දූරියන් කොත්තුවෙන් ලෝකයම ඇල්ලූ නුවර මැණිකෙලා

ජූලි 30, 2024

 

බිස්නස් එක පටන් ගත්තේ තාර පාර අයිනෙන්

මේ වට්ටෝරු ඔක්කොම අපේ නිර්මාණ
 

සමහර ගැහැනු ඉන්නවා කිසිම දෙයක් කාගෙන්වත් බලාපොරොත්තු නොවෙන. එහෙම ගැහැනියක් ගාව තියෙනවා ශක්තියක් කාටවත්ම වට්ටන්න බැරි. තනියම හිත ඇතුළේ දරාගෙන තමන්ගෙම මහන්සියෙන් ගොඩයන්න දඟලන ගැහැනු ඉන්නවා ඕනෙ තරම්. සමහර අය පොෂ් වෙන්න දඟලද්දී පුළුවන් තරම් කට්ට කාලා තමන්ගේ හීනවලට දඟලන ගැහැනු ඕනෙ තරම්. වරදින්න එපා එහෙම ගැහැනියකට කවදාවත්. මොකද එහෙම අය ජීවිතේ දරාගෙන ඉන්නෙ උපරිමෙන්. අද කියන්නෙත් කට්ට කාලා උපරිමයෙන්ම මහන්සිවෙලා ජීවිතය හදාගත්ත ජීවිතය දිනපු එහෙම ගැහැනියක් ගැන. ඒ වගේම ඒ වටා ඉන්න තවත් තරුණියන් ගැන. ඇය ගැන ගොඩක් දෙනෙක් නොදන්නවා වුණාට ඇගේ මහන්සියෙන් ගොඩනැඟුණු මහනුවර නගර මධ්‍යයේ තියෙන ප්‍රසිද්ධ දූරියන්සිලා රෙස්ටෝරන්ට් එක ගැන නම් නොදන්න කෙනෙක් නැතුව ඇති.

ඒක දූරියන්වලින් කෑම හදන රෙස්ටෝරන්ට් එකක්. හැබැයි මෙතැන ප්‍රසිද්ධ දූරියන් කොත්තුවලට. ඉතින් මේ දූරියන් කොත්තුවත් ලංකාවටම එකයි. මෙතැන විතරයි තියෙන්නේ. මේ රෙස්ටෝරන්ට් එකේ හිමිකාරිනිය හිමාලි සුරවීර. ඇය ව්‍යවසායිකාවක්, මවක්, ආදරණීය බිරියක්.

මහනුවර හේමමාලි බාලිකා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලද ඇගේ කතාවෙන් ගත හැකි දේ බොහොමයි. මේ ඇගේ කතාවයි.

අම්මයි, අක්කයි, අයියයි, මල්ලියි තමයි මගේ පවුලේ ඉන්නේ. අප්පච්චි නැති වෙද්දි මට වයස අවුරුදු 5යි. අපිව උගන්නලා උස් මහත් කරන්න අම්මා නොවිඳපු දුකක් නැහැ. මම උසස් පෙළ හැදෑරුවේ ජීවවිද්‍යා විෂය ධාරාවෙන්. විභාගයෙන් පස්සේ මහනුවර තාක්ෂණ විද්‍යාලයෙන් ආහාර තාක්ෂණය ගැන ඩිප්ලෝමාවක් කළා. පස්සෙ රත්මලාන වෘත්තීය තාක්ෂණ විද්‍යාලයෙන් වැඩිදුර ඉගෙන ගත්තා. ඊට පස්සෙයි මේ වාගේ ව්‍යාපාරයකට අඩිතාලම දැම්මේ. දැන් මම මවක්. බබාට මාස 8යි. පවුල් ජීවිතයයි, ව්‍යාපාරයයි සමබරව පවත්වාගෙන යනවා. මේ රෙස්ටෝරන්ට් එකේ තව ගැහැනු ලමයි කීපදෙනෙක් වැඩ කරනවා. ඉතින් මේක අපි කෙල්ලෝ ටික එකතු වෙලා කරගෙන යන ව්‍යාපාරයක් කිව්වත් වැරැද්දක් නැහැ.

 

කොහොමද මෙහෙම දූරියන්වලටම හිත ගියේ?

කැම්පස් එකෙන් කරන ප්‍රදර්ශනවලට ශිෂ්‍යයන් විදිහට අපි නව සොයාගැනීමක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි මම දූරියන් නිෂ්පාදනයක් සැකසුවේ. මට ඕනෙ වුණේ කවුරුත් නොකරපු දෙයක් කරන්න. ලෝකේ පලතුරු වර්ග කොයි තරම් තිබුණත් පලතුරු ලෝකේ රජ්ජුරුවෝ විදිහට හඳුන්වන්නේ දූරියන්. ඒ නිසා මම මේ වැඩේට දූරියන් තෝරාගත්තා. එදා ඒ විදිහට ව්‍යාපෘතියට දූරියන් තෝරාගත්තේ මෙච්චර ලොකු ගමනක් එන්න පුළුවන් වෙයි කියලා හිතලා නෙවෙයි.

 

හැමෝම කතාවෙන දූරියන් කොත්තුව ගැන අපි මුලින්ම කතා කරමු ..

ඒක අපේ රෙස්ටෝරන්ට් එකේ මෙනූ එකට අලුතෙන් එකතු වුණු ආහාරයක්. ඒක ඇත්තටම අපිට අහම්බෙන් හිතුණ දෙයක්. චීස් කොත්තු කියන්නේ සාමාන්‍යයෙන් හැමතැනම තියෙනවනේ. දූරියනුයි චීසුයි කියන්නේ ඒ දෙකේ පුදුම විදිහේ ගැළපීමක් තියෙන්නේ. ඉතින් අපි ඒ දෙක එකතුකරලා බැලුවා. පුදුමාකාර රසක් තිබුණේ. අපිට ඕනෙ වුණා මේ රස.. මේ වෙනස් කෑම මිනිස්සුන්ට දීලා බලන්න ඉතින් අපි මුලින්ම ක‍ෙළ් චීස් සහ දූරියන් එකතු කරපු පීසා සහ පේස්ට්‍රි වර්ග රෙස්ටෝරන්ට් එකට දාපු එක. ඊටපස්සේ තමයි චීස් සහ දූරියන් එකතුකරලා කොත්තු එකක් හැදුවේ.

මුලදි එයාලට හිතාගන්න බැරි වුණා මේක හදලා තියෙන්නේ කොහොමද කියලා. මගෙන් ඇවිත් අහනවා කට්ටිය ඒක හදලා තියෙන විදිහ ගැන. ඉතින් දැන් දූරියන් කොත්තුවට පුදුම ඉල්ලුමක් තියෙන්නේ. විශේෂයෙන්ම නුවරට එන විදෙස් සංචාරකයින් මේ දූරියන් කොත්තුවේ රස බලන්න අමතක කරන්නේ නැහැ. ඒ නිසා විදේශිකයන් අතර දුරියන් කොත්තුව ඒ තරමට ජනප්‍රියයි. ඒ අය දූරියන් කොත්තු කාලා අපේ නිෂ්පාදනත් අරගෙන යනවා. ඒක නිසා අපේ කොත්තුවට සහ නිෂ්පාදනවලට පිටරටවල ලොකු ඉල්ලුමක් තියෙනවා.

 

ඊට අමතරව මේ රෙස්ටෝරන්ට් එකේ තියෙන කෑම මොනව ද?

දූරියන් පීසා, දූරියන් සබ්මැරීන්, දූරියන් පේස්ට්‍රි, දූරියන් යෝගට්, දූරියන් අයිස් ක්‍රීම්, දූරියන් ඇට චිප්ස්, දූරියන් කප් කේක්, දූරියන් මිල්ක්ෂේක්, දූරියන් වටලප්පන්, දූරියන් ජෙලි, දූරියන් හොට් චොක්ලට් ඒ වගේ නිෂ්පාදන 20කට ආසන්න ප්‍රමාණයක් අපි ළඟ තියෙනවා. මේ වට්ටෝරු හැදුවේ අපිමයි. ඉතින් හරි පදමට හරි රසයට වට්ටෝරුවක් නිර්මාණය කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. අපි අාහාර නිෂ්පාදනය සම්බන්ධ තරගාවලි කිහිපයටම ඉදිරිපත් වුණා. ජාතික මට්ටමේ සම්මාන කිහිපයක්ම ලැබිලා තියෙනවා. පෞද්ගලික ආයතන ද්විත්ව එකතුවෙන් පැවැත්වුණු වනිතා අභිමානී සම්මාන උලෙළේ නැඟී එන ව්‍යවසායිකාව තරගයේ තුන්වැනි ස්ථානය ලබාගන්න අපිට හැකි වුණා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ බිස් මයින්ඩ් තරගයේ දෙවැනි ස්ථානයත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර තාක්ෂණ තරගයේ ප්‍රථම ස්ථානයත් අපි දිනාගත්තා. ඒවලින් ලැබුණු ජයග්‍රහණත් එක්ක මේ රෙස්ටෝරන්ට් එක තව හොඳට ගොඩනඟා ගත්තා. හැමෝම දැක්කේ මේක ඉස්සරහට යන්න පුළුවන් නිෂ්පාදනයක් විදිහටයි.

 

දූරියන්වලට සමහර අය අකැමැතියි. එතකොට එහෙම පිරිසක් ඉද්දී මේ නිෂ්පාදනය විකුණා ගැනීමේදී ගැටලු මතු වුණේ නැද්ද?

දූරියන් කන්නේම නැති අය දූරියන් අයිස්ක්‍රීම් එක කාලා දැන් අනෙක් දූරියන් නිෂ්පාදනවලත් රස බලනවා. දැන් එහෙම බැලුවම මේ නිෂ්පාදන දූරියන්වලට අකමැති අයට හොඳ ආදේශයක් කියලත් කියන්න පුළුවන්. තව සමහර අය ඉන්නවා මෙතැනට ඇවිත් දූරියන් යෝගට් එක කාලා දැන් දූරියන් කන්න කැමැති වෙච්ච අය. අනිත් එක අපි මේ සියලුම කෑම හදන්නේ දූරියන්වල දුගඳ නොදැනෙන්න. ඒකත් හොඳ හේතුවක් වුණා වැඩි පිරිසක් අප වෙත යොමු කරගන්න.

 

ඕනෙම ගමනක පටන් ගැන්ම අතිදුෂ්කරයි. ඔබේ ගමනෙත් ඒ දුෂ්කරතා ඒ විදිහටම තියෙන්න ඇති...

මේක පටන් ගත්තේ බොහොම පොඩි තැනකින්. අපි පාර අයිනේ තියාගෙන තමයි මේ නිෂ්පාදන මුලින්ම විකුණුවේ. ඊටපස්සේ හඟුරන්කෙත පාර අයිනේ පොඩි කඩයක් කුලියට අරගෙන එතැන ව්‍යාපාරය කරගෙන ගියා. පොඩි තැනකින් පටන් ගත්තා වුණාට මේ ගමන අපි හරි ඉක්මනට ආවා. ඒ තුළින් අපේ රෙස්ටෝරන්ට් එක හොයාගෙන බොහෝ පිරිසක් ආවා. ඒ වගේම බැංකුවලින් ණය පහසුකම් ගත්තා. මගේ අයියත් මට ගොඩක් උදව් කළා. ඒ හැමදේම එක්ක මහනුවර නගරය මැද්දේ මට රෙස්ටෝරන්ට් එකක් දාගන්න හැකි වුණා. මේ ගමන එන්න මට ගොඩක් අය උදව් කළා. මේ වැඩේ වටිනාකම දන්න එක නෝනා කෙනෙක් මාව හොයාගෙන ඇවිත් මට ලක්ෂ

5ක් ගෙනත් දුන්නා. ඒ වගේම තවත් මහත්මයෙක් මට අයිස්ක්‍රීම් මැෂින් එකක් අරගෙන දුන්නා. ඒ දේවල් මට මේ ගමන යන්න ලොකු උදව්වක් වුණා. දැන් මගෙ ළඟ ගැහැනු ළමයි 8 දෙනෙක් වැඩ කරනවා. අපි ඔක්කෝම එකට වැඩ කරන්නේ. මම හිමිකාරිනිය වුණාට මමත් එයාලගෙම කෙනෙක් විදිහටයි මෙතන වැඩ කරන්නේ. එහෙම වුණාම හැමෝටම යාළුවෝ වගේ වැඩ කරන්න පුළුවන්. අද මම මේ තැනට ඇවිත් ඉන්නේ තනියම ආපු ගමනක් නිසා නෙවෙයි. මේක හැමෝම එකතු වෙලා ආපු ගමනක්.

ඉස්සරහට ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම අපේ රෙස්ටෝරන්ට් එකේ ශාඛා දැක ගන්න ලැබේවි. ඊට අමතරම සෑම සුපිරි වෙ‍ෙළඳසලකටම දූරියන් අයිස්ක්‍රීම් දාන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. මගේ පවුලේ අයව ආදරයෙන් මතක් කරන්න ඕනේ. ඒ හැමෝම නිසයි අද මම මේ තැන ඉන්නේ.

මොනතරම් ප්‍රශ්න ආවත්, වේදනාකාරී දවස් ආවත්, ඔයා ඔයාගේ හීන වෙනුවෙන් වැඩ කරන්න . මහන්සි වෙන්න. කඩා වැටීම් සිය ගාණක් අස්සේ තව පාරක් උත්සාහ කරන්න තරම් හිතේ හයිය ඇතිකර ගන්න. සමහරවිට ඔයා උත්සාහ කරලා කරලා බැරි වුණත් අන්තිම අවස්ථාවෙදි හරි ඔයා දිනන්න ඉඩ තියෙනවා. මේ කතාවෙන් ඇය කියලා දුන්නේ ඒ අපූරු පාඩමයි.