වැස්ස ආශිර්වාදයක් කරගෙන පුංචි ව්‍යාපාරයකින් ජීවිතයම ගොඩයන්න

ජුනි 3, 2024

 

සම්ප්‍රදායික රාමුවක් තුළ සිර වූ මිනිසුන්ට සාර්ථකත්වය කරා ගමන් කිරීම අසීරුය. එහෙත් සම්ප්‍රදායික රාමුවෙන් එහා සිතන පතන මිනිසුන්ගේ පරිකල්පනය ඉතා ගැඹුරුය. ඔවුන් තම සාර්ථකත්වය ළඟා කරගෙන ඇත්තේ තමුන්ගේම ස්වයං උත්සාහය හා කැපවීමේ ප්‍රතිඵලයෙනි. ආසියාතික රටවල සම්ප්‍රදායික සංස්කෘතික බැඳීම් මැද විවිධ රැකියා ‍තෝරාගැනීම හා රැකියා කිරීමට ඉදිරිපත්වීමේ ප්‍රවණතාවයේ අඩුවක් පෙන්වයි. උදාහරණයක් ලෙස වැසිකිළි පවිත්‍ර කිරීමේ කම්කරු රැකියාව, ඇඳුම් සේදීමේ ලොන්ඩ්‍රි රැකියාව වැනි දේ කරන පුද්ගලයන්ට සමාජයේ පිළිගැනීමක් නොදක්වයි. නමුත් බටහිර ලෝකයේ දියුණු රටවල මෙවැනි රැකියා කරන පුද්ගලයන්ට ඇත්තේ ගෞරවාන්විත පිළිගැනීමකි. එසේම මෙවැනි රැකියා කරන සෑම කෙනෙක්ම හොඳ වැටුපක් ද ලබාගනියි.

මේ වනවිට අප රටේ ද මේ සම්ප්‍රදායික මත හා සිතුවිලි වෙනස් වෙමින් පවතී. වත්මන් තරුණ පරපුර මෙවැනි පටු රාමු තුළ සිර වී කටයුතු නොකරයි. ඔවුන් බුද්ධිමත්ව සිතා තම රැකියා ක්ෂේත්‍රය තෝරා ගනියි. අප මෙවර ඔබට මඟ පෙන්වීම ලබා දෙන්නේ එවැනි සම්ප්‍රදායික රාමුවක් තුළ සිර නොවුණු රැකියාවක් තුළින් ජීවිතය ජය ගන්නා මාවත විවරකර දීමටයි.

මේ වනවිට අප රටේ පවතින්නේ අධික වර්ෂාවකි. ඒ නිසා නිවෙසෙන් හෝ කාර්යාලයෙන් පිටතට යන ඕනෑම අයෙකුට කුඩයක් අවශ්‍යම උපකරණයකි. කුඩයක් නොමැතිව කිසිම කටයුත්තකට යන්නට බැරි මෙවැනි කාලයක එහි වටිනාකම ද නොසිතන තරම් ඉහළ ගොස් තිබේ. සාමාන්‍යයෙන් කුඩා ප්‍රමාණයේ කාන්තා කුඩයක් පවා රුපියල් 1500ට වඩා වැඩි මුදලක් වෙයි. මේ නිසා අලුතින් කුඩයක් ගැනීමට විශාල පිරිවැයක් දැරීමට සිදු වෙයි. එසේම කැඩුණු කුඩයක් අලුත්වැඩියා කර ගැනීමට ස්ථානයක් සොයා ගැනීම ද මහත් අසීරු කටයුත්තකි.

බොහෝ විට අපේ රටේ කුඩ හා සෙරෙප්පු සාදන පුද්ගලයන් සිටින්නේ මහමඟ ගසක් යට හෝ නගරයක ප්‍රසිද්ධ ස්ථානයක පමණකි. ඒ නිසා මේ දිනවල මෙවැනි පුද්ගලයකු සොයා තම කැඩුණු කුඩය සාදවා ගැනීමට පවා අපහසුය. තවත් මේ දිනවල අප මුහුණ දෙන අසීරුම කටයුත්තක් වන්නේ අපගේ ඇඳුම් සෝදා වේළා ගැනීමය. ඒ කටයුත්තට ද විශාල කාලයක් වැය වෙයි. මෙවැනි පසුබිමක් තුළ ස්වයං රැකියා සඳහා අවස්ථා තුනක් අපට හොඳින්ම නිර්මාණය වී තිබේ. ඉන් එක් රැකියාවක් වන්නේ කුඩ අලුත්වැඩියා කිරීමය. දෙවැනි රැකියාව වන්නේ පාවහන් හා බෑග් අලුත්වැඩියාවයි. එසේම ලොන්ඩ්‍රි කර්මාන්තයට ද හොඳ අවස්ථාවක් දැන් නිර්මාණය වී තිබේ.

 

ලොන්ඩ්‍රියකින් දියුණුවීම

 

ඔස්ට්‍රේලියාවේ කැන්බෙරා විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනකු වසර කිහිපයකට පෙර අධ්‍යාපන කටයුතු සඳහා මුදල් සොයා ගැනීම සඳහා සාර්ථක ක්‍රමයක් සොයා ගැනීමට සමත් විය. ඔවුන් දෙදෙනා තම අධ්‍යාපන කාලයෙන් පසුව කුඩා ලොරියක් කුලියට ගත්තාය. එම ලොරියේ නැගී ඔවුන් නිවාසික ලැගුම්ගත් නිවාස සංකීර්ණය වටා යමින් එහි සිටින මිනිසුන්ටත් රෙදි සේදීම සඳහා ඇණවුම් භාර ගැනීම සිදුකරණ ලදි. ඉන්පසු ඔවුන් රෙදි සෝදන මැෂිමක් ගෙන ටිකෙන්ටික මේ කටයුත්ත ව්‍යාප්ත කරන ලදි. ටික කාලයක් තුළ මෙය ඉතාම සාර්ථක කටයුත්තක් බවට පත් විය. ඔවුන්ගේ මේ කටයුත්ත ගැන එම නිවාස සංකීර්ණය පුරාම පැතිර ගිය අතර ඇණවුම් විශාල වශයෙන් ලැබෙන්නට පටන් ගත්තේය. තම අධ්‍යාපනයට බාධාවක් නොවන ලෙසින් ඔවුන් දෙදෙනා දිගු කාලයක් මේ ස්වයං රැකියාව කරගෙන ගිය අතර ඔවුන් අධ්‍යාපන කටයුතු අවසන් කරන විට සාර්ථක ව්‍යාපාරයක හිමිකරුවන් වී තිබිණි.

මේ උදාහරණය ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට සිතන බොහෝ දෙනකුට හොඳ ආදර්ශයකි. අපේ රටේ රෙදි සෝදන ලොන්ඩ්‍රි ඇත්තේ අවම ප්‍රමාණයකි. එසේ තිබෙන ලොන්ඩ්‍රි පවා කිසිම ප්‍රමිතියකින් නොවෙයි. ඒ නිසා එවැනි ලොන්ඩ්‍රියකට තම ඇණවුම් භාරදීමට බොහෝ දෙනෙකු බියක් දක්වයි.

නමුත් ඉතාම ආකර්ෂණීය ලෙසින් කුඩා ලොන්ඩ්‍රියක් ආරම්භ කිරීමට විශාල මුදලක් වැය නොවෙයි. ඒ සඳහා වෙනම ස්ථානයක්ම අවශ්‍ය නොවෙයි. ඔබ මාර්ගයක් ආසන්නව ජීවත් වේ නම් තම නිවෙසේ කොටසක් පවා ප්‍රමාණවත් වෙයි. මෙවැනි කටයුත්තක් ආරම්භ කිරීමට පෙර ඔබ කළ යුත්තේ ඒ පිළිබඳ මූලික දැනුමක් ලබාගැනීමයි. ඒ සඳහා සරලම ක්‍රමය වන්නේ මෙවැනි ලොන්ඩ්‍රියක කෙටි කාලයක් පුහුණුවක් ලැබීමයි. නැතිනම් මෙවැනි ලොන්ඩ්‍රියක් ආරම්භ කිරීම සඳහා මඟ පෙන්වන පුහුණුකරන ආයතන ද පවතී. ඔබ එවැනි ආයතනයකින් මූලික පුහුණුවක් ලබාගත් පසු ඔබට යෙ ඉතාම පහසුවෙන් ආරම්භ කළ හැකිවෙයි.

 

කුඩ හා පාවහන් අලුත්වැඩියාව

 

සාම්ප්‍රදායක නොවන මෙවැනි ස්වයං රැකියා සඳහා මෑත කාලයේ හොඳ ඉල්ලුමක් පවතී. මේ සඳහා ඔබට වෙනම පුහුණුවක් ලබාගැනීමට රජයේ ආයතන කිහිපයක් පවතී. සමෘද්ධි ව්‍යාපාරය හරහා මෙවැනි රැකියා සඳහා මඟ පෙන්වන එක් ආයතනයකි. එසේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරින් විසින් ද ඔබට ‍මේ සඳහා සහයෝගය ලබාගත හැකි වනු ඇත. තවත් ඔබට මේ සඳහා මූලික මඟ පෙන්වන නිලධාරියකු වන්නේ ඔබ පදිංචි ප්‍රදේශයේ සංවර්ධන නිලධාරි මහතා හෝ මහත්මියයි.

මෙවැනි ස්වයං රැකියා සඳහා මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවෙයි. එහෙත් මෙවැනි රැකියා සඳහා ඔබගේ කැපවීම හා උනන්දුව ඒ සියල්ලටම වඩා වැදගත්ම සාධකයයි. ඔබ මූලිකවම කුඩාවට තම නිවෙසේ පිටම මේ කටයුත්ත ආරම්භ කරන්න. ඉන් පසුව හොඳ සේවයක් තම සේවාදායකයාට ලබා දෙන්න. ඔබට ලැබෙන ඇණවුම් ප්‍රමාණය ගැන මුලින්ම නොසිතන්න. ලැබෙන එකම ඇණවුම හෝ හොඳින් ඉටු කර දෙන්න. ටික කාලයක් යන විට ඔබගේ ව්‍යාපාරය නියත ලෙසම සාර්ථක වෙනු ඇත.