නීරෝගි සමක් ලබා ගැනීමට නම් නින්දට පෙර මේ සත්කාර කරන්න

මාර්තු 13, 2023

 

වර්තමානය වෙනකොට බොහෝ දෙනා හුරු වෙලා ඉන්නේ ඉතාම කාර්ය බහුල ජීවන රටාවකටය.මේ නිසා රැකියාවල් කරන කාන්තාවන්ට තමන්ගේ රූපලාවණ්‍ය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න කාලයක් නැති තරම්.නමුත් කාන්තාවක් අනිවාර්යෙන්ම තමන්ගේ ශරීරයේ බර ගැන, තමන්ගේ රූපලාවණ්‍ය ගැන සැලකිලිමත් වන්නට ඕනේ. සැලෝන් එකකට යන්න වෙලාවක් නැති වුවත් රාත්‍රියේ නින්දට පෙර ඔබ කරන මේ පුංචි දේවල්වලින් පෙනුම හැමදාම තරුණව තියාගන්න ඔබට පුළුවන් වේවි.

 

මේක්- අප් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න

 

ඔබ දවස පුරාම මුහුණ මත තවරා ගෙන සිටින මේකප් හෝ වෙනත් ආලේපන වර්ග එසේම තිබෙන්නට හැර නින්දට යනවා කියන්නේ සමේ ඇතිවිය හැකි ගැටලුවලට ඔබම ආරාධනා කිරීමක්. නින්දේදී ඔබේ සම නැවත සකස් වීමට පටන් ගන්නා නිසා සමෙහි සිදුරු විවෘත වීමට පටන් ගනියි. එහිදී මුහුණ මත විවිධ ආලේපන වර්ග තිබීමෙන් චර්ම රෝග, කුරුලෑ, ආසාදන සහ ලප කැළැල් ඇතිවිය හැකිය. එම නිසා නින්දට පෙර ඔබේ මුහුණ ඉතා හොඳින් පිරිසුදු කිරීමට අමතක කරන්න එපා.

 

ටෝනර් එකක් භාවිත කරන්න

 

මුහුණ පිරිසුදු කිරීමෙන් පසුව ටෝනර් එකක් ඔබ භාවිතා කළ යුතුමයි. මුහුණ පිරිසුදු කිරීමේදී විවෘතවන සමේ සිදුරුවලින් එහි ඇතුළත ස්ථරයට කුණු දුහුවිලි සහ විසබීජ ඇතුළු වීම ටෝනර් එකක් ආලේප කිරීම මගින් වළක්වනවා. ඒ වගේම ඔබේ සමයෙහි ස්වාභාවික pH අගය යථා තත්ත්වයට පත් කරන්නත් toner එකක් උපකාරී වෙනවා. මුහුණ පිරිසුදු කර තෙත මාත්තු කිරීමෙන් පසුව ඔබේ සමට ගැළපෙන toner එකක් ගෙන මෘදුව සම මත රාත්‍රී කාලයේ දී ආලේප කරන්න.

 

ඇස් වටා ඇති අඳුරු පැහැයට අයි ක්‍රීම් භාවිතය

 

ඔබ දවස පුරාම පරිගණක තිරයක් දෙස බලාගෙන රැකියාව කරන කෙනෙක් නම් මෙය ඔබට ඉතාම වැදගත් දෙයක්. Eye cream එකක් තෝරා ගැනීමේදී ඔබේ සමට ගැළපෙන ,සැර රසායන ද්‍රව්‍යවලින් තොර හොඳ වෙළෙඳ නාමයක් යටතේ නිෂ්පාදනයකර ඇති නිෂ්පාදනයක් තෝරා ගන්නත් අමතක කරන්න එපා. එවැනි ක්‍රීම් වර්ගයක් ගැල්වීමෙන් පසුව වෙහෙස වූ ඇස් ලිහිල් කිරීමට ඇති අක්ශි ව්‍යායාම කිරීමෙන් ඔබේ ඇස්වලින් පෙනෙන වෙහෙසකර බව, රැලි සහ සියුම් රේඛා, ඇස් යට ඇති අඳුරු ගතිය සහ අවපැහැ ගැන්වීම් ඉවත් කරගන්නට ඔබට පුළුවන්.

 

දෑත් ගැනත් සැලකිළිමත් වෙන්න.

 

මෙය එතරම් වැදගත් දෙයක් නෙවෙයි කියලා ඔබ හිතුවත් ඇත්ත වශයෙන්ම එය වැදගත් දෙයක්. විශේෂයෙන්ම මේ දිනවල පෙරටත් වඩා ඔබ අත් සේදීම සිදු කරනවා නම් hand cream එකක් අනිවාර්යෙන්ම භාවිතා කරන්න. ඉවුම් පිහුම් සහ පිරිසුදු කිරීම් සඳහා විවිධ සබන් වර්ග, සේදුම් කාරක භාවිතා කිරීමේදී ඔබේ අත් වියලෙනවා. ඒ වගේම සම රළු වීමක් ද සිදුවෙනවා. මෙය යථා තත්ත්වයට පත්කිරීමට නම් තෙතමනය ආරක්ෂා කරන ඔබේ සමට ගැළපෙන hand cream එකක් අනිවාර්යයෙන්ම රාත්‍රියේදී ඔබේ අත්වල ගල්වන්නට වගබලා ගන්න.

 

ඔබේ කෙස් කලඹ ගැට ගසා ගන්න

 

රාත්‍රී කාලයේ දී ඔබ හිසකෙස් මුදාහැර නිදා ගන්නවා නම් හිසකෙස්වල ඇති ස්වාභාවික තෙල් ගතිය , හිස්හොරි හෝ වෙනත් කුණු දූවිලි ඔබේ මුහුණ මත තැවරී මුහුණේ කුරුලෑ සහ ආසාදන තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ තිබෙනවා.ඊට අමතරව හිසකෙස් ගැටගැසීම ද සිදුවිය හැකියි.එම නිසා රාත්‍රී කාලයේදී ඔබේ කොණ්ඩය ගොතා තිබීම හෝ ගැට ගැසා තිබීම වඩාත් සුදුසුයි.

 

ඔබේ පාද

 

ඔබ මුහුණට දක්වන සැලකිලිමත්කම ඔබේ දෙපාවලටත් අනිවාර්යෙන්ම දැක්විය යුතුයි. දෙපාවල පිරිසුදුකම පිළිබඳව කාන්තාවක් ලෙස අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතු අතර දිනපතාම දෙපාවල නියපොතු හොඳින් මැද පිරිසුදු කළ යුතුය.දින 2කට වරක්වත් අපේ දෙපා මඳ උණුසුම් ජලයේ බහා තබා හොඳින් තෙත මාත්තුකර ඔබේ සමට ගැළපෙන මොයිස්චරයිසර් වර්ගයක් හෝ දෙපාවල තෙතමනය ආරක්ෂා කිරීමට දෙපා සඳහාම නිමවා ඇති cream ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

මෙන්න මේ ලෙහෙසි පහසු පියවරයන් හැමදාම අනුගමනය කළොත් ඔබේ තරුණ බව රැකගන්න ඔබට එතරම් වෙහෙස වෙන්න අවශ්‍ය වෙන එකක් නැහැ. මීට අමතරව පෝෂ්‍යදායි ආහාර සහ නැවුම් එළවළු පලතුරු ආහාරයට ගැනීම, හොඳින් ජලය පානය කිරීම සහ නිසි ලෙස ව්‍යායාම කිරීම මඟින් ද ඔබට වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන.

 

 

 

උපදෙස්

රූපලාවණ්‍ය‍ ශිල්පී

සමන්ත ගුණසේකර

සැලෝන් මූඩ්ස්