වසරකට දියවැඩියාව තියෙන දරුවෝ 100ක්

අප්‍රේල් 10, 2023

දෛනිකව ලබාගන්නා ආහාරවල ලුණු, සීනි හා තෙල් අන්තර්ගත ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් දරුවන් විශාල සංඛ්‍යාවක් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වෙමින් පවතින බවත් රිජ්වේ ආර්යා ළමා රෝහල දෙසින් ඇසෙන ප්‍රධානම කාරණයක් බවට පත් වෙලා. දරුවන් රැසක් මේ වනවිට අධික රුධිර පීඩනය හා දියවැඩියා තත්ත්වයන්ට ලක්ව සිටියි.

අපේ ආහාරවල අඩංගු වෙලා තියෙනවා වස වර්ග තුනක්. අපි හැමදාම ගන්න ආහාර වර්ග තුනක්. මේක අපි ඕනවාට වඩා ගත්තහම අපිට ඒක විසක් වෙනවා. එකක් තමා සීනි. සීනි කියන එක අපේ රටේ ජනගහණය එක්ක බැලුවොත් එක්කෙනෙක් භාවිත කරන්න ඕනේ ප්‍රමාණයට වඩා තුන්ගුණයක් සීනි භාවිත කරනවා. තෙල් ගත්තහම ඒකත් එහෙමයි. අපි පොල්කිරිවලින් කෑම උයනවා. නවීන තෙල් වර්ගවලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඊළඟ කාරණය තමා ලුණු. අපේ රටේ ජනගහණය එක්ක භාවිත කරන ලුණු ටොන් ගණන බැලුවොත් ඉතාම අධිකයි. සාමාන්‍යයෙන් දිනකට ලුණු ග්‍රෑම් 5ක් වගේ එක පුද්ගලයෙක් භාවිත කරන්න ඕනේ. නමුත් බලන්න දෙන්නෙක් ඉන්න ගෙදරකට ලුණු පැකට් කීයක් අරන් යනවා ද? ශ්‍රී ලංකාවේ අපි තෙල්, ලුණු හා සීනි භාවිතය ඉතා අධිකයි. අපිට හැදෙන රෝගවලට වඩා රෝග හදාගන්න පාදක වෙලා තියෙනවා. දියවැඩියාව තියෙන දරුවෝ 100ක් විතර වසරකට වාර්තා වෙනවා. අධික රුධිර පීඩනය තියෙන දරුවෝ වාර්තා වෙනවා. සමහර වෙලාවට අපේ ලුණු භාවිතය වැඩි නිසා වෙන්න ඇති කියලා හිතනවා. ඒවා වස. තෙල්, ලුණු, සීනි කියන ජාති තුන පුංචි කාලේ ඉඳලා හඳුන්වා දෙන්න එපා. අවුරුදු 2ක් යන කල් මව්කිරි දෙන්න. වැඩිපුර ලුණු දෙන්න එපා මාස 10 – 12ක් යනකල්. මොකද දරුවාගේ වකුගඩු වර්ධනය වෙලා නෑ. අවුරුදු දෙකක් යනතුරු සීනි හඳුන්වා දෙන්න එපා. පුංචි කාලේ සීනි රස පුරුදු කරාම ඒ අයට සීනි ඕන වෙනවා. ඒවා නැතිව කෑම පුරුදු කරන්න. එහෙම පුරුදු කරපු දරුවාට ජීවිත කාලෙම ඒවා ඕන වෙන්නේ නෑ. ලුණු නිසා ඒමට හැකි වකුගඩු රෝග සහ අධික රුධිර පීඩනය අවම කරගන්න පුළුවන්. සීනි නිසා එන්න පුළුවන් දියවැඩියාව අවම කරගන්න පුළුවන්. තරබාරුව වගේ දේවල්වලටත් මෙය එක හේතුවක්. පුංචි කාලේ දරුවාට සීනි, ලුණු හඳුන්වා දීම පහුකරන්න…

‍මේ අතර ආහාර ලබාගැනීමේ දී රූපවාහිනිය නැරඹීමට හා දුරකථනය නැරඹීමට දරුවන් යොමුවීම තුළින් සෞඛ්‍ය ගැටලු රැසක් මතුවන්නට පටන් අරන්.ගොඩක් වෙලාවට දරුවන්ට කවන්නේ ෆෝන් එක අතට දීලා. ඒක දිහා බලාගෙන ඉන්නකොට ඔහේ කටට දාන දේ ගිලිනවා. එතකොට ගන්න ආහාර ප්‍රමාණය වැඩිවෙන්න පුළුවන්.