මෙන්න හරිම ලස්සන රෙසින් බොට්ල් ඕපනර්

මැයි 27, 2024

මුළුතැන්ගෙයි වැඩවලට අපේ ගෘහිණියන් හරිම දක්ෂයි. හැබැයි ඉතින් හදිස්සියෙම ආපු අමුත්තෙක්ට සංග්‍රහ කරන්න ගන්න බීම බෝතලේ විවෘතකර ගන්න බැරි වුණොත් කොච්චර වැඩ දන්නවා වුණත් වෙන ලැජ්ජාව කියලා නිමකර ගන්න බැහැ.. ඒ නිසාම ඕනෙ බෝතලයක් හරිම පහසුවෙන් විවෘත කරන්න. පහසු රෙසින් බොට්ල් ඕපනර් එකක් තමයි අද අපි හදන්න සූදානම.රෙසින් ගැන සති කිහිපයක්ම කතා කළ නිසා දැන් බොහෝ දෙනාට රෙසින් ගැන හොඳ අවබෝධයක් ඇති. රෙසින් නිර්මාණයක වැදගත්ම දෙය මිශ්‍රණය සකස් කිරීමත් නිර්මාණාත්මක හැකියාවෙන් ප්‍රයෝජනයක් ගැනීමත් ය.

රෙසින් මිශ්‍රණය සැකසීමේදී රෙසින් සහ හාඩ්නර් යන රසායනික දියර වර්ග දෙක, එකට මිශ්‍ර කිරීම කළ යුතුයි. ඒ සඳහා රෙසින් කප් එකක් ගෙන එයට රෙසින් සහ හාඩ්නර් 2:1 අනුපාතයට දමාගෙන හොඳින් මිශ්‍රකර ගන්න. මෙය මිශ්‍රකර ගත යුතු වන්නේ එක් පැත්තකටවන ලෙසය. නැතිනම් මිශ්‍රණයේ වායු බුබුළු මතු වීමෙන් ගුණාත්මක නිර්මාණයක්කර ගැනීමට නොහැකි වේවි.

මෙසේ විනාඩි 2-3ක් මිශ්‍ර කරන විට වතුර මෙන් පිරිසුදු විනිවිද පැහැයක් පැමිණුන විට එය හොඳින් මිශ්‍ර වී ඇති බව ඔබට වැටහේවී.

මෙවර නිර්මාණය කරන්නේ රෙසින් බොට්ල් ඕපනර් එකක්. මෙය බෝතල් විවෘත කිරීමට යොදා ගන්නා උපකරණය කියලත් හඳුන්වනවා.

බොට්ල් ඕපනරය සඳහා මෝල්ඩ් කිහිපයක්ම වෙළෙඳපොළේ තිබෙනවා. ඉතින් ඔබ කැමැති හැඩයේ මෝල්ඩ් එකක් ඒ වෙනුවට තෝරා ගන්න පුළුවන්.අපි යොදා ගත්ත මෝල්ඩ් එකේ විවිධ හැඩ කිහිපයක් තිබෙන නිසා එකම මෝල්ඩ් එකෙන් වර්ග කිහිපයකම බොට්ල් ඕපනර් නිර්මාණය කරගන්න පුළුවන්.

මුලින්ම සී තීම් එකට නිර්මාණය කළ බොට්ල් ඕපනරය නිර්මාණයකර ගන්නා ආකාරය බලමු. ඒ සඳහා පෙර සකසා ගත් රෙසින් මිශ්‍රණයෙන් කොටස් දෙකක් ගෙන එකකට නිල් පැහැ මයිකා පවුඩර් වර්නයත් අනෙක් එකට කොළ පැහැ මයිකා පවුඩර් වර්ණකයත් එකතුකර වෙන වෙනම මිශ්‍රණ දෙකක් සකසා ගන්න. දැන් මෝල්ඩ් එක ගෙන රූපයේ පරිදි උඩ කොටසට නිල් වර්ණයත් යට කොටසට කොළ වර්ණයත් ශේඩ්වන ආකාරයට එකතුකර ගන්න. එය මඳක් වියළී ඇලෙන තත්ත්වයට එන විට මුහුදු වැලි, බෙල්ලන්, සිප්පි කටු සහ ස්ටාර් ෆිෂ් කෙනකු අලවා ගන්න.

ඉන්පසු ක්ලියර් රේසින් ලේයර් එකක් දමා වියැළෙන්න තබන්න. වියැළුණු පසු මෝල්ඩ් එකෙන් ගලවා බොට්ල් ඕපනරනයේ ඉතිරි කොටස සම්බන්ධ කරන්න. මේවා වෙළෙඳසල්වලින් ලබාගත හැකියි.

කළු පැහැ බොට්ල් ඕපනරය සකසා ඇත්තේ ක්ලියර් රේසින් මිශ්‍රණයට කළු පැහැ පික්මන්ට් වර්ණ එකතු කිරීමෙනි. එලෙස සකසාගත් වර්ණකයෙන් කොටසක් ගෙන මෝල්ඩ් එකේ පහළ කොටසට එකතු කරන්න. අනෙක් කොටස සඳහා විනිවිද පෙනෙන රෙසින් ස්වල්පයකට ගොල්ඩන් ග්ලිටර් එකතුකර ශේඩ්වන ආකාරයට ඉතුරු මෝල්ඩ් කොටසට රූපයේ පරිදි එකතු කරන්න. හොඳින් වියැළුණු පසු විනිවිද පෙනෙන රෙසින් ලේයර් එකක් දමා වියැළුණු පසු පෙර පරිදිම ගලවා බොට්ල් ඕපනර් ඉතුරු කොටස සම්බන්ධකර ගන්න. තමා සතු නිර්මාණාත්මක හැකියාව අනුව විවිධ ආකාරයට මෙය නිර්මාණය කළ හැකිය.

 

 රෙසින් නිර්මාණ ශිල්පිනී

සුදර්ශි ලංකා

I do creations by lanka