් අපට මේ ව්‍යාපාරයට මුලින්ම ප්‍රවේශ වෙන්න අතේ පුංචි මුදලක් ප්‍රමාණවත්. මැෂිමක් ගන්න ලක්ෂ ගණනක මුදලක් නොමැති නම් ඔබට මේ ව්‍යාපාරය මුලින්ම පුංචියට පටන් ගන්න ක්‍රමය තමයි අප ඔබට හඳුන්වා දෙන්නේ.

සාමාන්‍යයෙන් මේ ආකාරයට මුලින්ම අතින් පොල්ලෙලි කපලා පැකට් කරලා විකුණලා ඔබට පුළුවන් මේ ව්‍යාපාරය ගැන මූලික අවබෝධයක් ලබා ගන්න. ඉන්පසුව දෙවන පියවර වශයෙන් ව්‍යාපාරයේ සාර්ථකත්වය අනුව මැෂිමක් ගන්න එක තීරණය කරන්න පුළුවන්.
ඔබ මුලින්ම කළ යුත්තේ හොඳ කැපෙන පිහියක් යොදාගෙන පොල් ලෙලි කැබැලි කර පැකට් කර ගැනීමයි. මේ සඳහා පහසුම ක්‍රමය වන්නේ මුලින්ම ඔබ එකතු කර ගත් පොල් ලෙලි කුඩා තීරුවලට ඉරා ගැනීමයි. ඉන්පසුව එම කුඩා තීරු කොටයක් මත තබා කැබැලි කර ගැනීමයි. දැන් මෙලෙස කැබැලි කර ගත් පොල් ලෙලි මතට හොඳින් ජලය යොදන්න. එලෙස ජලය යොදා පොල් ලෙලි කැබැලිවල ඇති ලවණ ගතිය අඩුකර ගන්න. එසේ සෝදා ගත් පොල් ලෙලි හොඳින් අව්වේ වේළා ගැනීම ඊළඟ පියවරයි. මෙලෙස වේලාගත් පොල් ලෙලි කැබැලි වෙළෙඳ පොළට එක්කිරීමට පෙර පැකැට් කර ගත යුතු වෙයි. ඒ සඳහා ඔබ කළ යුත්තේ විනිවිද පෙනෙන පොලිතින් කවර යොදා ගැනීමයි. කිලෝ 1 – 5 දක්වා ප්‍රමාණයට මෙම පොලිතින් මළුවලට පොල් ලෙලි කැබැලි යොදා වෙළෙඳපොළට එක් කරන්න.
මෙලෙස ඔබ සුළුවෙන් ආරම්භ කරන මේ පොල් ලෙලි ව්‍යාපාරය සඳහා ලෙලි සොයා ගැනීමේදී ඉතාම කල්පනාකාරී වෙන්න. ඔබ පොල් ලෙලි කාගෙන් හෝ මිලදී ගන්නා විට ඉතාම හොඳින් ඝණකම ඇති වැඩිය වේලී නැති ලෙලි තෝරා ගන්න. මිලදී ගන්නා ලෙලි ගබඩා කිරීමේදී සෑම විටම පිට පැත්ත පෙනෙන ආකාරයට රඳවා ගන්න. එවිට මෙහි ජලය රැඳීම වළකියි. දැන් ඔබ මෙලෙස සකස් කරගත් පැකට් සාම්පල් කිහිපයක් පැළ අලෙවි කරන ස්ථානයකට හෝ කෘෂි වෙළෙඳ සැලකට රැගෙන ගොස් ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණය ගැන දැන ගන්න. ඔබ කපා ඇති පොල් ලෙලි තව විශාල විය යුතු යැයි වෙළෙන්දා පැවසුවොත් ඒ ප්‍රමාණය ඊළඟට කෑලි කපන්න. ඔබ පොල් ලෙලි කැබලි කරන විට සෑම විටම කෙඳි නොමැතිව පැකට් කරන්න. එසේම ඇසුරුම් කරන විට ආකර්ෂණීය ලෙස ලේබල් කර තොග වශයෙන් අලෙවි කරන්න.

මෙය ගෘහිණියකට ඉතාම අගනා ස්වයං රැකියාවක් වන අතර මෙලෙස කැබැලි කර විකුණන අතර විදේශ වෙළෙඳපොළ සඳහා නිරායාසයෙන්ම මාර්ගයක් සොයා ගැනීමට අපහසු නොවේ. එලෙස ඔහුගේ ව්‍යාපාරය දියුණු මට්ටමට පැමිණෙන විට පොල් ලෙලි මැෂිමක් ගැන සිතන්න. ඔබ එවැනි මැෂිමක් ගත් පසු ඉතාම කාර්යක්ෂම ලෙස ඔබේ ව්‍යාපාරය ඉතාම පහසුවෙන් දියුණුකර ගැනීමට හැකිවන අතර හොඳ ලාභයක් ද ලබා ගැනීමට හැකිවනු ඇත. ඔබට මේ ව්‍යාපාරය ගැන වැඩි විස්තර අවශ්‍ය නම් 0112429592 අපගේ අංකයෙන් විමසන්න. අප වැඩි විස්තර හා තොරතුරු ලබා දෙන්නට සූදානම්.