ෆෝම්ෂීට් මලෙන් උපන් අලංකාර සෙරෙප්පු

අගෝස්තු 7, 2023

වෙළෙඳපොළෙන් මිලදී ගන්නා ලද සාමාන්‍ය සෙරෙප්පු දෙකක් මෙන්න මේ විදියට ඔබටම හැඩකර ගත හැකියි. එම විලාසිතාව පැලඳ යන්නේ ඔබ පමණක් වීමෙන් එහි අගයද වැඩියි. ඒ විතරක්ම නෙවෙයි ඔබගේ ඇඳුමට ගැළපෙන පරිදි විවිධ වර්ණවලින් මෙය හැඩකර ගැනීමේ හැකියාවද පවතී.

 

මෙන්න අවශ්‍ය ද්‍රව්‍ය

මිලිමීටර් 1 ඝනකමින් යුතු ෆෝම්ෂීට් (වර්ණ කිහිපයකින්)

ග්ලූ ගන්

පතුල අඟල් 2ක් උසැති රබර් සෙරෙප්පු ජෝඩුවක්

මිලිමීටර් 2 ඝනකමින් යුතු ෆෙල්ට් රෙදි කැබැල්ලක්

කතුරක්

 

මේ ආකාරයට සාදාගනිමු

පළමුව මිලිමීටර් 2 ඝනකමින් යුතු ෆෙල්ට් රෙදි කැබැල්ල ගෙන සෙරෙප්පු ජෝඩුවේ ඇති සම්පූර්ණ පටියේ ප්‍රමාණය සේ දිගට කපා පළල ලෙස සෙන්ටිමීටර් 4ක් උසට කපාගන්න.

දැන් මෙසේ කපාගත් ෆෙල්ට් තීරුව ග්ලූගන් ආධාරයෙන් සෙරෙප්පු ජෝඩුවේ පටියේ හොඳින් නොගැළවෙන සේ අලවාගන්න.

 

දැන් ෆෝම්ෂීට් රෝස මල් සාදමු

පළමු රූපයේ පරිදි ෆෝම්ෂීට් එකෙන් සෙන්ටිමීටර් 5.5 ප්‍රමාණයේ රවුමක් කපාගන්න.

දැන් දෙවැනි රූපයේ කඩඉරි පරිදි රවුමෙහි පෙති 5ක මලක් ඇඳ කපාගන්න.

තුන්වැනි රූපය පරිදි මලෙහි ඇතුල් කඩඉරි පෙති වෙන් නොවන සේ කපාගන්න.

මෙසේ කපාගත් පෙති පහේ මල් කොටස් තුනක් එක රෝස මලක් සෑදීම සඳහා අවශ්‍ය වේ.

දැන් එක මලක් ගෙන පෙති පහම එකින් එක රෝල් කරමින් රෝස මලේ මැද කොටස සාදාගන්න.

ඉන්පසු අනිත් කොටස් දෙක ද මේ සාදාගත් කොටසට යටින් අලවා පෙති එක උඩ එක හරහට සිටින සේ රෝස මලක් ආකාරයට ග්ලූගන් ස්වල්පයක් භාවිතා කරගනිමින් නිර්මාණාත්මකව සාදාගන්න.

 

මෙසේ රෝස මල් 40ක් (ජෝඩුවටම) පමණ කැමති වර්ණයන්ගෙන් සාදාගන්න.

 

දැන් කලින් සාදාගත් සෙරෙප්පු ජෝඩුවේ ෆෙල්ට් තීරුවට මේ රෝස මල් පිළිවෙලින් අලවාගන්න.

 

නෑදෑ හිතමිතුරන්ගේ උත්සව අවස්ථාවකට ඔයාම හදාගත්ත මේ සෙරෙප්පු ජෝඩුව පැලඳගෙන යනවිට දැනෙන අභිමානය කොයිතරම් ද?

 

උපදෙස් :

අත්කම් නිර්මාණ ශිල්පිනී

සුලෝචනා සෙව්වන්දි