ටොක් ටොක් ගාලා ගොඩයන්න පුළුවන් ටික් ටොක් එකක් හදාගන්නේ කොහොමද ?

අගෝස්තු 19, 2024

 

ටික් ටොක් කියන්නේ ලංකාවේ තියෙන වේගවත්ම ෆ්ලැට්ෆෝම්වලින් එකක්. මේ ෆ්ලැට්ෆෝම් එකට මෙතරම් වේගයෙන් මිනිසුන් ඇදී යන්නේ මේ ෆ්ලැට්ෆෝම් එකත් ඉතාම වේගයෙන් අප්ඩේට්වන නිසා. ටික් ටොක් ෆ්ලැට්ෆෝම් එකේ ෆනී දේවල්, අධ්‍යාපනික දේවල්, කෑම බීම ගැන, සතා සිව්පාවා ගැන, දෛනික ජීවිතයේ ඇතැම් දේවල් මේ හැම දෙයක්ම මේ ටික් ටොක් එකෙන් බලාගන්න පුළුවන්.

ටික් ටොක් එක මේ තරමටම මිනිසුන් අතරට යන්න shorts කන්සෙප්ට් එකත් ගොඩක්ම බලපාලා තියෙනවා. ඉතින් මේ විදිහට දැන් youtube එකෙත් shorts දකින්න පුළුවන්. ඇත්තටම ඒකෙන් ලොකු කතාවක් පොඩි වෙලාවකින් බලාගන්න අවස්ථාව ලැබෙනවා. මොකද දැන් තියෙන කාර්යබහුලත්වයත් එක්ක ලොකු වෙලාවක් සමාජ මාධ්‍ය වෙනුවෙන් යොදවන්න කාලයක් අපේ අයට නැහැ. ඉතින් ඒ නිසා මේ shorts video බලන්න ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙනවා.

තවම tik tok වලින් ලංකාවේ අය සල්ලි හම්බ කරන්නේ නැති වුණාට ලෝකයේ ගොඩක් අය සල්ලි හම්බකරන ප්‍රධාන මාධ්‍යයක් විදිහට tik tok යොදාගෙන අවසන්. මොකද තමන්ගේ කන්සෙප්ට් එක හරියට පොපියුලර් කරගෙන තමන් වටේටම followers ලා ගොඩක් හදාගන්න මේ tik tok ෆ්ලැට්ෆෝම් එකට පුළුවන්. ඒ හැම කෙනෙක්ම නිතරම ක්‍රියේටර්ස්ලගේ දේවල් බලනවා හොයනවා වගේම එයාලා මේ ක්‍රියේටර්ස්ලව විශ්වාස කරනවා.

උදාහරණයක් විදිහට ගත්තොත් මේ ක්‍රියේටර්ස්ලා හඳුන්වාදෙන ප්‍රඩක්ට්ස් මේ ෆලොවර්ස්ලා මිල දී ගන්න පවා පෙලඹෙනවා. ඒ වගේම තමයි ෆුඩ් කන්ටෙන් කරන අය කන බොන තැන්වලින් පවා මේ ෆලොවර්ස්ලා කනවා බොනවා. ඒ අය අඳින ඇඳුම් අඳින්න පෙලඹෙනවා. මෙන්න මේ හේතුව නිසා ඇතැම් කන්ටෙන් ක්‍රියේටර්ස්ලා එහෙම නැත්නම් සංකල්ප නිර්මාණකරුවෝ කරන්නේ ඒ විදිහෙ විවිධ විවිධ දේවල් පළ කරන එක. ඉතින් මේ හරහා වෙළෙඳ දැන්වීම්, ප්‍රඩක්ට් රිවිව්ස්, ට්‍රැවල් වගේ දේවල් කරලා මුදල් උපයන්න පුළුවන්. ඉතින් මේ විදියට තමයි ටික් ටොක් පාවිච්චි කරන අයට සල්ලි හම්බ කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ටික් ටොක් එකේ මොකක් හරි වැඩක් පටන් ගනිද්දී හරි අදහසකින් පටන් ගත්තොත් ගොඩක් ඉඳිරියට යන්න පුළුවන්.

 

හැමදේටම කලින් ඇල්ගොරිදම්

 

ටික් ටොක් එකේ වැඩක් පටන් ගන්නවා නම් මුලින්ම කරන්න ඕන මේකයි. ටික් ටොක් ඇල්ගොරිදම් තේරුම් ගන්න එක. සාමාන්‍යයෙන් අපි වීඩියෝ එකක් දැම්මට පස්සේ ටික්ටොක් එකෙන් ඒක 100 - 500ත් අතරේ ප්‍රමාණෙකට පෙන්නනවා. දැන් ඒකෙන් කී දෙනෙක් වීඩියෝ එක සම්පූර්ණයෙන්ම නරඹනවද, ලයික් කරනවද, කමෙන්ට් කරනවද, ෂෙයාර් කරනවද,  ඩවුන්ලෝඩ් කරනවද කියන එකත් මේ ඇල්ගොරිදම්වලින් බලනවා. දැන් මේ විදියට හොඳ එන්ගේජ්මන්ට් රේට් එකක් ලබාගත්තොත්, එහෙම වීඩියෝ එකකට තව වැඩි පබ්ලිසිටියක් ටික්ටොක් එකෙන්ම ලැබෙනවා.

 

වැඩි පිරිසකට මේ වීඩියෝ එක පෙන්නනවා. එහෙම නැතිනම් අපේ වීඩියෝ එකේ රීච් එක ස්වයංක්‍රීයවම ටික් ටොක් ඇල්ගොරිදම්වලින් ලිමිට් කරනවා. දැන් මෙන්න මේ විදිහට සරලව ටික් ටොක් ඇල්ගොරිදම් හැසිරෙන විදිය අල්ලගත්තහම, අපිට වඩාත් හොඳ එන්ගේජ්මන්ට් එකක් ලැබෙන විදියේ වීඩියෝ ප්ලෑන් කරන්න පුළුවන්

 

 

හොඳ තේමාවක්

 

ඇත්තටම මොනවද පබ්ලිෂ් කරන්නේ කියන එක ගැන හරි අවබෝධයක් තිබිය යුතුමයි. හොඳ තේමාවක් තෝරා ගන්න. තමන් වැඩි වශයෙන් කරන්නේ එන එන සිංදු කෑලිවලට ටික් ටොක් එකේ ඩාන්ස් කරන එක නම්, ඒ අතරින් පතර කුකරි ටිප්ස් වීඩියෝ දාලා වැඩක් නෑ. එහෙම කරන එකෙන් වෙන්නේ, කෙනෙක් අපේ ටික් ටොක් එකවුන්ට් එකෙන් ඉදිරිපත් කරන්නේ මොනවද කියලා කන්ෆියුස් වෙන එක. ඒකෙන් අපිට ෆලෝවර්ස්ලා හැලෙන්න පුළුවන්.

 

දාන්න පුළුවන් මොනවද?

 

මෙතැනදී එක්කෝ තමන්ගේ විශේෂඥතාවයට අදාළව වීඩියෝස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉංග්‍රිසී භාෂාව ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක්ට ටික් ටොක් එකෙන් ඉංග්‍රීසි භාෂාව ගැන කියලා දෙන්න පුළුවන්. කුකරි හොඳ දැනුමක් තියෙන කෙනෙක්ට කුකරි චැනල් එකක් කරන්න පුළුවන්. හැබැයි මෙතැනදී දාන්න ඕනේ. තමන්ට හොඳ දැනුමක් තියෙන්නම ඕ‍ෙන කියලා දෙන දේවල් සම්බන්ධයෙන්. ඒක අනිවාර්යයි.

 දෙවෙනියට එහෙම විශේෂ දැනුමකුත් නැති නම්, මේ දවස් වල ටික් ටොක් එකේ ට්‍රෙන්ඩ් එක මොනවද කියලා බලලා, ඒකම ඊට වඩා ටිකක් වෙනස් විදියට හරි ඊට වඩා හොඳට හරි කරන්න පුළුවන්. එහෙම කරලත් වීව්ස් ගන්න පුළුවන්. ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේදී එහෙන් මෙහෙන් දකින දේවල් ගැන පවා වැඩිය හිතන්නේ නැතුව ටික් ටොක් එකට දාන්නත් පුළුවන්.

 

හැමදාමත් පෝස්ට් දාමු

 

මෙන්න මේකත් ඉතින් සාර්ථකව ටික් ටොක් එකේ ගොඩයන්න අත්‍යාවශ්‍ය දෙයක්. ඒ තමයි, දිනපතාම යම් කිසි අන්තර්ගතයක් ටික් ටොක් එකට එකතු කරන එක. ඒ කියන්නේ, යලට මහට වීඩියෝස් නොදා, අඩු තරමින් දවසකට එකක් වත් දාන එක. ඇත්තටම ඔය එක්ස්පර්ට්ලා කියන විදිහට, ටික් ටොක් එකේ ඇල්ගොරිදම් වැඩ කරන විදිය තමයි ඒ. ඒ කියන්නේ වීඩියෝ දාන ෆ්‍රීක්වන්සි එක වැඩි වෙන තරමට රීච් එකත් වැඩි වෙනවා.

 

 ඒ වගේම තව කාරණයක් තියෙනවා. අපේ වීඩියෝස්වලට මිනිස්සු ආසයි නම්, ඒ අය අපේ වීඩියෝස් තව තවත් බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි ඒ බලාපොරොත්තු කඩ කරනවා නම්, ඒ කියන්නේ කොච්චර හොඳ වුණත් වීඩියෝ එකක් දාන්නේ කාලෙකට සැරයක් නම්, අපිට ෆලෝවර්ස්ලා අහිමි වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා.

 

කොලිටිය වැදගත් ද?

 

වීඩියෝ එකක් දුවාගන්න නම් කොලිටිය ගැන හිතන්න ඕනේ නැහැ ලොකුවටම. දැන් අපි අපේ ජොලිය උදෙසා ටික් ටොක් එකවුන්ට් එකක් හදාගෙන වීඩියෝස් කරගෙන යනවා නම්, අතේ තියෙන ස්මාට්ෆෝන් එකෙන් වුණත් ඕක සරලවම ගොඩදාන්න පුළුවන්.

 

හැබැයි අපි නිශ්චිත අරමුණක් ඇතුව, ටික් ටොක් එකවුන්ට් එකෙන් අපේ ප්‍රඩක්ට්ස් මොනවා හරි විකුණන අරමුණෙන් හරි, ටික් ටොක් ඉන්ෆ්ලුවන්සර් කෙනෙක් වීමේ

 

අරමුණෙන් හරි, වෙන ඒ වගේ තමන්ට ප්‍රතිලාභ ලැබෙන අරමුණකින් හරි ටික් ටොක් කරනවා නම්, අනිවාර්යයෙන්ම වීඩියෝවල කොලිටියත් අනිවාර්යයි. ඒකට හොඳ ලයිටින්, ට්‍රයිපොඩ් වගේ දේවල්වලට ආයෝජනයක් කළත් පාඩුවක් නෙවෙයි.

ඒ වගේම, තමන් ඉදිරිපත් කරන අන්තර්ගතයට ගැළපෙන විදියේ ටික් ටොක් හැන්ඩ්ල් එකක්, ඒ කියන්නේ නමක් තිබීම වැදගත්. ඒ වගේම, තමන් කරන දේ සහ තමන් කවුද කියන එක හොඳට පැහැදිලි කරන බයෝ එකකුත් වටිනවා. ඒ වගේම තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එක සහ යූටියුබ් එකවුන්ට් එකත් ලින්ක් කරලා තියෙන එකත් වටිනවා. ඒ වගේම ඕ‍ෙන නම් ටික් ටොක් බයෝ එකට ක්ලික් කරන්න පුළුවන් ලින්ක් එකක් එහෙමත් දැම්මට පාඩු නෑ.

 

ඉතින් ටික්ටොක් එකවුන්ට් එකේ profile photo එකේ ඉඳන් හැම දේකම පිළිවෙළක් තියෙන්න ඕනේ. කුකරි චැනල් එකක් කරන කෙනෙක් ප්‍රොෆයිල් එකට මල් වත්තක් ෆොටෝ එකක් ප්‍රොෆයිල් ෆොටෝ එකට දාලා හරියන්නේ නැහැ වගේ හැම දේකම පිළිවෙළක් තිබ්බොත් මේ වැඩේ ගොඩදාගන්න එක හිතන තරම් අපහසු නැහැ.