Doctor Door

ජනවාරි 13, 2025

 

කකුල් ඉදිමිලා

ප්‍රශ්නය

 

මා හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තිබූ කෙනෙක්. නමුත් එකවරම මා සෞඛ්‍යයෙන් දුර්වල වුණා. පරීක්ෂණවලදී මා හට දියවැඩියා රෝගය ඇති බව දැනගන්න ලැබුණා. දැන් මට වයස අවුරුදු 51කි. නිතර කකුල් ඉදිමේ.

 

පිළිතුර

 

පළමුව රුධිර සීනි මට්ටම පරීක්ෂා කර ගන්න. එය 120ට අඩුවෙන් තිබිය යුතුය. ඔබගේ දියවැඩියාව තත්ත්වය බොහෝ කල් සිට තිබුණේ නම් ඔබගේ වකුගඩු ආශ්‍රිතව දියවැඩියාව නිසා ඇති වූ රෝගී තත්ත්වයක් තිබිය හැකි ය. ඒ සඳහා microalbumin පරීක්ෂණයක් කළ යුතු ය. එය 30ට වැඩි නම් දියවැඩියාව ඔබගේ වකුගඩුවලට බලපා ඇත. එසේ බලපෑමක් වී ඇත්නම් ඉක්මනින් ඒ සම්බන්ධ වෛද්‍යවරයකු හමු වන්න. ඊළඟට අක්මාවේ ආබාධ නිසාත් කකුල් ඉදිමිය හැකිය. එයට අක්මාව සම්බන්ධයෙන් රුධිර පරීක්ෂණ තිබේ. ඒවා සාමාන්‍ය තත්ත්වයේ නොවේ නම් ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයකු හමු වී ස්කෑන් පරීක්ෂණ කර ඔබගේ අක්මාව සම්බන්ධයෙන් ගැටලුවක් තිබේ දැයි බලන්න. ඒ වගේම ඔබගේ හිමොග්ලොබින් ඌනතාවයක් තිබේද නැතිනම් ලේවල ප්‍රෝටීන් ඌනතාවයක් තිබේද බැලිය යුතුය. එයිනුත් කකුල් ඉදිමීමක් ඇති විය හැකිය. ඒ පරීක්ෂණ කළාට පසුව ඔබගේ කකුල් ඉදිමීමේ තත්ත්වයට හේතුව සොයාගත හැකිය. එයට හෝතුව සොයා ඒ අනුව ප්‍රතිකාර අරඹන්න.

----------------------

වැළමිටෙහි බිබිළි

 

ප්‍රශ්නය

මාගේ වයස 40කි. වැළමිට ප්‍රදේශයේ තරමක තද ස්වභාවයකින් යුතු බිබිළි විශේෂයක් හටගෙන ඇත. මෙය සති තුනක කාලයක් පවතී. කැසීමක් ද ඇත. කසන විට පොතු මෙන් ගැල වී යයි. මෙයට ප්‍රතිකාරයක් තිබේ ද?

 

පිළිතුර

 

මෙම තත්ත්වය කරප්පන් විශේෂයකි. මේ තත්ත්වය නිසා සම කැසීම සහ සමෙහි වේදනාවක් ඇති විය හැකිය. නමුත් මෙය ජානවලින් ඇතිවන අවස්ථාද දැකගත හැකි ය. මෙලෙස ඇතිවීමට හේතුව සොයා ගැනීම තරමක් අපහසුයි. නමුත් සුව වීමට විවිධ ආලේපන වර්ග තිබේ. වෛද්‍යවරයකුට පෙන්වා පරීක්ෂා කර බලා ප්‍රතිකාර අරඹන්න. ඒ වගේම නිතර ඇඟට අපහසු ඇඳුම් ඇඳීමෙන් වළකින්න. කපු ඇඳුම් ඇඳීම වඩාත් සුදුසුයි. ආතතියත් මෙයට හේතුවක් වෙන්න පුළුවන්. දිනකට විනාඩි 20ක් පමණවත් භාවනාවක යෙදෙන්න.

------------------------

යටි බඩෙහි වේදනාවක්

ප්‍රශ්නය

 

26 හැවිරිදි මා වෘත්තියෙන් ගුරුවරියකි. නිතර නිතර මාගේ යටි බඩෙහි වේදනාවක් ඇති වේ. එමෙන්ම මාසික ඔසප් වීම නියමිත දිනට සිදු වුණත් ඔසප් වීම දීර්ඝ කාලයක් පවතී. ඒ දින කිහිපයේදී යටි බඩෙහි වේදනාව ඉවසිය නොහැකි තරමට වැඩි වේ. මෙය ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක් ද?

 

පිළිතුර

ඔසප් වීමේදී බඩේ කැක්කුම ඇති වෙන්න පුළුවන් හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. වැඩිවියට පත් වූ මුල් කාලයේදී මාස කිහිපයක් යනකම් තද බඩේ කැක්කුමක් ඇති විය හැකියි. එයට හේතුව ශරීරයේ තියන හෝර්මෝන වර්ගවල ක්‍රියාකාරීත්වය වැඩි වීම මඟින් ගර්භාශයේ මස්පිඬුවල ක්‍රියාකරීත්වය වැඩි වීමයි. මේ තත්ත්වය වයස්ගත වන විට ක්‍රමයෙන් පහව යයි. එය හැම කාන්තාවකටම පොදු තත්ත්වයක්. යටි බඩෙහි ඇතිවන වේදනාවට තවත් හේතුවක් තමයි ගර්භාශයේ හටගන්නා ෆයිබ්‍රොයිඩ් වැනි ගෙඩි. නමුත් මෙය පිළිකාමය තත්ත්වයක් නොවෙයි. මේ තත්ත්වයේදී ඔසප් වන විට අධික රුධිර වහනය සහ අධික යටි බඩෙහි වේදනාවක් ඇති විය හැකිය. එවේලේ ඇතිවන වේදනාව තාවකාලිකව සමනය කරගැනීමට උණුවතුර දැමූ වීදුරු බෝතලයක් යටිබඩෙහි තබා ගැනීමෙන් කැක්කුම අඩුකර ගත හැකියි.

 

උපදෙස් -
කායික රෝග විශේෂඥ වෛද්‍ය
එච්. ඩී. විජේසිංහ