උණු ජලය පාවිච්චි කරන්න ඕන ගින්දර පාවිච්චි කරනවා වගෙයි

පෙබරවාරි 28, 2022

 

ගිනි රස්නෙට පායන කාලයේ මොන උණු වතුර ද ? කෙනකුට එසේ සිතෙන්න බැරි ඔමික්‍රෝන් සීග්‍රයෙන් පැතිරෙන නිසයි. වැඩි දෙනෙක් දුම් දමමින් උණු වතුර පානය කරන්නේ උගුරේදීම විසබීජය විනාශ කරන්නයි.

කෝවිඩ් නැතත් උණු වතුර හා ගෘහණිය අතර දිනපතා නිරන්තර ගනු දෙනුවක් කෙරෙනවා. ඒ නිසා උණූ වතුර අනතුරු වැඩිවෙන කාලයක උණු වතුර ගැන කතා කිරීම උණු කැවුම් වගේ වටිනා මාතෘකාවක්. වෙන අවුරුදුවලට වඩා කෝවිඩ් සමඟ උණු වතුර අනතුරු වැඩිවෙලා.

නිවෙසක මොනතරම් කාර්යයන්වලට උණුවතුර උදව් කර ගන්නවා ද ? හුමාලය ඇල්ලීමට, දරුවන් නෑවීමට, මුළුතැන්ගෙයි වැඩට උණු වතුර නැතුව ම බැහැ. මොනතරම් ප්‍රයෝජනවත් වුණත් උනු වතුර ගින්දර වගේ පරෙස්සමින් පාවිච්චි කරන්න ඕන දෙයක්.

කෝවිඩ් මර්දනයේදී කෝවිඩ්වලින් සහනයක් ලබා ගැනීමේදී උණූ වතුර පරෙස්සමින් භාවිත කරන්නේ කොහොමද ?

හුමාලය ඇල්ලීමෙන් සෙම්ප්‍රතිෂ්‍යාව වාගේ බොහෝ ස්වසන රෝගවලට සහනයක් ලැබෙනවා. අනතුරක් නොවී හුමාලය අල්ලන්න නම් පැතැලි භාජනයක් තෝරා ගන්න. වැනෙන්නේ නැති සමතලා බිමක ඇති මේසයක භාජනය තබන්න. ඇඳ මතට සැටියට උණු වතුර භාජනය ගෙනියන්න එපා. හුමාලය අල්ලන්නේ වයෝවෘද්ධ කෙනකුට නම් හෝ ළදරුවකුට නම් එතැන කවුරුන් හෝ සිටිය යුතුයි. උණු ජලය සිරුරේ හැලුණොත් වහාම ප්‍රථමාධාර දෙන්න. අඩුම වශයෙන් විනාඩි 20 ක් ගලා යන සිසිල් ජලයෙන් පිලිස්සුණු සම සිසිල්කර ගන්න. පිලිස්සුණු තැන සමට නො ඇලෙන පිරිසුදු දෙයකින් වසා කඩිනමින් රෝහලට රැගෙන යන්න. ප්‍රථමාධාර නොදී හෝ රෝගියාව රෝහලට රැගෙන ගියේ හෝ නැත්නම් උණු ජලය රෝගියා ගේ සම ගැඹුරට තවදුරටත් කිඳා බැස වැඩි හානියක් සිදුවෙයි. ඇතිවන සංකූලතා වැඩි වෙයි.

***********************

කෝවිඩ් කියලා නොනා ඉන්න එපා

 

කෝවිඩ් වචනයත් සමඟ අපට ඉබේටම පපුවට අත තැබෙන්නේ හදවතට ඉන් ඇතිවන බලපෑම නිසයි. නව කොරෝනා වයිරසය රසය බලපෑම් ඇති කරන්නේ හදවතට පමණක් නො වෙයි. සමේ සිට සිරුරේ සියලු කොටස්වලට බලපෑම් ඇති කරනවා. සමේ බිබිලි, කරප්පන් හට ගැනීම, සිරුරේ කෙළවරවල්වල නිල් පැහැ වීමක් රතු වීමක් දකින්න ලැබීම එවැනි බලපෑම්.

මෙවැනි වෙනස්කම් දක්නට ලැබුණොත් වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

කෝවිඩ් වැලඳී තිබුණත් නිරෝධායනය වී සිටියත් සමේ පිරිසුදුකම ගැන සිතන්න ඕන. සමහරු සති ගණනක් නාන්නේ නැහැ. කෝවිඩ් හැදුන ම නාන්න හොඳ නැහැ කියන්නේ මිථ්‍යාවක්. ඒත් හිස සහ සම පිරිසුදුකර ගැනීම ඉතා වැදගත්. නෑමෙන් අපට කෝවිඩ්වලින් පසු සමේ ඇති වීමට පුළුවන් බැක්ටීරියා සහ දිලීර ආසාදන වළක්වා ගන්න පුළුවන්. නව කොරෝනා වයිරසයට ගොදුරුවී කාලයක් යන තුරු සමහරුන්ට බිබිලි, ගැටිති වැනි දේ ඇතිවෙනවා. මෙය බිය විය යුතු තත්ත්වයක් නො වෙයි. එලෙස ම මාසයක් දෙකක් යන තුරු වෙනදාට වඩා කෙස් ගැලවී යාමට ඉඩ තිබෙනවා. එයත් කෙටි කාලයකින් යථා තත්ත්වයට පත් වෙනවා.

සමේ රෝග ඇති කෙනකුට ‍කෝවිඩ් - 19 වැලඳුණොත් ආලේප කිරීමට නියම කළ ආලේපන එලෙසින් ම ගත හැකියි. එහෙත් පානය කරන ඖෂධ මාත්‍රාවල වෙනසක් කිරීමට සිදු විය හැකි නිසා වෛද්‍ය උපදෙස් පතන්න. සමහර ඔසු මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය යම් කිසි පාලනයකට ලක් කරනවා. එවිට වෛද්‍යවරයා අවශ්‍ය නම් ඔසු මාත්‍රා වෙනස් කිරීමටත් වෙනත් ඔසු ලබා දීමටත් පියවර ගනීවි.

 

 

උපදෙස් -

ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය

ශතිෂ් විජේමාන්න