වර්ෂ 2025 ක්වූ February 10 වැනිදා Monday
පොල්මුඩ්ඩෙන් ඩොලර් මවන එප්පාවල නදීශා

හැමෝම හීන දකින්නේ තමන්ගෙම කියලා පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න. හැබැයි රැකියාවක් කරනවා වගේ නෙවෙයි තමන්ගෙම ව්‍යාපාරයක් කරනවා කියන්නෙම ලොකු අභියෝගයක්. ඒකට හිතේ හයිය තියෙන්නම ඕනේ. ඒ වගේ ජීවිතේ හැමෝටම එනවා හිත හයිය කර ගන්න ඕනි වෙලාවක්. තමන් ගැන ඇගයීමක් තමන් තුළින්ම දැකිය යුතු වෙලාවක්. මේ කියන්න යන ඇයත් ඒ විදිහේ හිත හයිය ගැහැනියක්.
ඇය එප්පාවල පදිංචි නදීශා මධුවන්ති. ඇය ව්‍යවසායිකාවක්. ඇය ඇගේ සැමියා සුමේධ ලියනආරච්ච් සමඟින් එක්ව කරන්නේ හරි අපූරු ව්‍යාපාරයක්. ඒ කොහු ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක්.
ඒ නිෂ්පාදන අතරින් වළං පිඟන් සේදීමට පොල්මුඩ්ඩ නමින් වෙළෙඳපොළට ඔවුන් හඳුන්වාදුන් නිෂ්පාදනය ලංකාව පමණක් නොව ලෝකයේම කතාබහට ලක් වී අවසන්.
ඒ අපේකම රැකගනිමින් ලෝකයම ආරක්ෂා කරන්නියක් විදිහටයි. පියවරෙන් පියවර ඉදිරියට යමින් හෙළ නැචුරල් ලංකා පුද්ගලික සමාගම බිහිවන්නේ ඔවුන්ගේ ඒ කැපවීමේ ප්‍රතිඵලයක් විදිහටයි.
ස්වයං රැකියාවක් අරඹන්නට සිහින දකින ඔබට ඇයගෙන් ඉගෙන ගත හැකි දේ බොහොමයි.
"අපි කරන්නේ කොහු ආශ්‍රිත නිෂ්පාදන. පොල්මුඩ්ඩ කියලා මම අලුත් නිෂ්පාදනයක් හැදුවා. ඒක ස්පොන්ච් වෙනුවට වළං පිඟන් හෝදන්න ගන්න පරිසර හිතකාමී නිෂ්පාදනයක්. ඊට අමතර මම කොහු ලණු නිෂ්පාදනයත් කරනවා. ප්‍රධාන වශයෙන් ඒ නිෂ්පාදන දෙක තමයි කරගෙන යන්නේ. ඊට අමතරව කොහුවලින් මල්පෝච්චි සහ පැළවලට තියන ආධාරකත් හදනවා. මේ සියලුම නිෂ්පාදන පරිසර හිතකාමියි. අද වෙද්දි මේ නිෂ්පාදනවලට ලොකු වෙළෙඳපොළක් නිර්මාණය වෙලා තියෙනවා.
කොහොමද මේ වගේ දෙයක් නිෂ්පාදනය කරන්න අදහස ආවේ?
සැමියා වෙනත් ආයතනයක රැකියාවක් කරපු කෙනෙක්. ඒක විගණනය සම්බන්ධ රැකියාවක්. ඒ නිසා එයාට ගොඩක් ව්‍යාපාරිකයන් සහ අායතන සමඟ කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. එහෙම යද්දි ස්වයං රැකියා කරන අය සමඟත් කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒවා දැකලා තමයි ඔහුට අදහසක් ආවේ අපිත් මේ වගේ දෙයක් පටන් ගමු කියලා.
ඒ විදිහට කොහු ලණු හදන්න පටන් ගත්තා. කොහු ලණු හදද්දි ඒ මැෂින්වලින් කොහු යම් තරමක් අපතේ යනවා. ඒ ඉතිරිවන කොහුවලින් මොකක්ද කරන්නේ කියලා හිත හිත ඉද්දි තමයි මේ නිෂ්පාදනය කරන්න හිතුවේ. ඊට පස්සේ කාලයක් අත්හදා බැලීම් කරලා මේ නිෂ්පාදනය කළා.
මොන විදිහේ ස්වයං රැකියාවක් කළත් තමන්ගෙම කියලා ෆැක්ට්‍රි එකක් පටන් ගන්නවා කියන එක පහසු දෙයක් නෙවෙයි?
“දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග” කියලා පැරැණි කියමනකුත් තියෙනවානේ. ඒ නිසා කරන්නම් වාලේ ස්වයං රැකියාවක් ආරම්භ කිරීම තමන්ගේ මුදල් පසුම්බියට එතරම් ගුණදායක නැහැ. තමන් ආරම්භ කරන ව්‍යාපාරය අනාගතයේදී පැවතිය යුත්තේ කොතැනකද කියලා මූලික අවබෝධයක් තමන්ට නැත්නම් තත්ත්වය තවත් අයහපත් වෙන්න පුළුවන්. ඒ නිසා පාර දැනගෙන කතරගම යනවා වගේ තමන් යන පාර පිළිබඳ අවබෝධයකින් යුතුව තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කිරීම තමයි වඩාත් හොඳ. පාර දැන ගියොත් යා හැකි දුර බොහොමයි.
එහෙම ආපු ගමන් මඟේදී අද ආයතනය තියෙන්නේ කොතැනක ද?
පටන් ගැන්ම හිතපු තරම් පහසු වුණේ නැහැ. අපි දෙන්නා කලින් මෑන් පවර් කම්පැනි එකක් කරගෙන ගියේ. අවුරුදු 6ක කාලයක් අපි ඒ මෑන් පවර් කම්පැනි එක කරගෙන ගියා. එතැනින් ලැබුණු සියලුම ආදායම අපි එකතු කළා අපේම ව්‍යාපාරයක් පටන් ගැනීමේ අරමුණෙන්. ඒ මුදල් ටික අපි මේ ව්‍යාපාරයට යටකළේ හිතේ පොඩි චකිතයකුත් තියාගෙනයි. අක්කරයක භූමි ප්‍රදේශයක තමයි අපේ ෆැක්ට්‍රි එක ඉදිකරලා තියෙන්නේ.
අද වෙද්දි අපි ගාව කාන්තාවන් 6 දෙනෙක් වැඩ කරනවා. ප්‍රවාහන පහසුකම් සඳහා තව පිරිමි ළමයි දෙන්නෙක් වැඩ කරනවා. ඒ වගේම ඇණවුම් වැඩි වෙන කාලවලදී තාවකාලික සේවකයින්වද සම්බන්ධ කර ගන්නවා.
මේ නිෂ්පාදන කටයුතු සිදුවෙන්නේ කොහොම ද?
අපේ ප්‍රධාන නිෂ්පාදනය කොහු ලණු. ඒවා නිෂ්පාදනය කරද්දි පොල්ලෙලි ගෙනැල්ලා. ඒවා කපලා කොහු ගැනීම සිදු කරනවා. ඒ කොහු හොඳින් ශුද්ධ කරලා ලණු අඹරනවා. එතකොට එයින් අපතේ යන කොහු අරගෙන හෝදලා, වේළලා අරගෙන රබර් කිරි මිශ්‍රකරලා නිෂ්පාදනය කරනවා. එහෙම හදලා තමයි මේ නිෂ්පාදන වෙළෙඳපොළට දාන්නේ. අපේ නිෂ්පාදනවලට මේ තරම් ඉල්ලුමක් තියෙන්නේ ගුණාත්මකභාවය නිසා. මේ නිෂ්පාදනය සති දෙකක් පමණ පාවිච්චි කරන්න පුළුවන්.
මේ ව්‍යාපාරයේ තිබෙන ගැටලු මොනවාද?
මේ ව්‍යාපාරයේ තියෙන ලොකුම ගැටලුව පොල් ලෙලි සපයා ගැනීම. මොකද පොල් ලෙලිවලට වෙළෙඳපොළේ හොඳ මිලක් තියෙනවා. ඒ මිලට පොල් ලෙලි අරගෙන මේවා නිෂ්පාදනය කරලා වෙළෙඳපොළට දාද්දි ලොකු ලාභයක් ලබා ගන්න අපහසුයි. කොහු ආශ්‍රිත නිෂ්පාදන කරන හැමෝටම වගේ ඒ ප්‍රශ්නය තියෙනවා. ඒ වගේම වර්ෂාව නිසාත් සමහර කාලවලදී ලොකු බලපෑමක් සිදුවෙනවා.
පොල්මුඩ්ඩ නිෂ්පාදනය ලෝකය පුරාම කතාබහට ලක් වූ නිෂ්පාදයක් බවට පත් වුණේ කොහොම ද?
මගේ ෆේස්බුක් පිටුවට මේ නිෂ්පාදනය ගැන නිකමට වගේ පෝස්ට් එකක් දැම්මා. ඒකෙන් මට ගොඩක් ඇණවුම් ලැබුණා. රූපවාහිනි නාළිකාවකිනුත් මට කතා කළා. එයාලා මගේ මේ අලුත් නිෂ්පාදනය ගැන වීඩියෝ එකක් කරලා එයාලාගේ පේජ් එකේ දාලා තිබුණා. එකෙන් මෙහෙ අය විතරක් නෙවෙයි විදෙස් රටවලින් පවා මට ඕඩර්ස් ලැබුණා. එයාලගේ ඕඩර්ස් තැපැල් මාර්ගයෙන් මම යවනවා. ඉතින් මගේ ව්‍යාපාරය හරි ඉක්මනට දියුණු කර ගන්න හැකියාව ලැබුණා. මේ ව්‍යාපාරය පටන් අරගෙන තවම අවුරුද්දයි. නමුත් අවුරුද්දක් ඇතුළතදී අපි ලොකු දියුණුවක් ලැබුවා. කොහු ආශ්‍රිතව තවත් නිෂ්පාදන කිහිපයක් කරන්න ඉදිරියේදී බලාපොරොත්තුවක් තියෙනවා.
මම අවුරුදු 6 සහ අවුරුදු 4 වයස්වල දරුවන් දෙදෙනෙක් ඉන්න මවක්. ඉතින් ඒ හැමදේම කරගෙන මේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යනවා. මේ ගමනේ සාර්ථකත්වයට සැමියාත්, සැමියාගේ මවත් මට ගොඩක් උදවු කරනවා.