වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සුව නීති පිළිපැදීමත් කෘතවේදීභාවයක්
අද දවස සාමකාමී කිරීමට, හෙට දවස සුබ වාදී කිරීමට කෘතවේදී බව මොනතරම් වැදගත්ද? එය මෙවැනි වසංගත සමයක වඩාත් දැඩිව දැනෙන දෙයක්. කෘතවේදී බව උතුම් මිනිස් ගුණාංගයක්.
සිදුහත් තවුසානෝ බුදුවී තමන්ට බුදු වීමට පිටදුන් ඇසතු බෝ රුකට අනිමිසලෝචන පූජාව සිදු කළේ කෘතවේදී භාවයේ වැදගත්කම පෙන්වීමටයි. එහෙත් අවාසනාවකට එය මිනිසුන් බහුතරයකට අඩුවෙන් පිහිටා ඇති ගුණාංගයක්. කෘතවේදීභාවය හා අපේ මානසික සෞඛ්‍ය අතර සබඳතාවක් පවතිනවා. කෘතවේදී පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය ඉතා යහපත්. ඒ අය අනෙකාගේ උපකාරය අගයමින් ඒ ගැන බෙහෙවින් සතුටට පත් වෙනවා. දැන් පවතින වසංගත තත්ත්වයට කෘතවේදී බව සම්බන්ධ වන්නේ කොහොමද ? අපේ සුව සේවාවේ සිටින වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කණ්ඩායම අපව කෝවිඩ් - 19 වසංගතයෙන් බේරා ගැනීමට, රෝගය පාලනය කිරීමට විශාල කැප කිරීමක් කරමින් සිටිනවා. එලෙසම ආරක්ෂක හමුදාවත් කරන මෙහෙය සුළුපටු නැහැ. අප ඔවුන් පිළිබඳ නිතර කෘතවේදී විය යුතුයි. ඔවුනගේ මුහුණට කෘතවේදී භාවය පෙන්වීමට අවස්ථාවක් නො ලැබුණත් අපට පනවා ඇති සුව උපදෙස් අකුරට පිළිපැදීමෙන් අපට කෘතඥ පූර්වක විය හැකියි. මුහුණු ආවරණයක් පැලඳීම, නිතරම සබන් ගා දෑත් සෝදා ගැනීම, මුහුණ අල්ලන්නේ නැතිව සිටීම, මීටර් 1.5 ක් හෝ ඊට වැඩි දුරස්ථ භාවයක් පවත්වා ගැනීම මඟින් කෘතවේදී බව පෙන්විය හැකියි. අප එසේ කළොත් එය සුව සේවා නිලධාරීන් කරනා මෙහෙයට විශාල ශක්තියක් වෙනවා. ඔවුනට කෘතවේදී බව පෙන්විය හැකි හොඳම ක්‍රමය එයයි.
අපට අප වෙනුවෙන් ද කෘතවේදී වීමට පුළුවන්. වැඩි දෙනෙක් කතා කරන්නේ තමන්ට නැති දේවල් ගැනයි. වාහනයක් නැති තැනැත්තා පවසන්නේ තමන්ට යතුරුපැදියක් තිබුණා නම් යහපත් බවයි. යතුරු පැදියක් ගත්තාට පසු සිතන්නේ මට ත්‍රී විලරයක් තිබුණා නම් මොන තරම් වටිනවාද කියායි. ඉන්පසුව සිහින මවන්නේ මෝටර් රථයකටයි. නැති දේ ගැන සිතීම, පසු තැවීම බහුතරයකගේ පුරුද්දයි. මේ මොහොතේ ජීවිතයේ තිබෙන දේ ගැන සතුටු වන්න. නැති දේ ගැන දුක්වී අනාගතයේ අතෘප්තිමත්ව ජීවත් වෙනවා. යහපත් මානසික සෞඛ්‍යයක් ඇති අයෙක් එසේ ජීවත් වන්නේ නැහැ. ඔහු / ඇය නිරන්තරයෙන්ම ජීවිතයේ ධනාත්මක දේ ගැන මෙනෙහි කරනවා.
ජීවිතයේ ධනාත්මක දේ මෙනෙහි කළ යුතු ක්‍රමයක් ද තියෙනවා. නින්දට පෙර එදා දිනයේ සිදුවූ ධනාත්මක දේ ගැන මෙනෙහි කරන්න. කලකට පසු අවංක, සුහද මිතුරකු හමුවී කළ කතා බහක්, කැමැතිම රසකැවිලි වර්ගයක් කෑමට ලැබීම දවසේ ධනාත්මකව මෙනෙහි කළ හැකි සිදුවීම් දෙකක්. වැඩි දෙනෙක් සිතන්නේ ධනවාදී ලෙස මෙනෙහි කළ හැක්කේ මහා පරිමාණයේ සිදුවීම් කියායි. එහෙත් ලොකු ලොකු දේ ජීවිතයේ දිනපතා අත්දැකීමට ලැබෙන්නේ නැහැ. කෘතවේදී විය හැකි දවසේ ධනාත්මක සිදුවීම් තුනක් මෙනෙහි කරන්න. එසේ කිරීමෙන් එය පුරුද්දක් බවට පත්වෙයි. එවිට අසුබවාදී මානසිකත්වයෙන් අත්මිදෙන්නට හැකි වෙනවා. “නැහැ, නැහැ, නැහැ. බැහැ, බැහැ, බැහැ යන මානසිකත්වයෙන් බැහැර වෙනවා. මෙලෙස කාලයක් දෛනිකව ධනාත්මක දේ මෙනෙහි කිරීමෙන් ජීවිතයේ සොඳුරු බව දැනෙන්නට ගන්නවා. ධනාත්මක මානසිකත්වයක් ගොඩ නැඟෙනවා. අන් අයගේ සහ තමන්ගේ කෘතවේදී විය හැකි දේ ගැන සිතන්න පුරුදු වන්න. ජීවිතයේ සැබෑ වෙනසක් සිදු වේවි.
------------------------------------
මිනිත්තු පහක දවල් හීනයකත් වටිනාකමක් තියෙනවා
ජීවිතය අභියෝගාත්මක අත්දැකීම්වලින් පිරිලා. විරහව, දික්කසාදය, රෝගාබාධ විශාල ආතතියක් ඇති කරන කරුණු අතර ප්‍රධානයි. ආතතිය අපේ ගතේ සුවය නැති කරනවා.
නින්දට, සිත එකඟකර ගැනීමට, ආත්ම විශ්වාසයට, ක්‍රියාකාරිත්වයට බලපානවා. දවසේ පුංචි පුංචි ඉලක්ක, පවුලේ සාමාජිකයන් සමඟ ගොඩ නැඟෙන සබඳතා, සමාජ සබඳතාවලට පවා මින් බාධා සිදු වෙනවා. වසංගතය ආතතිය තවත් ඉහල නංවනවා. යළි මානසිකත්වය යහපත් කරගැනීමේදී විවේකය ඉතා වැදගත්. මිනිත්තු පහක කෙටි නින්දක් ලබා දවල් හීන දැකීමත් වැදගත්.
කෙටි විවේකයක් ලබා , මගේ දෑස් විවෙකයෙන්, මගේ උරහිස් විවේකයෙන් ....ආදී වශයෙන් සිරුරේ එක් එක් කොටස් ගැන සිතන්න.
දෑස් පියා ගෙන මුහුදු වෙරළක සිටින බව සිතීමෙන් ද ආතතිය දුරුකර ගත හැකියි.
----------------------------------------
හදවත් රෝග ගැන කල් ඇතිවම අනාවැකියක්.
හදවත් රෝග සැලකෙන්නේ ලොව ලොකුම නිහඬ මාරයා ලෙසිනුයි. එහෙත් නවීන තාක්ෂණයේ පිහිටෙන් අපට හෘදයාබාධයක් ඇති වීමට වසර ගණනාවකට පෙර ඒ ගැන අනාවැකි පැවසීමට පුළුවන්. ඒ බොහොම සරල එක්ස් - කිරණ සේයාරුවකින්. සිරුරට රුධිරය සපයන ප්‍රධාන නාලයේ අධිකව කැල්සියම් ඇත්නම් එසේ නැති කෙනකුට වඩා සිව් ගුණයකින් හෘදයාබාධ වැලඳීමේ අවදානම ඉහළ යනවා. මෙය අනාවරණය කරගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පර්ත් හි කෝවන් සරසවියෙන්. සීටී ස්කෑන් මඟින් ප්‍රධාන රුධිර නාලයේ බොහෝ තොරතුරු පබා ගන්න පුළුවන්.
ප්‍රධාන නාලයේ කැල්ස්යම් තැන්පත් වීමට සමබල ආහාර නො ගැනීම, ඒකාකාරී ජීවන රටාව, දුම් පානය, ජාන බලපානවා.
උපදෙස්
කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සායනික මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය
ප්‍රියංජලී ද සොයිසා