පටලව ගන්නෙ නැතිව ෆ්ලෙයාඩ් රැපරවුන්ඩ් සායක් මහමු

ජනවාරි 1, 2024

අද 2024 වසර උදාවුණා. ඒ කියන්නේ මේ අවුරුද්දේ පළමු වැනි දවස. මතකයි නේද මේ වගේම සතුටින් ගෙවී ගිය වසරත් ඔයා පිළිගත්තු හැටි. ඒ මතක පොතේ සතුට දැනුණ ලස්සන දවස් ඇති. ඒ වගේම අමිහිරි දුක්බර මතකයන් ඇති.

මොන දේ වුණත් අද පටන් උදාවෙන හැම දිනයක්ම ලස්සනට ඔබේ ඉරණම් පොතේ ලියන්න අමතක කරන්න එපා. ඒ හැම දවසක්ම සතුටින් ඉන්න අපි අනෙක් අය ඉදිරියේ ලස්සනට හැඩට පිළිවෙළට ඉන්නත් ඕනේ. ඉතින් ලස්සන ඇඳුමකටයි ලස්සන මේක් - අප් එකකටයි පුළුවන් ගැහැනු ළමයි රෝස මල් කරන්න.

මේ ෆ්ලෙයාඩ් රැපරවුන්ඩ් සාය ඔබ රෝස මලක් සේ ලස්සන කරාවි. එසේනම් අපත් සමඟ එකතු වී ඔබත් මේ සාය මසා ගන්න.

අවශ්‍ය මිමි:-

ඉණ

සායේ උස

මිමි සැකසීම :-

ඉණ අඟල් 32+16 = අඟල් 48

උදාහරණයක් ලෙස අඟල් 48 හතරෙන් බෙදා එයට අඟල් 12ක් එකතු කරන්න. සායේ උස අඟල් 25ක් නම් ඔබ ඉහත ගත් අඟල් 12 එයට එකතු කරන්න. දැන් අඟල් 25+12 = අඟල් 37ක් ලෙස ඔබට ලැබේ.

මේ විදිහට සාය කපා මසා ගනිමු.

පළමුව ඔබට අවශ්‍ය රෙදි ප්‍රමාණය තෝරා ගන්න. ඒ සඳහා මිමි සකසා අවසානයේ ලැබුණු පිළිතුර මෙන් දෙගුණයක රෙදි ප්‍රමාණයක් අවශ්‍ය වේ. එනම් රෙදි මීටර් දෙකකි. රෙදි මීටර් දෙක හරි මැදින් දෙකට නමා ගන්න. නැම්ම තමා දෙසට සිටින ලෙස රෙද්ද තබාගත යුතුයි. එම රෙද්ද ත්‍රිකෝණාකාරව නමන්න. එහි මුදුනේ සිට පහළට ඉණවට මෙන් අඟල් 1 1/2ක් ගෙන හතරෙන් බෙදා ඉහළ සිට පහළට ද ලකුණු කරන්න. නැවත ඉහළ සිට පහළට සායේ උසත් ලකුණුකර වක්‍ර වන ලෙස වාටිය ඇඳ ගන්න. එය පළමු රූප සටහනෙන් පැහැදිලි වේ.

එසේ වෙන් කරගත් පසුව දෙවැනි රූප සටහනේ පෙනෙන ලෙස ඉදිරිපස බලවාටිය කොටස වක්‍රවන ලෙස කපා ගන්න. වාටිය වටේටම ෆ්‍රිල් එකක් ලෙසට රෙදි පටියක් කපා රැලි තබමින් මසාගන්න. ඉණට බෑන්ඩ් එකක් ලෙස පටියක් අල්ලා ගැනීමෙන් වැඩි ලස්සනක් ගෙන දේවි.

 

 

උපදෙස් -

ප්‍රවීණ මැහුම් හා රූපලාවණ්‍ය උපදේශිකා

කාන්ති බණ්ඩාරනායක