උත්සව අවස්ථාවකට හැඩට අඳින්න සාරි ජැකට් එකක්

මාර්තු 6, 2023

 

සාරිය ලියකගේ ලාලිත්‍ය අපූරුවට ඔප්නංවන ඇඳුම් විලාසිතාවකි. සාරි විලාසිතාවෙන් ඒ තරමට ම කාන්තා රුව ඔපලන්නට නිසි නිමාවක් ඇති සාරි ජැකට් එකත් හේතුවක් වෙනවා.

“හැඩට සාරිය අඳින්න නම් ලස්සනට සාරි ජැකට් එක තියෙන්න ඕනෑ.”

බොහෝ ලියන් මෙලෙස පවසන්නේ ඒ නිසාමයි.

ඔබ සාරි ජැකට් එක මස්සවා ගැනීමට මැහුම් ශිල්පිනියකගේ සේවය ලබා ගන්නවා විය හැකියි. එහිදී සාරි ජැකට් එකට හොඳ නිමාවක් එක් වන්නේ ඔබෙන් ඉටුවිය යුතු වගකීම් පෙළක් නිසි ලෙස සපිරෙනවා නම් පමණයි.

අලුත්ම සාරියකට ලස්සනම සාරි ජැකට් එකක් අඳින්න ඔබේ සිතෙත් කැමැත්තක් ඇති. මෙහිදී ඔබ පළමුව තීරණය කළ යුත්තේ සාරි ජැකට් එක මසන මෝස්තරයයි.

එය ඔබට ගැළපෙනවා ද? ඔබේ සාරි රෙද්දට ගැළපෙනවාද? සිතා බලන්න. අද අපි ගෙන එන්නේ උත්සව අවස්ථාවකට

ගැළපෙන තරුණියකට සුදුසු සාරි ජැකට් එකකි.

උරහිස, පපු වට, උරහිස සිට පොයින්ට් උස, උරහිස බ්‍රාකට් උස, හැට්ටයේ උස, ඉණ වට, ඩාර්ට් පරතරය, කර ගැඹුර, අත දිග, අත වට, අත් කට, අංශ උස

උරහිස මිම්ම දෙකට බෙදා එයට අඟල් 1/2ක් එකතු කරන්න. පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එයට අඟලක් එකතු කරන්න. ඉණ දක්වා උසට අඟල් තුනක් එකතු කරන්න, පොයින්ට්  උස අඟල් 1/2ක් ද බ්‍රාකට් උසට අඟල්  1/2, ඉණ වට හතරට බෙදා අඟල් 1 1/4ක් එකතු කරන්න. ඩාර්ට් පරතරය දෙකට බෙදා අඟල් 1/2ක් එකතු කරන්න. කර ගැඹුරට අඟල් 1/2ක් එකතු කරන්න. අත දිග සඳහා අඟල් 1/2ක් එකතු කරන්න. අතවට දෙකෙන් බෙදා අඟල් 1/2ක් එකතු කරන්න. අත් කට දෙකට බෙදන්න. අංශ උසට අඟල් 1/2ක් එකතු කරන්න.

 

මෙම සාරි හැට්ටය සඳහා ලේස් රෙදි  යාර 1  1 /4 හා ලයිනින් යාර 1ක් අවශ්‍ය වේ.

ලයිනින් සඳහා ගන්නා රෙද්ද සෝදා වියළා අයන් කරගන්න. එය දෙකට නමා එම නැම්ම මුදුනේ සිට හරහට A හා B දක්වා උරහිස දෙකට බෙදා අඟල් 1/2 ලකුණු කරන්න.

B සිට පහළට අඟල් 1 1 /2ක් පහත්කර එය A දක්වා යා කරමින් උරහිස රේඛාව ඇද ගන්න.

A සිට පහළට අඟල් 7ක් පහත් කර එතැන් සිට ඉදිරියට C දක්වා උරහිස ප්‍රමාණය දෙකට බෙදා අඟල් 1/2 ලකුණු කර  1 - රූප සටහනේ පෙනෙන ලෙස අත් කට හැඩය ඇඳ ගන්න.

A සිට පහළට අඟල් 8ක් පහත් කර  කර ගැඹුර හා කර පළල ඇඳ ගන්න. D සිට පහළට ඉණ දක්වා උස ගෙන එයට අඟල් 3ක් ගෙන

ඉණ රේඛාව ඇඳ එහි E සිට F දක්වා ඉණ හතරට බෙදා එයට අඟල් 1  1/4 ලකුණු කරන්න.

D සිට පහළ පොයින්ට් උස හා බ්‍රාකට් උස ලකුණු කරගන්න.

ඉණ රේඛාවෙහි ඩාර්ට් පරතරය  දෙකට බෙදා අඟල් 1/2ක් ලකුණු කර ඉණ දෙපසට ඉණ හතරට බෙදා අඟල් 1/4 ලකුණු කර පොයින්ට් රේඛාව තෙක් යාකර ප්‍රධාන ඔපනැල්ල ඇද පළමු රූපයේ පෙනෙන ලෙස ඔපනැලි හා බ්‍රාකට් හැඩයන් ඇදගන්න. අංශයෙන් පිටතට අඟල්  1 1/2 ද ඉණ රේඛාවෙන් පහළට අඟල් 2ක් තබා මැහුම් වාසි තබා ගන්න. පසුව බ්‍රාකට් කොටස වෙන් කරගන්න.

රෙද්ද දෙකට නමා බල වාටියේ සිට අඟල් 1/2ක් තබා 2- රූප සටහනේ පෙනෙන ලෙස පසුපස කොටස ඇඳ කපාගන්න. පසුපසට

විවරයක් ඇති බැවින් පසුපසට හක් අල්ලා ගත යුතුයි.

ඉදිරිපස හා පසුපස කොටස් ලයිනින් මත ඇද කපා ගන්නත් අත්දෙක ලේස් රෙද්ද මතම 3 - වැනි රූප සටහනේ පෙනෙන ලෙස ඇඳ කපා ගන්න.

ලයිනින් මත ඇදගත් ඉදිරිපස කොටස් දෙක ලේස් රෙද්ද මත තබා එයට මැහුම්වාසි අඟල් 1/2ක් වටේට තබමින් කපා ගන්න.

එසේම පසුපස කොටස් ද ලේස් රෙද්ද මත තබා වටේට අඟල් 1/2 මැහුම් වාසි තබා කපා ගන්න.

මසා ගැනීමේදී  හැට්ටේ ඉදිරිපස ඉහළ කොටස් දෙකෙහි ඇති ඩාර්ට් 3 මසා  ගන්න. පසුව ඉහළ කොටස් පහළ බ්‍රාකට් කොටස් තබා මසා ගන්න. පපු කොටසෙහි ලයිනිං හා ලෙස් කොටස් එකට තබා මසා හක් අල්ලීම සඳහා පසුපස විවරයට ට්‍රේසින් පටි තබා මසා ගන්න.

ඊළඟට උරහිස් එකට තබා මසා අත්දෙක අල්ලා ගන්න.

ඉදිරිපස වඩාත් අලංකාර කර ගැනීම සඳහා ජිපියෝ ලේස් රෙද්දකින් එහි ඇති මල් කපා ඉදිරිපසට රෙදි අලවන ගම් වර්ගයකින්

අලවා සුදුසු ආකාරයට හැඩ කර ගන්න.

රූප සටහන සහ ඡායාරූප දෙස හොඳින් බැලීමෙන් වඩාත් පැහැදිලිව මෙය මසා ගැනීමට පහසුවක් වේවි.

 

 

උපදෙස් -

ප්‍රවීණ මැහුම් හා රූපලාවණ්‍ය උපදේශිකා

කාන්ති බණ්ඩාරනායක

ඇඳුම් නිර්මාණය - ප්‍රණීත් රණවීර