ගමනට බිමනට කදිමට ගැළපෙන වූල් පර්ස් එකක්

ජුනි 4, 2024

අලංකාර පුංචි මුදල් පසුම්බියකි මේ. කුඩා වූල් පොටවල් ඒ මේ අත රඳවමින් කරනා මෙවැනි නිර්මාණ ගොන්නක එකතුවකින් ඔබට පුංචි ව්‍යාපාරයක් ඇරැඹිය හැකියි. ඒවා දිනෙන් දින විස්මිත නිර්මාණ වූ කල්හි ඔබේ ස්වයං රැකියාවට හොඳ තැනක් ලැබේවි. අදම අරඹන්න. හිතට ගන්න මේ ඔබේ වාරයයි. නෙතු සනසන, නෙතු රවටන නේක වර්ණ වූල් එකතුවකින් අදම ජීවිතය වර්ණවත්කර ගන්න.

 

මෙවැනි නිර්මාණයක අවසානයේදී ඔබට ලැබෙන ආත්ම තෘප්තිය කෙතරම් ද කියා ඔබටම දැනේවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

කොළ පාට වූල්

කහ පාට වූල්

සුදු පාට වූල්

දුඹුරු පාට වූල්

සුදු පබළු

පබළු අමුණා ගැනීමට අවශ්‍ය නූල්

මිලි මීටර් 3. 5 වූල් කටුවක්

ඉදිකටුවක්

 

 

නිර්මාණය කිරීම

කුඩා මුදල් පසුම්බිය සාදා ගැනීම සඳහා පළමු පියවර ලෙස කොළ පාට වූල් ගෙන දම්වැල් 20 ගොතාගන්න.

දෙවැනි පියවර ලෙස දම්වැල් 20 අවසන්වන තෙක් තුන්පොට පිරවිලි ගොතාගන්න.

ඒ ආකාරයට පේළි දහ අටක් ගොතාගන්න.

ඉන්පසුව ගොතාගත් කොටස දෙකට නවා වම් පස සහ දකුණු පස කොටස් එකිනෙකට සම්බන්ධ කරන්න. මෙයට තනිපොට පිරවිල්ලක් යොදා ගන්න. දැන් ඔබට පසුම්බිය කොටස දැකගත හැකි වෙයි.

ඉන් අනතුරුව පසුම්බියේ පියන කොටස සාදා ගැනීමට නැවතත් දම්වැල් 16 ගොතා එයට තුන්පොට පිරවිලි පේළියක් ගොතාගන්න.

ඒ ආකාරයට තුන්පොට පිරවිලි පේළි අටක් ගොතාගන්න.

ගොතා ගත් පියන කොටස කලින් සාදා ගත් පසුම්බියේ කොටසට තබා ඉදිකටුවක් යොදා ගෙන එය එකිනෙකට සම්බන්ධ කරන්න. (මෙම පියන කොටස අවශ්‍ය ප්‍රමාණයට දික්කර ගැනීමට ගොතාගන්නා ලද පේළි ප්‍රමාණය වැඩිකර ගන්න)

පියන කොටස වටේ රැලි ගොතාගැනීම සඳහා පියන කොටස වටේ (රූපයේ දිස් වන ආකාරයට) සෑම සිදුරකටම දෙපොට පිරවිලි තුන බැගින් ගොතාගන්න.

මල සාදා ගැනීමට දුඹුරු පාට වූල් ගෙන පළමුව රවුමක් සාදා ගැනීම අවශ්‍ය වේ. එයට magic ring එකක් සාදා ගෙන එයට දෙපොට පිරවිලි 6ක් ගොතාගන්න.

ඉන්පසුව එම සෑම පිරවිල්ලකටම දෙපොට පිරවිලි දෙක බැගින් ගොතාගන්න.

මලේ පෙති සාදා ගැනීමට කහ පාට වූල් ගෙන සාදා ගත් රවුමේ පළමු සිදුරට දම්වැල් තුනක් ගොතාගන්න. දෙවැනි සිදුරට තුන්පොට පිරවිලි දෙකක් ගොතාගන්න. ඉන්පසුව දම්වැල් තුනක් ගොතා එය තුන්වැනි සිදුරට සම්බන්ධ කර ගන්න. මල කොටසේ ඊළඟ පෙත්ත සාදා ගැනීමට දම්වැල් තුන ගොතාගත් සිදුරටම නැවතත් දම්වැල් තුනක් ගොතාගන්න. පසුව ඊළග සිදුරට තුන්පොට පිරවිලි දෙකක් ගොතාගන්න. අනතුරුව දම්වැල් තුනක් ගොතා ඊළඟ සිදුරට සම්බන්ධකර ගන්න. මේ රටාව අනුගමනය කරමින් මලෙහි පෙති නිර්මාණයකර ගන්න.

පසුව එය පසුම්බියේ පියන කොටසට තබා මසා ගන්න.

පසුම්බියෙහි පබළු එල්ලා ඇති කොටස සාදා ගැනීමට නූලක් ගෙන එයට සුදු පබළු දමා එය පසුම්බිය කොටසට තබා සම්බන්ධකර ගන්න. (එය ඔබට අවශ්‍ය ආකාරයට සාදාගත හැකිය.)

මේ ආකාරයට ඔබට කුඩා මුදල් පසුම්බියක් නිර්මාණයකර ගත හැකිය.

 

උපදෙස් :-

අත්කම් නිර්මාණ ශිල්පිනි

තිළිණි මදුෂිකා ගුණතිලක