පොඩ්ඩට ඇඳුම් ගන්න කලින්

අප්‍රේල් 24, 2023

 

තමන්ගේ පුංචි දුවට, පුතාට හැඩට අන්දවන්න ඔබ හරිම කැමැතියි කියලා අපි දන්නවා. ඒත් ඉතින් පොඩ්ඩට ඇඳුම් තෝරනකොට ඇඳුම cute ද, fashionable ද කියලා විතරක් බලලා මදිනේ. විශේෂයෙන් ම ලොකු මිලක් ගෙවලා පොඩ්ඩා වෙනුවෙන් තෝරාගන්න ඇඳුම් ගැන ඊට වඩා තව ටිකක් වැඩිපුර හිතන්න අවශ්‍යයි කියලා තමයි අපි නම් විශ්වාස කරන්නේ. ඉතින් ඒ දේට සහයෝගයක් විදිහට තමයි අපි මේ ලිපිය ඔබ වෙනුවෙන් අරගෙන එන්නේ.

 

Size

 

එකම වයසේ පොඩ්ඩෝ දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නට ගැළපෙන්නේ sizes දෙකක ඇඳුම් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔබේ පොඩ්ඩට වයස අවුරුදු 2ක් වුණාට සාමාන්‍යෙන් ඒ වයසේ වෙනත් දරුවොන්ට වඩා සිරුරෙන් ලොකු වෙන්නත් පුළුවන්. පොඩි වෙන්නත් පුළුවන්. මේ නිසා tag එකේ සඳහන් කරලා තියෙන ප්‍රමාණයත්, වයසත් ගැන විතරක්ම හිතන්නේ නැතුව පොඩ්ඩගේ උස බර හොඳට මැනලා ඇඳුම් ගන්නවා නම් exchange කරන්න දුවන්න අවශ්‍ය වෙන්නේ නැතිවෙයි.

 

Fit

 

Shirts, dresses, pants වගේ කොයි ඇඳුමක් ගත්තත්, ඒක පොඩ්ඩට අපහසුවකින් සහ අවලස්සනකින් තොරව fit වෙනවාද කියන කාරණාව ගැනත් සැලකිලිමත් වෙන්න සිදුවෙනවා. උදාහරණයක් විදියට adjustable waist band එකක් සහිත කලිසමක ඉණේ ප්‍රමාණය adjust කරමින් කාලයක් තිස්සේ අන්දවන්න පුළුවන් වුණත්, එහි දිග, පළල වගේ දේවල් වෙනස් නොවෙන හන්දා පොඩ්ඩාට අපහසුදායක සහ නොගැළපෙන්න  ඉඩ තියෙනවා. මේ නිසා ඇඳුමක් තෝරා ගන්නකොට පොඩ්ඩාගේ ඇඟට ඒ ඇඳුම පහසුදායක විදියට fit වෙයිද කියලත් කල්පනා කරන්න අමතක කරන්න එපා.

 

Fabric

 

මේ කාරණය ගැන ඔබ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වෙන්නේ සමහර fabric materials වලින් නිමවා ඇති ඇඳුම් වැඩිහිටියන්ට පවා අතිශය අපහසුදායකවන නිසයි. ලංකාව වගේ උණුසුම් දේශගුණයක් සහිත පරිසරයකට ඔරොත්තු දෙන පරිදි cotton, viscose, linen වගේ soft, light, loose materials වලින් මසා ඇති ඇඳුම් තෝරාගන්නවා නම් ඉතාමත් සුදුසුයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඇඳුම කොයි තරම් cute වුණත් එය පොඩ්ඩාගේ සංවේදී සමට අපහසුදායක, කැසීම් සහ rashes ඇති කරවන හෝ සිරුරට අධික උණුසුමක් දැනෙන ඇඳුමක් නම්, එවැනි ඇඳුමක් තෝරාගැනීම ඔබේ මුදල් අපතේ යැවීමක් පමණක් බව අමතක කරන්න එපා.

 

Quality

 

සෙල්ලමට වැටුණට පස්සේ, ඇඳුම පරිස්සම් කරගන්න වගේ දේවල් ගැන පොඩ්ඩෝ එතරම් අවධානයක් යොමු කරන්නේ නැහැ. ඉතින් ලොකු මිලක් ගෙවලා අරගෙන තියෙන්නේ quality ඇඳුමක් නෙවෙයි නම් වරක් දෙවරක් ඇඳීමෙන් පසුව ඒක ඉක්මනින් ඉවත් කිරීමට සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි එවැනි ඇඳුම් පොඩ්ඩාගේ ශරීරයට සුවපහසු නොවෙන්න වගේම හොඳ පෙනුමක් ලබා නොදෙන්නත් ඉඩ තියෙනවා. සමහර low quality ඇඳුම් සේදීමේදී සායම් යෑම නිසා අනිත් ඇඳුම් පවා සවුත්තු වෙන්නට ඉඩ තියෙන බව අමතක කරන්න එපා.

 

Color

 

පාට තේරීමේදී පොඩ්ඩාගේ කැමැත්තට ඉඩක් ලබා දීමත්, හැම ඇඳුමක්ම එකම පාටින් ගන්නේ නැතුව විවිධත්වයක් ඇතුව ගන්න උත්සහ කිරීමත් වඩා වටිනවා. ඒ වගේම අපේ රටේ උණුසුම් දේශගුණයට ළා පැහැති ඇඳුම් තමයි වඩා සුදුසු කියලත් අපි සිහිපත් කරන්න කැමැතියි.

 

Appeal

 

වැඩිහිටි අපි වගේම තමයි, පොඩ්ඩොත් කැමැති නෑ සමහර ඇඳුම් අඳින්න. එයාලටත් එයාලගෙම තේරීම් තියෙනවා. ඉතින් ඇඳුම් මිලට ගැනීමේදී ඔබගේ කැමැත්ත අනුව විතරක් ක්‍රියා කරන්නේ නැතුව අනිවාර්යයෙන්ම පොඩ්ඩගේ කැමැත්තටත් ඉඩකඩ ලබා දෙන්න කියලා අපි මතක් කරන්න කැමතියි.

 

Simple and easy to wear clothes

 

Ribbons, stones, frills, belts, zips, hooks වගේ අමතර items පිරුණු ඇඳුමක් කිසිසේත්ම පොඩි දරුවකුට පහසුදායක ඇඳුමක් නම් වෙන්නේ නැහැ. පිටත් පෙනුම කොයි තරම් ලස්සනට වුණත් ඒක පොඩ්ඩට සුවපහසු වෙන්නෙ නෑ වගේම මේ වගේ fancy items නිසා වැඩිපුර දහඩිය දමන්න සහ rashes එන්න වුණත් ඉඩ තියෙනවා. ඒ විතරක් නෙවෙයි පොඩ්ඩොන්ගේ ඇඳුම් තෝරනකොට දරුවාට අනාරක්ෂිතයි කියලා හිතෙන විදිහේ කොටස් නැති ඇඳුම් තෝරාගන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ හැම කරුණක්ම සලකලා බලා, පොඩ්ඩාට ඇඳුම් මිලට ගන්නකොට හැකිතාක් සරල, සුවපහසු සහ අඳින්න ගලවන්න පහසු designs වල ඇඳුම් තෝරාගන්න වගබලා ගන්න කියලා අපි නැවතත් මතක් කරනවා.

 

Fashion

 

වැඩිහිටියන්ට සුදුසු ආකාරයේ ඇඳුම් ආයිත්තම් වෙනුවට පොඩ්ඩාගේ වයසට ගැළපෙන ආකාරයේ ඇඳුම් තෝරාගැනීම ගැන විශේෂ අවධානයක් යොමු කරන්න අවශ්‍ය වෙනවා. මොකද පොඩ්ඩොන්ගේ හුරතල් පෙනුම රැකෙන්නට, අඳින ඇඳුම වැඩි වශයෙන් බලපෑමක් කරන නිසයි. ඔබ මුදල් වියදම් කරලා මිලට අරන් අන්දන ඇඳුමෙන් පොඩ්ඩාගේ පෙනුම අවලස්සන වෙනවා නම් එය සම්පූර්ණ නිරර්ථක කටයුත්තක් බවත් වැඩිහිටියෝ විදිහට අපි දැනගත යුතු වෙනවා.

 

 

උපදෙස්

ඇඳුම් නිර්මාණ ශිල්පී

ප්‍රණීත් රණවීර