වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
පවස නිවන්න රසවත් බීම
ඉදිරියට එන්නේ වියළි කාලගුණයක් සහිත කාලයක්. ඒ කාලයේ දී පවස නිවන්න වෙළෙඳපොළෙන් වැඩි මුදලකට කෘත්‍රිම බීම බෝතල් ගැනීමට බොහෝ දෙනෙක් පෙලඹෙනවා. ඒත් ස්වභාවික ද්‍රව්‍ය මඟින් රසවත් මෙන්ම සිරුරට ගුණදායක බීම වර්ග කිහිපයක් සාදා ගන්නා ආකාරය අද අපි ඔබට මේ අතිරේකයෙන් ඉදිරිපත් කරන්නෙමු.
යම් පළතුරක් වැඩියෙන් තිබෙනවා නම් ඒවායින් බීම සකසා ශීතකරණයේ තබා ගැනීමෙන් නිවෙසට එන අමුත්තන්ට සංග්‍රහ කිරීමටත් පුළුවන්. කෘත්‍රිම බීම වීදුරුවකින් සංග්‍රහ කරනවාට වඩා මෙවැනි ස්වභාවික බීම වීදුරුවකින් ලැබෙන සංග්‍රහය ඔවුන්ට ද වෙනස්ම අත්දැකීමක් ගෙන දේවි.
කැකිරි බීම
සිරුර සිසිල් කිරීමට සමත් කැකිරි ඉතාමත් අඩු මුදලකට වෙළෙඳපොළෙන් ලබා ගැනීමට පුළුවන්. මේ නිසා කැකිරි ගෙඩි කිහිපයක් නිතර නිවෙසේ තබා ගැනීම ඔබට වැදගත් වේවි. එළවළුවක් ලෙසින් විවිධ ක්‍රමවලට ඉවීමට හැකි කැකිරිවලින් රසවත් බීමක් වුවද සාදා ගත හැකියි.
නමුත් සවස් වරුවක බීමට ගැනීම හෝ සෙම්ප්‍රතිශ්‍යාව ඇති විටෙක දී බීමට නම් සුදුසු නැත. රස්නය වැඩියෙන් දැනෙන දිනයක දී නිවෙසේ සාමාජිකයන්ගේ පවස නිවීමට මෙන්ම නිවෙසෙට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්නත් මෙය කදිමයි.
මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ:
කැකිරි ගෙඩියක්
ලුණු රස අනුව
සීනි ස්වල්පයක්
දෙහි යුෂ ස්වල්පයක්
අවශ්‍ය නම් අයිස් කැට
බීම එක මෙලෙසින් සාදමු:
පළමුවෙන් ම කැකිරි ගෙඩියේ පොතු ඉවත්කර පිරිසුදු කරගන්න. ගෙඩියේ ඇට ඉවත් කරගෙන, එහි මදය කැබැලිවලට කපා බ්ලෙන්ඩරයට දමන්න. දැන් සීනි ස්වල්පයක්, දෙහි යුෂ ස්වල්පයක් හා රස අනුව ලුණු ස්වල්පයක් ද එයට එකතුකරන්න. දැන් මෙය හොඳින් බ්ලෙන්ඩ් කරන්න.
දැන් මෙය පෙරණයකින් පෙරා වීදුරුවලට දමන්න. අවශ්‍ය නම් අයිස් කැට කිහිපයක් දමා රසය වැඩිකර ගත හැකියි. නමුත් අයිස්කැට නොමැතිව වුවද මෙම බීම එක ඔබේ සිරුරට සිසිල් බවක් ගෙන දීමට සමත් බව ද කිව යුතුයි.
තැඹිලි වතුරෙන් රසවත් බීමක්
සිරුර නිවන්න තැඹිලි වතුරට තියෙන්නේ පුදුම හැකියාවක්. සිරුරේ දාහය නිවිය හැකි රසවත් බීමක් තැඹිලි වතුරෙන් හදා ගන්න පුළුවන් නම්... මේ රසවත් තැඹිලි බීම එක අමුත්තන්ට සංග්‍රහ කරන්න වගේම තැඹිලි බොන්න අදිමදි කරන දරුවන්ටත් රසවත් පානයක් වේවි.
මේ සඳහා අවශ්‍ය වන්නේ:
තැඹිලි
සීනි තේහැන්දක් පමණ
ලුණු ස්වල්පයක්
දෙහි බිංදු දෙක තුනක්
දෙළුම් ඇට කිහිපයක්
මිදි ගෙඩි කීපයක්
දැන් බීම එක හදමු:
තැඹිලි ගෙඩිය කපා එහි වතුර බ්ලෙන්ඩරයට දමා ගන්න. කැමැති නම් අයිස් කැට දෙක තුනකුත් එකතුකර ගන්න. තැඹිලි මදයෙන් කොටසකුත් මෙයට දමා ගන්න. සීනි තේ හැන්දක් පමණ, රස අනුව ලුණු ඉතාමත් ස්වල්පයක්, දෙහි බිංදු දෙක තුනක් දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න.
බ්ලෙන්ඩ් කරගත් තැඹිලි මිශ්‍රණය වීදුරුවකට දමා ගන්න. දෙළුම් ඇට ස්වල්පයක් මිරිකා එම යුෂ මෙයට උඩින් දමන්න. දෙළුම් ඇට කිහිපයක් වීදුරුව තුළට ද දමන්න.
මිදි ගෙඩි කිහිපයක් ගෙන පොතු ඉවත්කර ඒවා කුඩා කැබැලිවලට කපා එයද බීම වීදුරුවට එක් කරන්න. (මිදි වෙනුවට මේ සඳහා ඔබට රඹුටන් මද වුවද යොදා ගත හැකියි)
තැඹිලි මද ස්වල්පයක් ගෙන ඒවාද ඉතාම කුඩාවට කපා බීම වීදුරුවට එකතුකර ගන්න.
රසවත් ගුණවත් මේ තැඹිලි බීම එකේ රසය ලබා ගැනීමට නම් එය සදා රස විඳිය යුතුමයි.
සූපවේදිනී නයනප්රභා ජයසිංහ