අම්මාට ලෝකෙම බර දරන්න පුළුවන් වෙන්න ඕනේ

ඉඳිආප්ප විකුණලා බොජුන් හලක් හැදූ අනූෂාගේ කතාව
මැයි 13, 2024

කවුරු කොහොම මොනවා කිව්වත් මම හිතන්නේ මේක ඇත්තක් කියලා. කොච්චර මටසිළුටු වුණත් කාන්තාවන් දරාගන්න හරි දක්ෂයි. ඇය දේවල් කරන්නේ බොරුවට නෙමෙයි. බහුතරයක් කාන්තාවන් කැපකිරීම් කරන්නේ හදවතින්මයි. හැබැයි ඇය දේවල්වලට අනුගත වෙන්න හරි දක්ෂයි.

සමාජයේ වෙන දේවල් දිහා බලන් ඉඳලා,ජීවිතේ ගැන ඉගෙන ගන්න ගැහැනු, හරි දක්ෂයි... කවුරු තමන් ළඟ නැතත්, ජීවිතේ තනියම අභියෝගවලට මුහුණ දෙන ගැහැනු, හරි නිර්භීතයි... තමන්ගෙන් ගිලිහුණ දේවල්, හිනාවෙලා සදහටම අතහැරලා දාපූ ගැහැනු, හරි ශක්තිවන්තයි. ඒ අය වැටෙන්න වැටෙන්න ආයෙමත් නැඟිටිනවා... අද කියන්න යන්නෙත් එහෙම ගැහැනියක් ගැන.

ඇය වී. ඩබ්ලිව් අනූෂා. ඉඳිආප්ප විකුණලා ජීවන අරගලය දිනපු ඇය අද සුවිසල් කෑම කඩයක හිමිකාරිනියක්. මේ අපූරු බොජුන් හල තියෙන්නේ කඩවත ඉඳිගහමුල හන්දියෙමයි. අනූෂා නවා විලාස්. මේ අපූරු බොජුන් හල ගොඩනැඟුණු විදිහ ගැනත් තියෙන්නේ අපූරු කතාවක්. ගැහැනියක් අම්මා කෙනෙක් වෙනවා කියන්නේ ජීවිතේ තවත් කඩඉමක්. අම්මා කෙනකුට පුළුවන් දරුවන් වෙනුවෙන් ලෝකෙටම කැප කිරීමක් කරන්න. උත්තරීතර අම්මාවරුවන්ගේ දිනයේදී අපි කතා කරන්න යන දිරිය ගැහැනියත් දරුවන් තිදෙනකුගේ අම්මා කෙනෙක්.

ඒ කතාව පිටුපස ඉන්නේ දිරිය ගැහැනියක්. ඒ උත්තරීතර අම්මා ඔබේ ජීවිතයත් එළියකරගන්න බොහෝ දේ කියා දේවී. ඒ නිසාම මේ කතාව හොඳින් අහන්න. ඔබේ ජීවිතයත් එළියකර ගන්න.

ඉතිං කොහොමද අනූෂා?

හොඳින් ඉන්නවා.

 

අනූෂා කෑම කඩේක හිමිකාරිණියක්...

ඔව් දැන් ලොකු කඩේක අයිතිකාරියක්. උදේ, දිවා, රාත්‍රී තුන් වේලටම මේ කඩේ ඇරලා. ඕනෑම කෑම වර්ගයක් තියෙනවා. දැන් උදව්වට හතර දෙනෙක් වැඩ කරනවා.. මේ තැනට එන්න ඉතින් සෑහෙන දුක් වින්දා.

 

ඒ වින්ද දුකට ප්‍රතිඵල අද ලැබිලා තියෙනවා. අනූෂා මේ ගමන පටන් ගත්තේ කොහොම ද?

 

මම ඒ කාලේ රස්සාවක් කළා. පෞද්ගලික ආයතනයක තමයි වැඩ කළේ. බබාලා දෙන්නත් එක්ක රස්සාව දිගටම කරගෙන යන්න බැරි වුණා. ඉතින් මම රස්සාවෙන් අයින් වුණා. එතකොට ලොකු පුතාට වයස අවුරුදු 9ක් විතර. පොඩි පුතාට අවුරුදු 2යි. ඊට පස්සේ තමයි ඉතින් ප්‍රශ්න පටන් ගත්තේ. ළමයි බලාගෙන ගෙදර ඉද්දි ආදායමක් ලැබෙන්නේ නෑනේ. ගෙදරත් බාගෙට හදලා තිබුණේ. රස්සාවෙන් අයින් වෙද්දි ලැබුණු මුදලෙන් ගෙයි ඉතුරු වැඩ ටික කළා. ඉතින් රුපියලක්වත් ඉතුරු වුණේ නැහැ. පොඩි අයට බිස්කට් එකක් අරන් දෙන්නවත් සල්ලි නැහැ. ඊට පස්සේ තමයි ඉඳිආප්ප තම්බන වැඩේට බැස්සේ..

 

ඉඳිආප්ප තම්බලා ගොඩයන්න පුළුවන් වෙයි කියලා හිතුණ ද?

 

ජීවත් වෙන්නත් මොකක් හරි කරන්න එපැයි. කන්න ටික හොයා ගත්තේ නැත්තම් කොහොමද අපි ජීවත් වෙන්නේ. එහෙම හිතාගෙන තමයි මේ වැඩේට බැස්සේ. හැබැයි ඉතින් මම ඉඳිආප්ප තම්බන්න දැනගෙන හිටියේ නැහැ. මහත්තයගේ අම්මා ඉඳිආප්ප හදනවා. එයා කඩවල්වලට එහෙම දැම්මා. මටත් ඒ විදිහට කඩවල්වලට දාන්න පුළුවන් නේද කියලා අම්මා ඇහුවා. ඊට පස්සේ තමයි පටන් ගත්තේ...

 

ඉඳිආප්ප හදන්න දන්නෙවත් නැතුව මේක කරගන්න පුළුවන් වෙයිද කියලා සැකයක් හිතුණේ නැද්ද?

 

සැකයක් තිබුණත් ඒ වෙලාවේ කරන්න ඉතුරු වෙලා තිබුණේ එච්චරයි. මහත්තයා තමයි මට ඉඳිආප්ප හදන්න ඉගැන්නුවේ. මහත්තයගේ නම උපුල් නන්දන වීරසිංහ. එයාගේ අම්මා ඒ කාලේ ඉඳන්ම ඉඳිආප්ප හදපු නිසා එයා දන්නවා හදන්න. ඉතින් කොහොම හරි මහත්තයත් එක්ක ඉඳිආප්ප හදන්න පටන් ගත්තා. මුල් දවස් දෙක තුනේ එක්කෝ පදම වැරදි. එක්කෝ මැද අමුයි. එක්කෝ තැම්බිලා වැඩියි.. ඒ මොකක් හරි එකක්.

 

ඊට පස්සේ......

 

අපේ ගෙවල් කිට්ටුව ඇල්දෙණිය හන්දියේ රස බොජුන් කියලා කෑම කඩයක් තියෙනවා. ඒකේ රසික කියලා මහත්තයෙක් හිටියා. ඒ මහත්තයා තමයි මට පිටි ගෙනල්ලා දීලා ඉඳිඅප්ප හදන්න ආයේ ඉගැන්නුවේ. ඊට පස්සේ මම ඒ කඩේට උදේට ඉඳිඅාප්ප 500යි හවසට ඉඳිආප්ප 500යි දැම්මා. එයා එයාගේ කඩෙන්ම පාන් පිටි ගෙනත් දුන්නා. මොකද සමහර පිටි වර්ග තියෙනවා හදන්න ගියාම මොකක් හරි ගැටලුවක් එනවා. ඒ නිසාමයි ඒ මහත්තයා එයාලගේ පිටි ගෙනත් දුන්නේ.

සතියක් දෙකක් ඔහොම බොහොම අමාරුවෙන් ඇදගෙන ගියා. දර ප්‍රශ්නෙකුත් ආවා. දවසට ඉඳිඅාප්ප 1000ක් තම්බනවා කියන්නේ ලොකු දර ප්‍රමාණයක් යනවනේ.

 

කොහොම හරි ඒ හැමදේම විසඳගෙන අවුරුදු 3ක් විතර එක දිගට ඒ වැඩේ කරගෙන ගියා. රෑ දවල් නිදි මරාගෙනයි ඉඳිඅාප්ප තැම්බුවේ.

 

එතකොට කඩේ පටන් ගත්තේ....

 

ඔහොම ටිකක් දියුණු වෙද්දි ඉඳිආප්ප වැඩේ වෙන කෙනෙක්ට බාර දීලා මගේ ගේ ඉස්සරහ පොල් අතුවලින් මඩුවක් ගහලා ඉඳිආප්ප විකුණනවා කියලා බෝඩ් එකක් ගැහුවා. උදේ ඉඳන් හවස් වෙනකම්ම ඉඳිආප්ප තම්බලා හවසට ඒ පොඩි කඩ කෑල්ල ඇරියා. ඉඳිආප්පවලට වෙනම කරි පැකට් හදලා..වෙනම කෙසෙල් මුහ සම්බෝල හරි පොලොස් හරි හදලා එහෙම හොඳට කරගෙන ගියා.

 

පාඩු ලබපු දවසුත් තියෙන්න ඇති....

 

සමහරදාට රෑට ඉඳිඅාප්ප ඉතුරු වෙනවා. ඉතින් ඒක ලොකු පාඩුවක් වෙනවා. ඒ කාලේ කඩේට කරන්ට් තිබුණෙත් නැහැ.

ඒ නිසා රෑ වුණාම පාරේ යන එන අයටවත් කඩේ හරියට පේන්නේ නැහැ. ගේ තියෙන්නේ පහළ නිසා ගෙදරින් කරන්ට් එක ගන්න ක්‍රමයක් තිබුණෙත් නැහැ. පාරේ ලයිට් තිබුණට කඩ කෑල්ලට එන එළිය මදි.

ඊට පස්සේ විදුලිබල මණ්ඩලයටත් දැනුම් දීලා කඩ කෑල්ලට එක වයර් එකක් ඇදගෙන කරන්ට් එක ගත්තා. කඩේට එළිය වැටුණට පස්සේ රෑටත් හොඳ ආදායමක් ලැබුණා. 2010 වසර වගේ වෙද්දි මගේ ව්‍යාපාරයට ලොකු ඉල්ලුමක් තිබ්බා. ඕඩර්ස්වලටත් ඉඳිඅප්ප ගන්න ලොකු පිරිසක් හිටියා.

 

ඒ තරම් පිරිසකට තනියම ද ඉඳිආප්ප හැදුවේ...?

 

මේ ව්‍යාපාරය පටන් ගත්ත කාලේ මහත්තයටත් හරි රස්සාවක් තිබුණේ නැහැ. එතකොට එයා රියැදුරු රැකියාවක් කළා. වාහනයක් කාගෙන් හරි අරගෙන එයා ඩ්‍රයිවින් වැඩේ කරගෙන ගියා. ඒක ස්ථීර රැකියාවක් නෙවෙයිනේ. සමහර දවසට හයර් තියෙනවා. සමහර දවසට නැහැ. ඉතින් ලොකු ආදායමක් ලැබුණේ නැහැ. ඒක කරගෙන යන අතරතුරදි පුළුපුළුවන් විදිහට එයා මට උදවු කළා. හැබැයි මුළු වගකීමම අරගෙන වැඩ ක‍ෙළ් මම. සමහර දවසට ‍ඉඳිආප්ප තම්බලම කොන්ද කෙළින් තියාගන්න බැහැ. සමහර දවසට හිටගෙන ඉන්න බෑ. සමහර දවසට කකුල් දැවිල්ලයි. හරිම අමාරුවෙන් තමයි ඇදගෙන ආවේ..

 

එතකොට ඉඳිආප්ප විකුණපු පොල් අතු කඩේ තුන් වේලටම කෑම තියෙන කෑම කඩයක් කරගත්තේ කොහොම ද?

 

මම කලින් වැඩ කරපු ආයතනයේ ෆ්‍රන්ඩ් එකෙන් සල්ලි වගයක් ලැබුණා. ඒකෙන් කඩේකට අවශ්‍ය බඩු ගත්තා. කොත්තු බාර් එකකුයි රයිස් හදන්න අවශ්‍ය දේවල්, තාච්චි, වළං ඒ හැමදේම ගත්තා. මේස, පුටුත් ගත්තා.

රස බොජුන් එකට ඉඳිඅප්ප දාපු කාලේ ඒකෙන් අඳුර ගත්ත යාළුවෙක් හිටියා. එයා එකෙන් අයින් වෙලා මගෙ ළඟ වැඩට ආවා. ඒකෙන් මට සහනයක් වුණා. මොකද එතකොට මට තුන්වෙනි දරුවා ලැබෙන්න හිටියේ.

 

දරුවෙකුත් බඩේ තියාගෙන කොහොමද මෙච්චර දෙයක්කර ගත්තේ.

 

දරුවෙක් ලැබෙන්න හිටපු නිසා මට ඩොක්ටර්ස්ලා කියලා තිබුණේ වැඩිය මහන්සි වෙන්න එපා කියලා.

ඊට පස්සේ අර වැඩට ගත්ත කෙනා එක්ක කෑම ටික හදලා හවස 2 ඉඳලා රෑ 12 වෙනකම් කඩේ ඇරලා තිබ්බා. හැබැයි සමහර දවසට රෑ 2 වෙනකනුත් කඩේ ඇරගෙන හිටපු දවස් තිබුණා.

ඒ වෙද්දි ඉඳිආප්ප, ආප්ප, කොත්තු, රයිස් ඒ හැමදේම තිබුණා. මාස දෙක තුනක් යද්දි කොත්තු බාස් අයින් වෙලා ගියා. ඉතින් කොත්තු බාස් කෙනෙක් හෙව්වා. හම්බුණේ නැහැ. කොත්තු බාස් කෙනෙක් නැහැ කියලා මේක අතහරින්න බෑනේ. ඊටපස්සේ මම කොත්තු ගහන්න ගත්තා. කඩේ ඉද්දි කොත්තු ගහනවා දැකලම මට ඒ වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා තේරුණා. දරුවා බඩේ ඉද්දි මම කොත්තු ගැහුවා.

 

දරුවා ලැබුණට පස්සේ මාස තුනක් විතර යනකම් වෙන කෙනෙක්ට දුන්නා කඩේ කරගෙන යන්න. ඊට පස්සේ අායෙත් වෙනදා වගේම මම කඩේ වැඩ කළා. ඒ වෙද්දි ලොකු පුතාට අවුරුදු 13ක් විතර ඇති.. එයා මාත් එක්ක කඩේ ඉඳලම ඉතින් එයාටත් වැඩ පුරුදුයි. එයත් මට සෑහෙන උදවු කළා. ඉස්කෝලේ වැඩ කරන ගමන් ඒවටත් උදවු කරනවා.

2016 වගේ වෙද්දි අපි ලෝන් එකක් අරන් ඒ පොඩි කඩ කෑල්ල කණු දාලා, ස්ලැබ් එක දාලා තරමක් හොඳට හදාගත්තා. එහෙම දියුණු කරගෙන ඉතින් කඩේ කරගෙන ගියා.

 

මේ ගමන පහසු ගමනක් නම් වෙන්න බැහැ..බාධක, හැලහැප්පීම් එමට තියෙන්න ඇති...?

 

මේ ආපු ගමනේ බාධක හැලහැප්පීම් විතරමයි තිබුණේ. 2019 අවුරුද්දෙදි අනතුරක් වුණා. වාහනයක් ඇවිල්ලා කඩෙත් කඩාගෙන ඇතුළට ආවා. කඩේ බඩු සේරම කුඩු. ඒ වෙද්දි අපේ ව්‍යාපාරය ලියාපදිංචි කරලා තිබුණේ නැහැ. ඉතින් රක්ෂණ සමාගම්වලින් ගෙවන්න බැහැ කිව්වා. රියැදුරුට නින්ද ගිහින් තමයි ඒක වුණේ. රියැදුරුටවත් වාහනයටවත් කිසිම හානියක් වෙලා තිබුණේ නැහැ. රියැදුරු කිව්වා අපිට ගෙවන්න විදිහක් නැහැ කියලා. මම පින්සෙණ්්ඩු වෙලා මේකට මොකක් හරි සාධාරණයක් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ එයා බඩු ටික ගන්න කියලා ලක්ෂයක මුදලක් දුන්නා අපිට. ඊට පස්සේ ඒ ලක්ෂෙන් ඔක්කොම බඩු ටික අරගන්න අමාරු නිසා අායේ පොඩි ණයක් අරගෙන ඉතුරු බඩු ටික ගත්තා. ඉතින් ආයෙත් මුල ඉඳලම පටන් ගත්තා. ඒ අනතුරත් එක්ක මාස 4ක් විතර කඩේ වහලා තිබුණා.

 

පොඩි දරුවනුත් එක්ක කඩයක් කරන එක ලේසි නැතුව ඇති...?

 

අත දරුවෙක් එක්ක කඩේ කොහොමද කළේ කියලා වෙලාවකට මටම හිතාගන්න බැහැ. කඩේ වැඩ කරද්දි බබා අඬනවා ඇහුණාම කඩේ පැත්තකට දාලා දුවල එනවා. ඒ කාලේ මහත්තයා තමයි පිටි ඇනුවේ. එහෙම ඉතින් ආයේ දිගටම දවල් දෙකට කඩේ ඇරලා රෑ වෙනකම් වැඩ කළා. ඊටපස්සේ කොවිඩ් ආවා. කොවිඩ් එකෙන් මගේ ව්‍යාපාරය තවත් දියුණු වුණා.

 

කඩවල් වහලා තියපු කාලේදී දියුණු වුණේ කොහොම ද?

 

කොවිඩ් එකත් එක්ක කඩේ ඇරගන්නම බැරි වුණා. ටික වෙලාවකට හරි කියලා කඩේ ඇරගෙන ඉන්නවා. පොලිසියෙන් එනකොටම ආයේ වහන්න කියනවා. ඉතින් වහන්න වෙනවනේ. කෑම ඔක්කොම ඉතුරුයි. මේ පැත්තේ ගොඩක් ඉන්නවා කුලියට ඉන්න අය. ඒ මිනිස්සුන්ට කන්න විදිහක් නැහැ. එයාලා කියනවා අනේ කඩේ අරින්න අපිට කන්න විදිහක් නැහැ කියලා. ඊට පස්සේ මම කළේ කෑම පාර්සල් හදලා එයාලට යැව්වා. ඇත්තටම මට ඒ කාලේ සෑහෙන ආදායමක් ලැබුණා ඒකෙන්. මොකද කඩ හැම එකක්ම වගේ වහලනේ. ඉතින් මගේ කෑමවලට ලොකු ඉල්ලුමක් තිබ්බා. අපි ත්‍රීවිල් එකකුත් ගත්තා.

ඒ ලැබුණු සල්ලි එකතු කරලා කඩේ තව තව ලොකු කරලා හොඳට හදාගත්තා.

ඊට පස්සේ රටේ ගෑස්, තෙල් නැති ප්‍රශ්නේ ආවා. සල්ලිත් නැහැ. කන්නත් නැහැ. ගෑස් නැති නිසා කඩේ අරින්න විදිහකුත් නැහැ. ඊට පස්සේ කුඩු ළිපේ තාච්චියක් තියාගෙන වඩේ, රෝල්ස් එහෙම බැදලා කොහොම කොහොම හරි කෑම ටික හදා ගත්තා. ඊළඟට කෑම හැදුවට වැඩක් නැහැ මොකද කෑම ගන්න එන්න මිනිස්සුන්ට තෙල් නැහැනේ. ඊට පස්සේ ආයේ කඩේ වහන්න වුණා මාස 6ක් විතර.

 

කඩේ වහලා තියපු කාලේ ජීවත් වුණේ කොහොම ද?

 

ජීවත් වෙන්නත් එපැයි. ඉතින් මම කීර විකුණන වැඩ වගේ පොඩි පොඩි දේවල් කරලා කීයක් හරි හොයා ගත්තා. මහත්තයත් පොඩි ව්‍යාපාරයක් කළා. ඔහොම ඔහොම ගිහින් ආයේ කඩේ ඇරියා. ලැබෙන ආදායම ටික ටික එකතු කරලා. කඩේට සිමෙන්ති දාලා.. ටයිල් කරලා.. උඩට නඟින්න පඩිපෙළක් දාලා... cctv දාලා හැමදේම කළා.

ගත්ත ණය ටිකත් ගෙවාගෙන යන ගමන් ඉන්නේ. තව ලක්ෂ දෙකක් වගේ තමයි ගෙවන්න ඉතිරි වෙලා තියෙන්නේ. කඩේ ආදායමෙන් ඒකත් ගෙවාගෙන යනවා.

 

මේක අතහරින්න ඕනේ කියලා කවදාවත් හිතිලා නැදද?

 

නවත්තන්න ඕනේ කියලා හිතලා නවත්තලත් තියෙනවා මම. සති ගණන් කඩේ වහලා තියෙනවා එහෙම හිතලා. ආයේ ඉතින් කොහොම හරි කරනවා. ළිප ළඟම ඉඳලා මම අසනීපෙනුත් ඉන්නේ. ඉතින් මහත්තයත් කියනවා ඇති අනේ මහන්සි වුණා දැන්වත් ඕක නවත්තන්න කියලා. බෑ බෑ කියලා මම කොහොමහරි ඇදගෙන ආවා ඉතින්.

 

එදා එහෙම හිතලා මේක නවත්තලා තිබුණානම්...?

 

එදා නැවත්තුව නම් අද කොහේ ඉඳීද දන්නේ නැහැ. ගොඩ ගියේ මේකෙන්නේ. පහුගිය දවස්වල ලෙඩ වෙලා හිටියා.. ඒකට හේතුව ඉතින් අවුරුදු ගාණක්ම ළිප ළඟ හිටපු එක. හොස්පිට්ල් එකෙත් නැවතිලා හිටියා. ඔපරේෂන් එකකට නොයා බෙහෙත් ටිකෙන් හොඳ වුණොත් නම් හොඳයි ඉතින්.

ඒ දේවල් එක්ක මම දැන් ටික කාලයක් නිදහසේ ඉන්න ඕනේ කියලා හිතනවා. වැඩ කරන්න කීපදෙනෙකුත් ඉන්නවනේ. පුතාටත් බලන්න කියලා. ටිකක් කඩෙන් අයින් වෙලා ඉන්නවා. දැන් අවුරුදු 20කටත් කිට්ටු වෙන්න මම මේක කළානේ.

 

පටන් ගත්ත තැන ඉඳන් අද ගැන හිතද්දි අනූෂාට මොකද හිතෙන්නේ...

 

ඒ ගැන නම් කියලා නිම කරන්න බැරි සතුටක් තියෙන්නේ. මොකද තනිකරම මගේ මහන්සියෙන් ආපු ගමනක්නේ තියෙන්නේ. කිසිම දවසක අත්හරින්න එපා කියලා තමයි මම අනිත් අයටත් කියන්නේ. පවුලේ සමගියත් එක්ක එකතුවෙලා කරන ඕනෙම වැඩක් හරියනවා. දැන් ලොකු පුතාට වයස අවුරුදු 26ක්. එයා පොලිස් සේවයේ රාජකාරි කරන්නේ. දෙවැනියා කැම්පස් යනවා. තුන්වැනියා 9 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. දැන් ඉතින් ළමයින්ගේ ප්‍රශ්න ඉවරයි. එයාලා ලොකු මහත් වෙලා එයාලගෙ ගමනක් යනවා. අම්මා කෙනෙක්ට ඊට වඩා දෙයක් තියෙනව ද ඉතින්.