සැබෑ නොවූ කිරි සිහිනය සැබෑකර ගන්න දැන් ඔබටත් පුළුවන්..

ජූලි 3, 2023

 

දරුවකු පිළිබඳ සිහනය විවාපත් වූ සෑම යුවළකගේම සිහිනයක්. නමුත් සැබෑ නොවූ කිරි සිහිනය සැබෑවක් කරගන්නට නොගන්නා උත්සාහයක් නැති තරම්. මේ සඳහා දියුණු වී ඇති වෛද්‍ය විද්‍යාවෙන් ඔබට එම සිහිනය සැබෑකර ගන්න පුළුවන්. l දරුවන් නැති අය සඳහා සිදු කරන විශේෂිත වූ ප්‍රතිකර්මයක් ලෙස IUI හා IVF ප්‍රතිකර්මවලට යොමු වෙන්නේ කොහොමද?

අප වෙත යොමුවන දරුවන් නැති යුවළක් සඳහා පළමුවෙන් ම මූලික පරීක්ෂණ කිහිපයක් සිදු කරනු ලබනවා. එහිදී දරුවන් නොලැබීම සඳහා ඔවුනට බලපාන ගැටලු තිබේදැයි සොයා බලනවා. එසේ පවතින දුර්වලතා සඳහා IUI හෝ IVF ප්‍රතිකාර ලබා දීමට පෙර සාමාන්‍ය ප්‍රතිකාර සිදුකරනවා. සැමියාගේ යම් දුර්වලතාවක් තිබෙනවා නම් ඒ සඳහා ද ප්‍රතිකර්ම සිදු කරනවා. ඇතැම් විට මේ ප්‍රතිකර්ම වලදී ද යම් ප්‍රමාණයක් පිළිසිඳ ගැනීම් සිදු වෙනවා. ඉන්පසුවත් එසේ නොවන්නේ නම් පැලෝපීය නාල බලන පරීක්ෂණ, ලැපරොස්කොපි වැනි පරීක්ෂණ සිදු කරනවා. එම පරීක්ෂණ මඟින් පැලෝපීය නාල හා ගර්භාෂයේ යම් අවහිරතා තිබෙනවාද යන්න සොයා බලනවා. එහෙම නැතිනම් තමයි IUI ප්‍රතිකාර ක්‍රමය සඳහා නිර්දේශ කරන්නේ.

l IUI ප්‍රතිකාර ක්‍රමය කියන්නේ මොකක්ද?

පියාගේ ශුක්‍රාණු ගෙන එහි වේගයෙන් ම ගමන් කරන සක්‍රිය, ගුණාත්මක භාවයෙන් වැඩි ශුක්‍රාණු තමයි මේ සංසේචන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නේ. මවට ඩිම්බ හැදීමට අවශ්‍ය ඖෂධ ලබා දෙනවා. ඉන්පසු සංසේචනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට ඩිම්බ මෝරා තිබෙනවාදැයි දවස් 12කින් පමණ ස්කෑන් එකක් මඟින් සොයා බලනවා. ඉන්පසුව ඩිම්බ ගැලවී ගර්භාෂයට ඒම සඳහා එන්නත ලබා දෙනවා. එම එන්නතෙන් පැය 36කට පමණ පසුව ඩිම්බ මෝචනය සිදු වෙනවා. මේ එන්නත ලබා දෙන්නේ ඔසප් වූ දින සිට සති දෙකකට ආසන්න කාලයක් තුළයි. එම ඩිම්බ පිටවෙන වේලාව බලා එම අවස්ථාවේ දී පියාගෙන් ලබා ගත් ශුක්‍රාණු සාම්පලය පිරිසුදු කිරීමකින් පසුව ගර්භාෂයේ තැන්පත් කරනවා. මේ ආකාරයට දරුවකු පිළිසිඳ ගැනීමේ ක්‍රමය IUI ප්‍රතිකාර ක්‍රමය ලෙසින් හඳුන්වනවා.

වයස 35ට අඩු මවකට නම් මේ ප්‍රතිකර්මය තුන්වරක් හෝ හයවරක් පමණ සිදු කළ හැකියි. නමුත් මෙම ප්‍රතිකර්මය එලෙසින් කළ හැකි වන්නේ මූලික පරීක්ෂණවල යම් ගැටලුවක් නැතිනම් පියාගේ ශුක්‍රාණු සාම්පලවල යම් කිසි අඩුවක් පවතිනවා නම් (වේගයෙන් යා හැකි ප්‍රභල ශුක්‍රාණුවල අඩු බවක්) දරුවකු ලබා ගැනීමට මෙය හොඳම ක්‍රමයක් ලෙසින් සැලකිය හැකියි. නමුත් මෙසේ කිරීමටත් ශුක්‍රාණුවල යම් කිසි මට්ටමක සාර්ථක බවක් තිබිය යුතුයි. මේ ප්‍රතිකර්මය කිරීම සඳහා නිර්දේශ කරන්නේ, වෛද්‍යවරුන් විසින් ශුක්‍රාණුවල ස්වභාවය සොයා බැලීමකින් අනතුරුවයි. තවත් පැහැදිලිව පවසන්නේ නම් සරු බීජ අඩු අය සඳහා මේ ප්‍රතිකර්මය වඩාත් සාර්ථකයි.

සාමාන්‍ය සරුබීජ ඇති පියෙකු සිටියත් මේ ප්‍රතිකර්මයට වෛද්‍යවරුන් නිර්දේශ කරන වෙනත් අවස්ථා ද තියෙනවා. යෝනි මාර්ගයේ දී ශුක්‍රාණු විනාශ වීම වැනි අවස්ථා මඟ හැරීම සඳහාත් IUI ප්‍රතිකාර ක්‍රමය සිදු කරනවා. මුලින් මේ IUI ප්‍රතිකාර තුන්වරක් කරන්න පුළුවන්. එය සාර්ථක නොවුණහොත් එම යුවළ සමඟ සාකච්ඡාකොට තවත් IUI ප්‍රතිකාර තුනක් සිදු කළ හැකියි. සම්පූර්ණයෙන් මෙම ප්‍රතිකාර වාර හයක් පමණ උත්සාහකර බලන්න පුළුවන්.

මෙම ප්‍රතිකාර ක්‍රමයෙන් පිළිසිඳ ගැනීමක් සිදු නොවන්නේ නම් හා වයස 35ට වැඩි නම් IUI ප්‍රතිකාර නොකර එක්වරම IVF ප්‍රතිකාර කිරීමට පුළුවන්.

l IVF ප්‍රතිකාර ක්‍රමය කියන්නේ මොකක්ද?

පැලෝපීය නාල අවහිර වී ඇති බව මූලික පරීක්ෂණවලින් සොයා ගත්විට එවැනි අයට IUI ප්‍රතිකාර ක්‍රමය සිදුකළ නොහැකියි. මොකද එම ප්‍රතිකර්මය සිදු කරන්නත් පැලෝපීය නාල අවහිරතාවලින් තොරව නිරෝගීව තිබිය යුතුයි. ඒවගේ ම වයස 35ට වැඩි අය සඳහාත් කාලය වැය නොකර ඉක්මනින් පිළිසිඳ ගැනීමක් සිදුකර ගැනීම සඳහා මේ IVF ප්‍රතිකාර ක්‍රමය යොදා ගන්නවා. මෙම IVF ප්‍රතිකාර ක්‍රමයේ දී මුලින්ම ලේ සාම්පල කිහිපයක් ගෙන පරීක්ෂාකර බලනවා. මෙයින් අපට එම කාන්තාවගේ ඩිම්බ දරුවකු සෑදීම සඳහා නිරෝගීව පවතින්නේදැයි බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආර්ථවහරණයට ආසන්න කාන්තාවන්ගේ ඩිම්බවල ගුණාත්මක භාවය අඩුයි. අපි මෙහිදී මව හා පියා යන දෙදෙනාගේම පරීක්ෂණ සිදුකර බලා ඔවුනට ගැළපෙන ලෙසින් මේ ක්‍රමය යොදා ගන්නවා.

මවට දින 14ක් පමණ ඖෂධයක් එන්නත් කරනවා. එහෙම කරන්නේ සාමාන්‍ය ආකාරයට වඩා හොඳ ඩිම්බ හදා ගැනීමේ අවශ්‍යතාව නිසයි. එම ඖෂධ එන්නත් කරන අතරම ස්කෑන් හා රුධිර පරීක්ෂණ මඟින් ඩිම්බවල වර්ධනය සොයා බලනවා. එහිදී ලබා දෙන එන්නත් ප්‍රමාණය අඩු කළ යුතුද වැඩි කළ යුතුද යන්න වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනවා. දින 14කට පසුව මවට සිහිනැති කිරීමෙන් පසුවයි ඩිම්බ ලබා ගැනීම සිදු කරන්නේ. මෙය සිහිනැති කිරීමකින් පසුව සුළු සැත්කමක් මාර්ගයෙන් ඩිම්බ ලබා ගැනීමයි මෙහිදී සිදු කරන්නේ.

එදිනම පලපුරුදු කළල වෛද්‍යවරුන් විසින් පියාගෙන් තෝරා ගත් හොඳ පුරුෂ ශ්‍රක්‍රාණු සාම්පලයක් ද ගෙන එය පරීක්ෂණාගාරයේ දී ICSI නම් පරීක්ෂණයකට යොමු කරනවා. මෙහිදී හොඳ ඩිම්බ තෝරාගෙන එකින් එකට යන්ත්‍රයක් ආධාරයෙන් තෝරා ගත් හොඳ පුරුෂ බීජ ඇතුළු කරනවා.

මේ සඳහා වෙනම පරීක්ෂණාගාරයක්, ඒ සඳහාම වූ යන්ත්‍ර සූත්‍ර, රසායනික ද්‍රව්‍ය ආදිය අවශ්‍ය වෙනවා. ඩිම්බ 10ක් තිබුණා යැයි අපි හිතුවොත් එම ඩිම්බ 10ටම ශුක්‍රාණු ද එකින් එක ඇතුළු කරනවා. මේ ක්‍රමය සරු පුරුෂ බීජ ඉතාම අඩු අයකු සඳහාත් දරුවකු ලබා ගැනීමට සුදුසු ප්‍රතිකර්මයක්. ඉන්පසුව කෘත්‍රිමව සංසේචනය කළ මේ බීජ විශේෂිත වූ පරිසර තත්ත්වයක් යටතේ වර්ධනය වෙන්නට හරිනවා. මෙහිදී එය වැඩීමට අවශ්‍ය උණුසුම හා ඔක්සිජන්, නයිට්‍රජන්, කාබන්ඩයොක්සයිඩ් ඇතුළු වායු සංයුතියක් (මවගේ ගර්භාෂයට සමාන පරිසර තත්ත්වයක්) නිර්මාණය කරනවා. මෙය පාලනය කෙරෙන්නේ විශේෂිත වූ ස්වයංක්‍රිය යන්ත්‍රයක් මඟින්. එම පරිසර තත්ත්වයේ යම් කුඩා හෝ වෙනසක් සිදු වුවහොත් එය නිවැරැදි කරගන්නත් එම යන්ත්‍රයට හැකියාව තිබෙනවා. මෙසේ වර්ධනය වීම සඳහා තබා තිබෙන සංසේචනය කළ බීජවල තත්ත්වය අපි සොයා බලනවා. එහිදී සමහර සංසේචිත බීජ දින 3න් පසුව වර්ධනය නොවී තිබෙන අතර සමහර ඒවා හොඳින් වර්ධනය වෙනවා. අපි මෙහිදී කළලයක් ලෙස වර්ධනය කිරීමට තෝරා ගන්නේ දින 5 දක්වා වර්ධනය වන ඒවා.

දින 5න් පසුව එම හොඳින් වර්ධනය වන ඒවා අධිශීතකර තබා ගන්නවා. එසේ කිරීමේ දී ඒවායෙහි වර්ධනය තාවකාලිකව නවතිනවා. එසේ ඕනෑම කාලයක් මේ සංසේචිත කළල තබා ගැනීමේ හැකියාව තියෙනවා. පසුව කාන්තාවගේ ගර්භාෂය නිසි පරිදි සැකසීම සඳහා ඖෂධ ලබා දෙනවා. ඒ සඳහා එම කාන්තාවගේ, මවගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බලා එයට සරිලන පරිදි ඖෂධ ලබා දීම සිදු කරනවා. ඩිම්බ සෑදීම නතරකර ගර්භාෂ බිත්තිය පමණක් සැකසීම සිදු කරනවා.

දින පහකින් පමණ වර්ධනය වීමට තැබූ සංසේචිත බීජ සෛල 8-10 ක් පමණ වන තෙක් වර්ධනය වෙනවා. එවිට අධිශීත කිරීමට පෙර ලේසර් මඟින් මේ සෛලයක් වෙන්කරගෙන ජාන පරීක්ෂා කිරීමෙන් එම කළලයට ඇති විශේෂිත රෝග තත්ත්වයන්, ගැහැනු දරුවෙක් ද පිරිමි දරුවෙක් ද යන බව ආදිය සොයා බලන්න පුළුවන්. මෙය බොහෝ විට සිදු කරන්නේ පවුලේ ඩවුන් සින්ඩ්‍රොම් වැනි රෝග තත්ත්වයන් ඇති වීමේ අවධානමක් ඇති විටයි. මේ කළලය මවගේ ගර්භාෂයේ තැන්පත් කරන්නේ එය තැන්පත් කිරීමට සුදුසු අවස්ථාව පැමිණි විටයි. කළලය තැන්පත් කිරීමෙන් පසුව එහි පැවැත්මට ඖෂධ ලබා දීමක් ද සිදු කරනවා.

සාර්ථක ඩිම්බ නැති කාන්තාවන් සඳහා දායක ඩිම්බ කළලයක් සාදා ගර්භාෂයේ තැන්පත් කිරීමත් සිදුවෙනවා. දෙදෙනාගේම ඩිම්බ හා ශුක්‍රාණු දරුවකු සෑදීමට තරම් සාර්ථක නොවන යුවළකට වුවද වෙනම දායක කළල, මවගේ ගර්භාෂයේ තැන්පත් කිරීමෙන් දරුවකු ලබා ගත හැකියි.