ඉතුරු -බිතුරු මවනා විසිතුරු

අගෝස්තු 19, 2024

 

පැච්වර්ක් කලාවට ළෙන්ගතු ඔබ ඉතුරු බිතුරු රෙදි කොටස් ඉවත නොදමන බව දනිමු. ඒ නිසාම එවැනි රෙදි කැබැලි කිහිපයක එකතුවෙන් මසාගන්න පුළුවන් කුෂන් කවරයක් නිර්මාණය කරගන්නා අයුරු කියා දෙන්නට සිතුවෙමු. නෙක වර්ණ රෙදි කොටස් මුද්‍රිත රෙදි කොටස් ගැළපීමෙන් නිර්මාණයේ විචිත්‍රත්වය දිස්වෙයි.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සහ නිර්මාණය කිරීම

ඔබ ළඟ ඇති ඉවතලන මුද්‍රිත හා තනි පැහැති රෙදි කොටස් කිහිපයක්

එක් කොටුවක් අඟල් 5 x 5 විය යුතුය. මෙවැනි පේළි 4ක් දිග අතට හා පළලට අවශ්‍ය වේ.

 

පළමුව එම රෙදි කොටස් මූට්ටු කරගන්න. එවිට ඔබට දිග සහ පළල අඟල් 20 x 20 ප්‍රමාණයේ කුෂන් කවරයක් නිර්මාණය වේ. දැන් ඔබ එවැනි පළු දෙකක් සකස්කර ගත යුතුය. යට පළුව පමණක් කොටස් දෙකකට වෙන වෙනම සකස් කරගත යුතුය. (මෙය කුෂන් එකට දැමීමේදී කවරයක් අන්දමට මසා ගැනීමට අවශ්‍ය නම් පමණි මෙය පළු දෙකකට සකසා ගත යුතු වන්නේ.)

 

දැන් මේ උඩ පළුවත් පිටුපස පළුවත් සඳහා ලයිනින් කපාගන්න. මේ සඳහා අමු රෙද්දක් පාවිච්චි කළ හැකියි. මෙය විසිතුරුකර ගැනීම සඳහා කුෂන් කවරයේ වට ප්‍රමාණය මෙන් දෙගුණයක් දිගට අඟල් 3ක් පළල රෙදිපටි තීරුවක් කපාගන්න. එක පැත්තකට තනි වාටියක්ද අනිත් පැත්තට රැලි බෝඩරයක්ද සේ පටිය සකසාගන්න.

 

දැන් කුෂන් කවරය වටේට රැලි පටිය තබා මසාගන්න.

 

 

උපදෙස්

ප්‍රවීණ අත්කම් නිර්මාණ උපදේශිකා

චාන්දනී බණ්ඩාර