දියණියට වැඩි ආරක්ෂාවක් දෙන්න අම්මලා සිතට ගත යුතුයි

ජනවාරි 31, 2022

 

දියණියක් ඉන්න අම්මා කෙනෙක් හැම නිමේෂයකදීම හිතන්නේ ඇගේ ආරක්ෂාව පිළිබඳවයි. කාලය නොදැනීම ගෙවි ගොසින්. හිරණ්‍යාගේ පුංචි දෝණි දැන් ළදරු විය ගෙවා ළමාවියට එළැඹිලා.

කුඩා දියණිය දිනෙන් දින වැඩෙනවා. ඇගේ සිරුරේ හැඩය වගේම සිතුවිලි, ආශාවන්... මේ හැමදෙයක්ම වෙනස් වෙලා. පුතකුට වුවත් මේ හැඟීම් එලෙසමයි. එනමුදු දුවකට හා පුතකුට මේ හැඟීම් ඇතිවන්නේ වෙනස් කාලපරාසයකදීයි.

වෛද්‍ය පර්යේෂකයින්ගේ සොයා ගැනීම්වලට අනුව පුතකු තම ලිංගික හැඟීම් ඇතිකර ගනුයේ ඉපදී දින කිහිපයක සිටය. පුතු තම මවගෙන් කිරි උරාබොන තැන සිට එය අත්විඳියි. නමුදු දියණියක් එවැනි හැඟීමක් ඇතිකර ගනුයේ ද්විතියික ලිංගික ලක්ෂණ පහළවන්නට ආසන්නයේ සිටය. සාමාන්‍යයෙන් වසර දහයකට ආසන්නවය. ඒ ඇයගේ ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන්වල සමතුලිතතාව මතය. පුතකුගේ නම් ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනයේ ක්‍රියාකාරීත්වය මතය.

දියණිය ආරක්ෂා කළ යුතු අන්දමත්, පුතකු ආරක්ෂා කළයුතු අන්දමත් දෙවිධියක් වීමට පුළුවන. බාහිරින් අප පුතකු පිළිබඳ එතරම් නොසිතුවත් ඔහු කුඩා කල දකිනා දේ සහ ප්‍රායෝගිකව ලද දේ ඉදිරි ජීවිත කාලයට ම බලපාන අවස්ථා තිබේ.

මවට, පියාට පුතකුට සලසන ආරක්ෂාව මෙන් සියයට 90ක පමණ බරක් දියණියක් වෙනුවෙන් දැරීමට සිදුවේවි. මාස කිහිපයක දියණියක වුවද නිවෙසේ සිටින පිරිමි කෙනකු සමඟ තනිවම දමා නොයන්න. විශේෂයෙන් ම රැකියාවට යන කාලය අතුරතුර දී දියණියක රැකබලා ගැනීම සම්බන්ධයෙන් මවත්, පියාත් ගැටලු රැසකටම මුහුණ දෙයි. පුංචි කාලයේ දියණියට කැවීම, පෙවීම යනු එක් සිද්ධියක් පමණි. වඩාත් වැදගත්වන්නේ ඇගේ රැකවරණයයි.

අවුරුදු 5 - 6 යනු දියණිය පෙර පාසල් යන අවධියයි. ඇය නුහුරු, නුපුරුදු පරිසරයකට පියමං කරන මුල්ම අවධියයි.

නිවෙසටම වී මවගේ, පියාගේ උණුසුමට තුරුළු වී සිටි කුඩා මල් කැකුළක් බඳු දියණියට අකැමැත්තෙන් වුවත් මාපියන්ගේ බලකිරීම මත පෙර පාසල් යෑමට සිදුව්. ඇතැම් දරුවන් මේ වයස වනවිට වැසිකිළියට යාමේ පුහුණුව (පොටිට්‍රේනිං) ලබා නැත. මේ නිසා ඇඳ සිටින ඇඳුමේ ම මුත්‍රා, මලපහ එක්වරම යෑමට පුළුවන. මේනිසා වඩාත් අසරණ වීමට පුළුවන.

පුංචි දුව හෝ පුතා පාසල් නිමවී නිවෙසට එද්දී අඩුම තරමේ අත්තම්මා හෝ නිවෙසේ සිටියි නම් දරුවා සෝදා පිරිසුදු කොට කෑම ටික කවාවි.

දරුවා හොඳින් සෝදා පිරිසුදු නොකළහොත් විශේෂයෙන්ම පුංචි දැරියන්ගේ යෝනි තොල්වල බිබිලි මතුවීමට පුළුවනි.

පෙර පාසල් විය පාසල් වියේ ප්‍රාථමිකය ගෙවා දමන දැරිය දැන් ගැටවර විය එළිපත්තේ සිටියි. මෙවන් වයසක දැරියක් සිටින මවක් දියණියගේ මල්වර වීම අපේක්ෂා කරයි. ඇතැම් දැරියන් අවුරුදු 6, 7, 8, 9 වැනි වයස්වලදීත් මල්වරයට පත්වන්නේ නොසිතූ අන්දමිනි. සාමාන්‍යයෙන් දැරියක් පංතියේ 7, 8 වැනි ශ්‍රේණිවල සිටියදි මල්වරයට පත්වීම බොහොම සාමාන්‍ය දෙයක් වුවත් 3, 4, 5 වැනි ශ්‍රේණිවල සිටින දරුවන් වැඩිවියට පත්වීමේ ප්‍රවණතාවක් ද දැන් දක්නට ලැබේ.

අවුරුදු 5, 6, 7 වැනි කාලයකදී රුධිර බිංදුවක් දෙකක් පිටවීම මල්වර වූවා යැයි වෛද්‍යවරු නොසලකා හරින තරම්. බොහෝ විට මෙවැනි වයස්වල සිටින දැරියන්ට මාසික ඔසප්වීමක් සිදුනොවේවි. අඩු වයස්වල ඔසප්වීම සිදුවන විට භෞතික වශයෙන් කිසිදු වෙනසක් නොපෙන්වාවි. ද්විතියික ලිංගික ලක්ෂණ කිසිවක් නොපෙන්වුවද හෝර්මෝන ක්‍රියාකාරිත්වය මත දැරිය අඩු වයසින් මල්වර වේවි.

පූර්ව වැඩිවිය පැමිණීම එහෙමත් නැත්නම් වයසට කලින් දැරියන් මල්වර වෙන්නේ ඇයි. මේ සඳහා කාරණා තුනක් මූලික වශයෙන් බලපාවි. ඊස්ට්‍රජන් හෝර්මෝනය තරමක් වැඩියෙන් ස්‍රාවය වීම හේතුවක් වෙද්දී තවත් දැරියකට BMI අගය නොහොත් උසට සරිලන බර නියමාකාරයෙන් පවත්වා නොගෙන යෑම නිසාදෝ නියමිත කාලයට පෙර මල්වර වේවි. මේ සඳහා ජානමය හේතූන් ද බලපාවි. මෙහිදී අම්මා අඩු වයසින් මල්වර නොවූවත් ආත්තම්මාගේ මල්වර වූ වයස යනාදිය වුවත් හේතුවක් වේවි.

සාමාන්‍යයෙන් අවුරුදු 8ට පෙර මල්වර වීම පූර්ව වැඩිවිය පැමිණීමකි.

කොහොම වුණත් අවුරුදු 8, 9ක දැරියකට වුවත් මල්වරය හෙවත් පළමු ඔසප්වීම පිළිබඳ දැනුවත්කර සිටීම වැදගත්.

 

උපදෙස්

ආයුර්වේද විශාරද පණ්ඩිත

විශේෂඥ වෛද්‍ය මානව උපදේශක වෛද්‍ය

සුදත් ගුණතිලක