වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කිරිකැටියෙක් කුස පිළිසිඳ ගන්නට නම්....
ආදරයක්, විවාහයක්, පුංචි කිරිකැටියෙක් මේ හැම දෙයක්ම හරිම සුන්දර දේවල්. මද සරු බවින් පෙළෙන කෙනකුට කිරිකැටියෙක් පිළිබඳ සිහිනය සැබෑ කරගන්නට තරමක කැපකිරීමක් සිදු කරන්නට වේවි.
මේ සඳහා මූලිකවම සැමියා සහ බිරිය සරු දිනයන්වලදී එකතු විය යුතුයි. එහිදී පුරුෂයාගේ ශුක්‍රාණුවක් ස්ත්‍රියගේ යෝනි මාර්ගය තුළින් ගර්භාෂයටත් ඊට පසුව පැලෝපීය නාළ දිගේ එහි අවසන් කොටසට යා යුතුයි. එහි දී ඩිම්බය හා ශුක්‍රාණුව හමුවී ඩිම්බය තුළට ශුක්‍රාණුව ගමන් කරනු ලබයි. එය Fertilization ලෙස හඳුන්වයි.
මෙහිදී ශුක්‍රාණු ඉතා ඉහළ අගයකින් පිහිනීමට දක්ෂ විය යුතුයි. ස්ත්‍රියගේ ඩිම්බ නාලය අවහිරතාවලින් තොරව තිබිය යුතුයි. ඩිම්බය පරිණත වී තිබිය යුතුයි. ශුක්‍රාණුවක් ගර්භාශය තුළ දින 3ත් 7ත් අතර කාලයක් ජීවත් වේ. ඩිම්බයක් දින 28කට වරක් නිකුත් වී දින තුනක් පමණ කාලයක් ජීවත් වේ. නමුදු පැය 24ක කාලය ඉතාම සශ්‍රීකව ඩිම්බය පැවැතිය හැකියි. පසුව ක්‍රමයෙන් එය විනාශ වේ.
යෝනි මාර්ගය තුළට පිටවන ශුක්‍රාණු වල වේගය පැයට සැතපුම් හැට දෙකක පමණ කාලයකින් විදීමට ලක් වේ. ඉන් පසුව ශුක්‍ර තරලයේ ඇති ෆෘක්ටෝස් සීනි ද්‍රාවණය තුළින් ශක්තිය ගෙන ගෙන ඩිම්බය කරා පිහිනනු ලැබේ. රොකට්ටුවක් නිර්මාණය කර ඇත්තේ ද මෙය උපමා කරගෙන ය. ඉතා හොඳ සංසේචනයක් සඳහා පුරුෂයාගේ මිලියන විස්සකට වඩා වැඩි ශුක්‍ර ප්‍රමාණයක් එකවර පිටවිය යුතුවේ. නමුදු එක ශුක්‍රාණුවක් පමණක් ඩිම්බය කරා ගොස් ජයග්‍රහණය කරනු ලැබේ. ඉතිරිවුණු ශුක්‍රාණු හා ෆෘක්ටෝස් දියරය (ශුක්‍ර තරලය) ඩිම්බය යුක්තාණුවක් වී ආපසු ගර්භාෂයට ඒමට ශක්තිය සපයන බව සොයාගෙන ඇත.
ගැබ් ගැනීමට ගැනීමට සුදුසුම වයස කුමක්ද?
වැඩිවියට පත්ව අවුරුදු 20 සිට අවුරුදු 35 කාලය ඉතා උචිතය. නමුත් ඩිම්බයක් නිකුත් වනවා නම් ඒ සියලු කාලයන්වලදී සංසේචනය විය හැකියි. පියාගේ වයස ජීව විද්‍යාත්මකව අදාළ නොවේ. ශුක්‍රාණු නිෂ්පාදනය අවුරුදු 80, 90 දක්වා ද විය හැකියි.
විශ්ලේෂණාත්මකව සොයාබැලීමේ දී ගර්භිණී භාවය සැලසුම් කරන සිය දෙනෙකුගෙන් අසූ පස් දෙනෙකුට ගර්භිණී වීමට වසරක පමණ කාලයක් ගතවේ. ගැබ් ගැනීමට වසර දෙකක් පමණ ගත වන පිරිස සියයට 90කි. තම දරුවකු තවමත් ත් පිළිසිඳ නොගත්තා යැයි දුක් වන අයට මෙය කදිම පිළිතුරකි. විය යුත්තේ ටික කලක් විවේකයෙන්, සහයෝගයෙන්, ආදරෙන් බලා සිටීමයි.
නියමිත දිනට ලිංග ඩිම්බයක් නිකුත් වන බව දැන ගන්නේ කෙසේද?
කාන්තාවන් බොහොමයකට දින 28 -30 අතර කාලයකදී ඔසප් වීම සිදු වේ. එසේ ඔසප් වීමෙන් දින 14 ක් හා ඒ අවට දිනයකදී (දින 12 - 15) අතර ද යටි බඩේ වේදනාවක් සිදුවේ නම් එය ඉතා හොඳ ලක්ෂණයක් වන අතර එදින ඩිබිමි කෝෂයකින් ඩිම්බයක් නිකුත් වේ. එදින ද සමහර කාන්තාවන්ට සුළු රුධිර පිටවීමක් ද සිදුවිය හැකියි. එයට බිය විය යුතු නැත. මෙය Mid Cycle Pain ලෙස හඳුන්වයි. එවිට ඇයගේ ශරීරයේ සුළු ගතියක් ද දැකිය හැකියි. ගැබ්ගෙලෙන් සුළු රුධිර පිටවීමක් ද විය හැකියි.
ශුක්‍රාණු වල දුර්වලතා ගැන දැන ගැනීමට නම් ශුක්‍ර පරීක්ෂාවක් කරගත යුතුය. SFA පරීක්ෂාව ලෙස හඳුන්වයි. දින තුනක් ශුක්‍රාණු පිට නොකර සිට 4වන දින ශුක්‍රාණු පිට කර විනාඩි විස්සක් ඇතුළත පරීක්ෂණාගාරයට ලබාදිය යුතුයි.
ගැහැනු දරුවන් වැඩිවියට පත්වූ පසු සාමාන්‍යයෙන් ශරීරයේ ඩිම්බ 400 - 500 අතර ප්‍රමාණයක් ජීවිත කාලයටම නිෂ්පාදනය වේ. එක් වතාවකදී ඩිම්බය බැගින් මෝචනය වේ.
ඩිම්බයක් හරියටම නිකුත් වූ බව දැන ගැනීමට නම් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවකින් (යෝනි මාර්ගය හරහා කරන පරීක්ෂාවකින්) හඳුනාගත හැකියි. එය ඔසප් දිනයේ සිට දින 11 - 12 දින වලදී ඩිම්බ කෝෂයේ ඇති වැඩුණු ඩිම්බ පිපිරීමට පෙර බලා ගත හැකියි. මෙය ආසන්නව මිලීමීටර් 18 - 20 විශ්කම්භයකින් ද දැකිය හැකිවේ. ඔසප් චක්‍රයේ පළමු දිනය ලෙස අප සලකනුයේ ඒ මස දී ඇගේ පළමු රුධිර වහනය සිදුවුණු දිනයයි.
ශුක්‍රාණුවක් පරිණත ශුක්‍රාණුවක් වීමට දින 70 -80 ක් පමණ කාලයක් ගතවේ. මේ අනුව මාස තුනක පමණ කාලයක් ගත වනු ඇත. නිරෝගී අයකුගේ වුවද සාමාන්‍ය ශුක්‍ර තරලයේ සියයට 10 ක් පමණ අසාමාන්‍ය ශුක්‍රාණු පැවැතිය හැකියි. මෙම ශුක්‍රාණු වර්ධනය වනුයේ වෘෂණ කෝෂ තුළයි.
එසේ වර්ධනය වී පරිණත භාවයට පත්වී පිහිනීමේ හැකියාව ලැබෙනුයේ වෘෂණ කෝෂයේ පහළ කොටසකදී ය. ශුක්‍රාණුවක් නිෂ්පාදනය වනුයේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක දී ය. නිතර නිතර උණු වතුර නෑම පිරිමි දරුවන්ට අහිතකරයි. නැත්නම් ගුණාත්මක ශුක්‍රාණුවල ප්‍රතිශතය අඩු විය හැකියි. තවද කම්මුල්ගාය සෑදුණු විට පිරිමි දරුවන් විශේෂයෙන් ආරක්ෂා කරගත යුතු අතර ක්‍රිකට් ක්‍රීඩා කරන දරුවන් ball guard පැළඳීමත් ක්‍රීඩාවේ ක්‍රීඩාවේදී පමණක් තද යට ඇඳුම් ඇඳීමට පුරුදු කිරීමත් පිරිමි දරුවන්ගේ ශිෂ්ණය කෙලවර පස්සට යන්නේ දැයි මාපියන් සොයා බැලිය යුතුයි. එසේ නොවන්නේ නම් ශල්‍ය වෛද්‍යවරයකුට පෙන්විය යුතුයි. එසේ නොවන විටදී විසබීජ වෘෂණ කෝෂ කරා ගමන් කළ හැකියි.
දරුවකු බලාපොරොත්තුවෙන් එකතු විය හැකි සරු කාලය ලෙස දකිනුයේ දින 28කින් මාස් ශුද්ධියවන අයෙකුගේ නම් දින 12 සිට දින 16 දක්වා කාලයයි. නමුදු සතියකට දෙතුන් වතාවක් ලිංගිකව එකතු වීම දරුඵල බලාපොරොත්තු වන අයට සුභ ආරංචියක් ගැනෙනු ඇත.
උපදෙස් :
ආචාර්ය ස්ත්‍රී රෝග මඳසරු භාවය හා ලිංගික බෙලහීනතා පිළිබඳ විශේෂඥ
සුදත් ගුණතිලක