වර්ෂ 2024 ක්වූ December 23 වැනිදා Monday
Doctor Door
ඔබේ ගැටලුව අපට එවන්න
හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධි පසු කරමින් යන විට දී විවිධාකාර වූ රෝගවලට මුහුණ පාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම් දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයා ගත නොහැකිව පීඩා විදින්නන් බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.
අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්,
කොළඹ - 10. එසේත් නැත්නම් ඔබගේ ගැටලුව
0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
කෙට්ටු වන්නේ දියවැඩියාව නිසා ද?
මම වසර තුනක සිට දියවැඩියාවට ප්‍රතිකාර ලබා ගන්නා කාන්තාවක්. වයස 43යි. දෙදරු මවකි. මේ කාලය තුළදී මාගේ ශරීරය බොහෝ සෙයින් කෙට්ටු වුණා. දැන් වයසට වඩා වැඩි පෙනුමක් මා තුළින් දිස් වෙනවා. මාගේ පෙනුම යථා තත්ත්වයට පත් කර ගන්නේ කොහොම ද? පෙනුම ගැන සිතා ආහාර ලබා ගත්තොත් දියවැඩියාව උග්‍ර අතට හැරෙයි ද?
පිළිතුර
පළමුවෙන්ම ඔබගේ දියවැඩියාව පාලනය වී ඇත් දැයි බැලිය යුතු ය. එයට මේ පරීක්ෂණ කර බලන්න. Fasting blod suger එය 120 ට අඩුවෙන් තිබිය යුතු ය. HBA1C එය 7 ට හෝ 7ට පහළින් තිබිය යුතු ය. මේ පරීක්ෂණ දෙක සාමාන්‍ය නම් ඔබගේ ඇඟ කෙට්ටුවීමට වෙනත් හේතුවක් තිබිය යුතුය. එයට ඔබගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩි දැයි පරීක්ෂා කළ යුතු ය. එයට TSH පරීක්ෂණය කරන්න. TSH පරීක්ෂණය සාමාන්‍ය නම් මේ තත්ත්වය ඇති වීමට වෙනත් හේතුවක් තිබිය යුතු ය. ඒ සඳහා වෛද්‍යවරයකු වෙත ගොස් ශරීරය පරීක්ෂා කිරීම සහ full blood count පරීක්ෂණය කිරීම කළ යුතු ය. මේ උපදෙස් අනුව ක්‍රියා කිරීමෙන් මේ වාර්තා වෛද්‍යවරයකුට පෙන්වා වැඩි උපදෙස් ලබා ගත හැකිය.
-------------------
නිතර ක්ලාන්තය
මා වයස 28ක කාන්තාවක්. වයස අවුරුදු 2ක දියණියක් සිටියි. ස්වාභාවික අාකාරයට දරු ප්‍රසූතිය සිදු විය. දරුවා ලැබෙන්න ඉන්න කාලයේදී නිතර නිතර ක්ලාන්ත ස්වභාවයක් තිබුණි. හිමොග්ලොබින් මට්ටම අඩු බව ඒ අවස්ථාවේදී මා හට දැනුණු නමුත් තවමත් ඇතැම් අවස්ථාවන්හිදී ක්ලාන්ත ගතිය පවතී. කිසිදු වැඩක් කිරීමට නොසිතේ.. මෙසේ වන්නේ හිමොග්ලොබින් ගැටලුවක් නිසා ද?
පිළිතුර
ඔබගේ දැනට පවතින හිමොග්ලොබින් මට්ටම කොපමණ දැයි සඳහන් කර නොමැත. ඔබගේ වයසේ හැටියට හිමොග්ලොබින් මට්ටම 12.5ක් හෝ 13ක් වත් තිබිය යුතු ය. හිමොග්ලොබින් මීට වඩා අඩු නම් එසේවීමට හේතුවක් තිබිය යුතු ය. එයට full blood count කියා පරීක්ෂණයක් ඇත. එය කිරීමෙන් ඔබගේ හිමොග්ලොබින් අඩු වෙන්නේ යකඩ ඌණතාවකින් ද නැත්නම් B12 හෝ ෆෝලික් විටමින් පදාර්ථ ඌණතාවකින්දැයි කියා බැලිය යුතු ය. යකඩ ඌණතාවයක් නම් NCB කියා හිමොග්ලොබින් වාර්තාවේ ඇති කොටස 75 ට අඩු ය. B12 ෆෝලික් අම්ලය ඌණතාවක් නම් HCD මට්ටම 90ට වැඩි ය. ඒ සමඟ යකඩ ඌණතාවක් නම් ඔබට මාසික ඔසප් වීම සිදුවන විට වැඩියෙන් ලේ වහනය වනවා දැයි සොයා බැලිය යුතු ය. එසේ නම් ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු හමුවන්න. ඒ වගේම ඔබට මලපහ සමඟ රුධිරය පිට වන්නේ ද නැත්නම් කළු පාටට මලපහ පිටවන්නේද කියා විමසිලිමත් වන්න. මේ ලක්ෂණ ඇති නම් එය ශල්‍ය වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර ගන්න. යකඩ ඌණතාවක් ඇත්නම් ඒ සඳහා බෙහෙත් වර්ග විටමින් වර්ග පවතී. නමුත් වැදගත් වන්නේ ඒ ඌණතාවට හේතුව විමසා බැලීමයි. ඒ නිසා ඔබ සතුව දැනට වාර්තා ඇත්නම් තරුණී පුවත්පතේ whatsapp අංකයට යොමු කළ හැකිය.
---------------------
ඇදුම නිට්ටාවටම සුවකර ගත හැකි ද?
මා කුඩා කල සිට ඇදුම රෝගයෙන් පෙළුණ කාන්තාවක්. නමුත් මාගේ වයස අවුරුදු 12ක් පමණ වූ විට එය සම්පූර්ණයෙන්ම සුව විය. දැන් මට වයස 35යි. විවාහ වී කෙටි කාලයක් ගිය පසු මා හට නැවතත් ඇදුම රෝගය මතු වුණා. පසු ගිය සති තුනක කාලයේදී මා හට නිව්මෝනියා තත්ත්වයක් ඇති වුණා. එහිදී එක් පෙණහැල්ලක සිදුරු සහ තුවාල සහිත බවක් දැනගන්නට ලැබුණා. දැන් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගනිමි. දැඩි හිසරදය සහ හුස්ම ගැනීමේ අපහසුතාව, ඔක්කාරය සහ අධික නිදිමත තවම පවතී. මේ තත්ත්වයට මා කුමක් කළ යුතු ද?
පිළිතුර
ඇදුම රෝගය සැදී සුව වුණත් නිතර නිතර මතුවීමේ ප්‍රවණතාවයක් ඇත. මුලින්ම ඔබගේ ලේ පරීක්ෂාවක් සහ x -ray එකක් කළ යුතු ය. එහි ශේවේතානු කොටස 10ට වැඩි නම් TSR කියන රුධිර පරීක්ෂාව 25ට වැඩි නම් ඔබට පෙණහැල්ලට විෂබීජයක් ඇතුළු වීමෙන් ඇති වූ සංකූලතාවක් ඇත. ඔබ කියන අයුරුන් ළඟදී ඔබට නියුමෝනියා තත්ත්වයත් ඇති වුණ නිසා x -ray එකක් කිරීම අනිවාර්යයි. ඒ තුළින් පෙණහැලිවල තුවාල ස්වභාවයන් හදුනා ගනිමින් ප්‍රතිකාර ඇරඹිය හැකිය. ඇදුම රෝගය තියෙන අය බල්ලන් පූසන් වැනි සුරතල් සතුන් ඇති කිරීම එතරම් සුදුසු නොවේ.
ඒ වගේම ආතතිය නිසාත් නිතර ඇදුම රෝගය ඇති විය හැකියි. ගෙදර දොරේ වැඩ කටයුතු, රැකියාවක් කරනවානම් ඒ කටයුතුත් එක්ක හිරවෙලා ඉන්නවනම් ඇදුම රෝගය තව වැඩි වෙන්නට හේතුවකි. මානසික විවේකය වගේම ශාරීරික විවේකය ඔබට අවශ්‍යයි. ඇදුම රෝගය සඳහා ප්‍රතිකාර වශයෙන් බොහෝ විට කරන්නේ ඉන්හේලර් පාවිච්චි කිරීමයි. ඇදුම රෝගය පාලනය කරන්න බැරි හේතුවක් වන්නේ ඉන්හේලර් හරියට පාවිච්චි නොකිරීමයි. ඒ සඳහා ඉන්හේලර් බෙහෙත් වර්ග කිහිපයක්ම තිබෙනවා. උදේ සවස ගන්නා ඉන්හේලර් වගේම අතිශයින් අපහසු අවස්ථාවකදී ලබා ගන්නට වෙනම ඉන්හේලර් වර්ග තිබෙනවා.
ඒ අතරම ලබා ගත යුතු තවත් බෙහෙත් වර්ග තිබෙනවා. වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර අරඹන්න. ඔබට ප්‍රතිකාර ගෙන කිහිප දිනක් යනවිට සුවයක් දැනුණත් ප්‍රතිකාර නතර නොකරන්න. බොහෝ ඇදුම රෝගීන් කරන ඒ වැරැද්දෙන් නැවත ඇදුම රෝගය හට ගනී. ඒ වගේම ඔබගේ ගෙදර කෙනකුට හෙම්බිරිස්සාවක් උණක් හැදුනොත් ඔබට වැලඳීමට ඇති ඉඩ කඩ වැඩිය. ඒ නිසා ඒ අවස්ථාවෙත් ඔබගේ ප්‍රතිකාර අරඹන්න පුළුවන්.
-----------------
ඇඟ පුරා කළු ලප
මෙය චර්ම රෝගයක් සම්බන්ධ ගැටලුවකි. මම වයස 26ක තරුණියක්. මගේ ශරීරයේ තැනින් තැන බිබිළි හටගෙන ඇත. මේවා දින කිහිපයක් යන විට කළු පැහැයට හැරෙයි. පෙනුමෙන් පැපොල රෝගයට සමානය. මේ තත්ත්වයෙන් දැනට වසරක පමණ කාලයක සිට පීඩා විඳිමි. මා කිහිප සැරයක් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගතිමි. බෙහෙත් අවසන් වන විට යළිත් බිබිළි හට ගනියි. එම බෙහෙත්වලට විශාල මුදලක් යන නිසා මා හට එලෙස දිගටම ප්‍රතිකාර කිරීමට ද අපහසුය. මේ තත්ත්වය නිට්ටාවටම සුවකර ගත හැකි ක්‍රමයක් තිබේ ද?
පිළිතුර
හටගෙන ඇති බිබිළිවල ස්වභාවය ගැන හරි අවබෝධයක් ලබා ගත නොහැකි නිසා මේ සම්බන්ධව නිසි උපදෙසක් ලබා දීමට අපහසුය. ඔබ හැකිනම් තරුණී වට්ස්ඇප් මඟින් ඡායාරූපයක් එවන්න. එය බලා යම්කිසි උපදේශයක් ලබා දීමට හැකියාව ඇත. ඔබ එවා ඇති රෝග ලක්ෂණවලින් පමණක් නිගමනයකට එළැඹීමට අපහසු ය. ඔබගේ ශරීරයේ උෂ්ණය පිටවීමක් හෝ නැත්නම් මෙය වෙනත් චර්ම රෝගයක් වීමට ද පුළුවන්. එබැවින් වෛද්‍යවරයකු වෙත පෙන්වා පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න.
---------------------------
නිතර ඇතිවන හිසරදය
මා පාසල් සිසුවියක්. ලබන වසරේදී උසස් පෙළ විභාගයට මුහුණදීමට බලාපොරොත්තුවෙන් සිටිමි. දැනට මාස තුනක පමණ කාලයක සිට සවස් වන විට මා හට දැඩි ඔළුවේ කැක්කුමක් හටගනී. එයට ප්‍රතිකාර ලබා ගත්තත් තවම සුවයක් නැත. මෙය මාගේ අධ්‍යාපන කටයුතුවලටද බාධාවක් වී ඇත. මෙයට ප්‍රතිකාරයක් තිබේ ද?
පිළිතුරු
ඔබගේ හිසරදය බොහෝ වෙලාවට උසස් පෙළ වගේ විභාගයන්ට පෙනී සිටින සිසු සිසුවියන්ට තිබෙන ප්‍රශ්නයකි. තරගකාරී විභාගවලට මුහුණ දෙන විට ඒ පිළිබඳ ඕනෑවට වඩා හිතන්න ගන්නවා. ඒ නිසා හැදෙනවා tension headache සහ මිග්‍රේන් කියන ඔළුවේ කැක්කුම් දෙක. මේ සම්බන්ධව ප්‍රතිකාර ගැනීමට පෙර ඔබගේ ඇස් පරීක්ෂා කර බලන්න. ඇස්වල ආබාධයක් තියාගෙන පාඩම් කළොත් ඔළුවෙ කැක්කුම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට පීනස රෝගය තිබේ දැයි බලන්න. ඒකත් ඔළුවේ කැක්කුම හැදෙන්න හේතුවක්. මේ තත්ත්වයේදී ඔබට අඩුම වශයෙන් පැය 6කවත් නින්දක් අවශ්‍යයි. ප්‍රතිකාර ගැනීමෙන් පසුත් සුවයක් නොමැතිනම් CT ස්කෑන් වැනි පරීක්ෂණ කිරීම අවශ්‍යයි.
උපදෙස් -
කායික රෝග විශේෂඥ වෛද්‍ය
එච්. ඩී. විජේසිංහ