වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ලිස්ටීරියා ගැන බිය වෙන්න ඕන සිරීපාදේ ගිය අය විතරද?
ශ්‍රීපාද රත්නපුර එරත්න මාර්ගයේ වෙළෙඳසැලක් පවත්වා ගෙන ගිය කතක් හදිසියේම රෝගි වී මිය යෑමත් ඇය ලිස්ටීරියා නමැති බැක්ටීරියා ආසාදනයෙන් පෙළුණු බවත් පිළිබඳ පුවත පසුගිය සතියේ කාගේත් සිත් ඇලළී ගිය පුවතක් විය.
මේ අපට එතරම්ම හුරුපුරුදු නමක් නෙවෙයි.
ඇත්තටම මොකක්ද මේ ලිස්ටීරියා තත්ත්වය කියන්නේ?
මේ බැක්ටීරියාව අඩංගු වෙන්නේ දූෂිත ආහාරවල. බරපතළ බැක්ටීරියා ආසාදන තත්ත්වයක් වන මෙය අලුත්ම රෝගී තත්ත්වයක් හෝ අලුතින්ම සොයාගත් බැක්ටීරියාවක් නොවේ.
ලිස්ටීරියා රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?
* උණ
* මාංසපේශිවල වේදනාව
* බෙල්ලේ තද ගතිය
* සමබරබව නැති වීම
* වලිප්පුව
ගර්භිණී මවකට සාමාන්‍ය උණකදී හට ගන්නා රෝග ලක්ෂණ ඇතිවිය හැකි වුවත් කලලයට අදහා ගත නොහැකි අන්දමේ සංකූලතා ගෙන දෙයි.
මේ රෝගී තත්ත්වය වඩාත්ම බලපෑම් එල්ල කරන්නේ කාහටද?
ප්‍රතිශක්තිය දුර්වල අය කෙරෙහි ඍජු බලපෑම් එල්ල කරාවි.ඔවුන් පහසුවෙන්ම මේ සඳහා ගොදුරු වේවි. ඒ අනුව ගැබිනි මවුවරුන්, කුඩා දරුවන්, අවුරුදු 65ට වැඩි පුද්ගලයින් , පිළිකා ඇතුළු බෝ නොවන රෝගයන්ගෙන් පෙළෙන්නවුන්
ගර්භිණී කාන්තාවන්ගේ කලලයට ලිස්ටීරියා තත්ත්වය සංකූලතා ගෙන එන්නේ කවරාකාරයෙන්ද?
ගබ්සාවීම්, මලදරු උපත්, නොමේරු දරු උපත් ,අලුත උපන් දරුවාගේ ජීවිතයට තර්ජනයක් එල්ලවන්නට ඇති ඉඩකඩ වැඩියි. කලල රූපය පවා වෙනස්වන අවස්ථා තිබෙනවා.
ලිස්ටීරියා බැක්ටීරියාව වැදෑමහ කරා යෑමෙනුයි කලලයට හානි ගෙන දෙන්නේ.
දූෂිත ආහාරවල මෙය අඩංගු විය හැක්කේ කෙලෙසද?
කිරි ආශ්රිත නිශ්පාදන නරක්වීම හේතුවෙන් ලිස්ටීරියා බැක්ටීරියාව එම ආහාරවල වර්ධනය වීමට පටන් ගන්නවා. ඒවා ආහාරයට ගැනීමෙනුයි අපට ශරීරගත වන්නේ.
ශීතකරණයේ වැඩි අගයක මෙම ආහාර ගබඩා කිරීම අත්‍යවශ්‍යයි. කල් ඉකුත්වීමේ දින ළංවනතුරු නොසිට මේ ආහාර භාවිතයට ගැනීම වැදගත්.
ශීතකරණය විදුලියෙන් විසන්ධි කර තැබීම කොහෙත්ම නොකළ යුතුයි.
ලිස්ටීරියා තත්ත්වය සඳහා ඖෂධ තිබේද?
සැනසිලිදායක එකම කාරණය වන්නේ මේ සඳහා ඖෂධ තිබීමයි. ලිස්ටීරියා වැලඳුණු කෙනකුට ප්‍රතිකාර කිරීම සිදුකෙරෙන්නේ ප්‍රතිජීවක ඖෂධ මඟින්.
මේ තත්ත්වය පිළිබඳ අනියත බියක් කොහෙත්ම ඇති කරගත යුතු නැහැ. ආහාරපාන පිළිබඳ නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතුයි. සෞඛ්‍ය අංශ ලිස්ටීරියා තත්ත්වය පිළිබඳ සීරුවෙන් සිටියි.
උපදෙස් :
වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානි
විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ