නියඟය ආලින්දයට ගොඩවෙන්නට පෙර තුරුලතා රැක ගන්න පෙළගැසෙමු

එය ඔබේත් මගේත් අද දවසේ වගකීමයි
සැප්තැම්බර් 12, 2022

 

සොබාදහම් මාතාව මතු පරපුරක රැකවරණය වෙනුවෙන් තනාගත් ආරක්ෂිත වළල්ලකි. ඒ හරිත පැහැගත් තුරුලතාවෝය. සැමට රැකවරණය ලබා දෙමින් කුඩාම වූ පැළෑටියේ සිට විශාලතම ගස දක්වාම මිනිසාගේ අවශ්‍යතා සපුරාලන්නේය. අප රැගෙන යන්නා වූ ජීවන නෞකාව වටා එක් රොක් වී සිටින්නා වූ ගස්වැල් ඇතුළු සමස්ත සොබාදහම ම මිනිසාගේම යහපතට හා සුරක්ෂිතතාවට මාර්ගය සලසන්නේය.

 

මිනිසාට අවශ්‍ය ඔක්සිජන් කිසිදු මුදලක් අය නොකරම ලබා දෙයි. මිනිසා විසින් පිට කරන කාබන්ඩයොක්සයිඩ් කිසිදු අහිතකින් තොරව උරා ගනියි. ඒ අප වටා එක් රොක් වී සිටින්නා වූ හරිතවන් තුරුවියන්ය. ඔක්සිජන් නොමැති වූ දිනෙක අප තැන තැන මැරී වැටෙනවා නො අනුමානය.

බොහෝ ශාක මිනිසාගේ උදව්වක් නොමැතිවම ඇති දැඩි වී මිනිසාගේ ම කුස ගින්දර නිවන්නට සමත් වන්නේය. සූර්යයා තමන්ගේ කිරණ විහිදුවාලමින් ඇතිකරන්නා වූ දාහය නිවා ගන්නට සිසිලසක් ලබා දෙන්නේ ද අප වටා සිටින ගස් වැල් ය.

මිනිසාට පොළොවේ පය ගසා සිටින්නට මිහිමත තෙතමනය සුරක්ෂිත කරන්නේ ද ගස් වැල් ය. එහෙත් මිනිසා විසින් ගස්වැල් විනාශ කරමින් මිනිසාගේම විනාශය කරා පියනගන්නේ අනාගත පරපුරක ජීවයට ද අකුල් හෙළමින් ය.

 

රුදුරු ක්‍රියාකාරකම්

 

මිනිසාගේ හිතෙහි තෙතමනයක් නැති වූ කල ඔහු/ඇය බොහෝ රුදුරු වන්නේය. කුපිත වන්නේ ය. මිනිස් කොට්ඨාසයට අයත් නො වුණත් ගස්වැල් ද හුස්ම ගන්නා එක් ජීවී කොට්ඨාසයක් ය. මිනිසාගේ රුදුරු ක්‍රියාකාරකම් හේතුවෙන් සොබාදහම සතු තෙතමනය සිඳී ගියහොත් සොබාදහම ද කුරිරුව කුපිතව යන්නේය. එයින් මිනිසාට අත්වන ඉරණම නම් බොහෝ කටුකය.

මිනිසාගේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අසීමිත ලෙස ගස්වැල් විනාශ කර දැමීමෙන් නො වැළැක්විය හැකි එක් අනිසි ප්‍රතිඵලයක් ලෙස නියඟය ඇතිවිය හැකියි. පෘථිවියට ජීවය දෙන ශාක මිනිසා විසින් අසීමිතව ඉවත් කළ පසු සොබාදහම කාන්තාරයක් වනු නිසැකය. නියඟය නම් වූ රුදුරු මාරයා විසින් මිනිසාව නිසැකවම වෙලා ගනු ඇත. සොබාදහම් මාතාව විහිදවන කොළ පැහැය දුඹුරු පැහැයට හැරී යනු ඇත.

මහ පොළොව සතු තෙතමනය මුළුමනින්ම ඉවත් වී යනු ඇත. නිල්වන් වූ ජල උල්පත් මතු වන තැනක්වත් සොයාගත නොහැකි වනු ඇත. මිනිසාට නැතුවම බැරි සම්පතක් වූ ජලය පමණටත් වඩා සීමිත වී දිනෙක ක්ෂය වී යනු ඇත. එවන් වූ දවසක පෘථිවිය තනිකරම කාන්තාරයකි. ඊටත් වඩා මිනිසුන් තැන තැන මැරී වැටෙන භූමියක් වනු ඇත.

ගස් වැල් කපා විනාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වැස්ස නො ලැබීම සිදුවෙනු ඇත. වැසි නො ලැබෙන තැන මිනිසාගේ සියලුම ක්‍රියාවන් සහ වෘත්තීන් අඩාල වේ. අවසානයේ මිනිසාට අත්වන ඉරණම අපට සිතාගන්නටවත් නො හැකි තරම්ය.

එහෙත් බොහෝ අය තවමත් ගස් වැල් විනාශ කරන්නේ අපට මුහුණ දෙන්නට සිදුවන ඉරණම ගැන කිසිදු වැටහීමක් නොමැතිවය. දිනෙන් දිනම රූස්ස ගස් බිම හෙළන්නේ කිසිදු තෙතමනයක් හිත්වල නොමැති පරිද්දෙනි. මෙය මුළු මහත් මනුෂ්‍ය වර්ගයාගේම අභාවයයි.

 

ඔක්සිජන් අවශ්‍යතාව

 

සොබාදහම සතු වූ ස්වාභාවික අලංකාරය පහව යන්නට පටන් ගන්තේ කාර්මීකරණයේ ආරම්භයත් සමඟය. අද වන විට හිතා ගන්නටවත් බැරි තරම් වනාන්තර විනාශය ලොව පුරා මෙන්ම අපේ රටේ ද සිදුවී ඇති බව නො රහසකි. කෙසේවෙතත් මිනිසාට තව නුදුරු දිනකින් අත්වීමට ඇති ඉරණම ගැන පුංචි හෝ වැටහීමක් නොමැති තරම් ය. ගස්වැල් විනාශ කිරීම කාන්තාරකරණයට හේතු වන අතර එහි අනිසි ප්‍රතිඵලයක් ලෙස දරුණු නියඟයකට මුහුණ දෙන්නට අපට සිදුවෙනු ඇත. එය එසේ සිදු වූ කල මිලක් ගෙවා හුස්ම ගැනීමට ද අපට සිදු වේවි. එසේම ඔක්සිජන් ටැංකියක් පිටෙහි හොවාගෙන ඔක්සිජන් අවශ්‍යතාව සපුරා ගන්නට අපට සිදුවෙන දිනය වැඩි ඈතක නොවේ.

 

අර්බුද නිර්මාණය වීම

 

තුරුලතා විනාශ කිරීම අනාගතයේ විශාල අර්බුදයකට මුහුණ දීමට ප්‍රධාන හේතුවකි. අනාගතය යැයි අර්ථකථනය කරන කල එය ඉමක් නො පෙනන දිනක් නොව නුදුරේදිම උදාවෙන දිනක් බව අප මතක තබා ගත යුතුය. අද දින ගසක් මුදල් කිරීමේ ආනිසංස ලැබෙනුයේ අනාගතයේ දිනක දී ය. ගස් කපා දැමීම, තුරුලතා විනාශ කිරීම අසීමිතව සිදු කළ විට ලංකාද්වීපය ඇතුළු මුළු පෘථිවි තලයම කාන්තාරයක් බවට පත්වීම සිදුවේ. එහෙයින් තුරුලතා විනාශ කිරීමේ අනිසි ප්‍රතිපලයක් ලෙස නියඟයකට මුහුණ දෙන්නට සිදුවනු ඇත.

එහෙත් මෙවැනි තත්ත්වයකට මුහුණ දීමට පෘථිවිය තවමත් හැඩගැසී නොමැත. තවද මෙවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් ලංකාද්වීපයේ දිවි ගැටගසා ගන්නට වෙර දරන අපට නම් කෙසේවත් ඔරොත්තු නොදෙනු ඇත. අද වැනිම වර්තමානයක් අනාගතයටත් උරුම වුවහොත් අපට සිදුවන්නේ කබලෙන් ළිපට වැටී ගිනි අඟුරුවලට ද පිලිස්සී වේදනා විඳ ක්‍රමක් ක්‍රමයෙන් මිය යාමටය. මන්ද තුරුලතා විනාශ කළ පසු හුස්ම ගැනීමට ස්වාභාවික ඔක්සිජන් නොමැතිව කෘත්‍රිම ඔක්සිජන් මිලට ගැනීමට සිදුවෙනු ඇත. තුරුලතා විනාශ කළ පසු ජලය හිඟ වී ජලයට ද මිලක් නියමවෙනු ඇත. එහෙයින් මෙවැනි තත්ත්වයක් ඔස්සේ ලංකාවේ අද පවතින තත්ත්වය අනාගතයේ දී වෙනස් නො වන්නට ඉඩ ඇත. ඔක්සිජන් හා ජලය ලබා ගැනීමට ද අපට පෝලිම්වල සිටීමට සිදුවේවි.

එවිට ගෑස්, තෙල්, ආදී පෝලිම්වලට අමතරව තුරුලතාවන් විනාශ කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඇතිවන ඔක්සිජන් පෝලිම් සහ ජල පෝලිම් ද ගව් ගණනක් දුරට දීර්ඝ වේවි. නමුත් එය වර්තමානයට වඩා බොහෝ භයංකාර වනු ඇත. අදවන් තත්ත්වයක් යටතේ දවස් ගණන් ඔක්සිජන් පෝලිමේ සිටින්නට සිදුවුවහොත් තමා සන්තකයේ ඇති ඔක්සිජන් අවසාන දශමය දක්වාම ක්ෂය වී මිනිසුන් දහස් ගණනින් මං මාවත්වල මැරී වැටෙන්නට ද ඉඩ ඇත. අවසානයේ ලංකාද්වීපය පමණක් නොව මුළු පෘථිවි තලයම විනාශ මුඛයට ඇදවැටෙන්නේය.

උදාවෙන එවැනි දවසකට පශ්චාත්තාප වී පලක් නොමැති බව සිහියට ගන්න. මොහොතකට සිතන්න... මේ සියල්ල අනාගත සිතිවිල්ලකින් මෙනෙහි කරන්න. ඔබටත් මටත් අනාගතයේ අත්වන්නට ඇති ඉරණම මෙහි අකුරු ගැඹුරෙහි දකින්නට උත්සාහ කරන්න.

 

සොබාදහමට ආදරය කරන්න.

 

ඉතින් නියඟය ඔබේත් මගේත් ආලින්දයට ගොඩවෙන්නට පෙර අපි තුරුලතා විනාශයට එරෙහි වෙමු. හැකි සෑම අයුරින්ම තුරුලතා රැක ගැනීමට උත්සාහ කරමු. සොබාදහම සුරක්ෂිත කරන ගමන් අපිත් සුරක්ෂිත වීමට කටයුතු කරමු.