වර්ෂ 2025 ක්වූ January 20 වැනිදා Monday
ලයිම් මෑන් අපට කියන වෙනස්ම රහ බිස්නස් ලයින්
ලයිම් මෑන්ගෙන් උගත යුතු බොහෝ දේ ඇති වග හමුවූ මුල්ම දිනයේදී අපට වැටහුණි.
ඔහුගේ ජීවිතයෙන් අපට ලබා ගත හැකි ආදර්ශ පාඩම් කිහිපයකි.
වසර කිහිපයකට ඉහත පැහැබර සුවබර මෙන්ම සිතුවිලි සැරිසරන සිකුරාදාවකි. එදා සිකුරාදාම බව නිශ්චිත වශයෙන්ම මතක පල්ලියෙන් ඇසුණු අදාන් ආරාධනාව නිසාමය. ජුම්මා පල්ලිය අසල සෙනඟ පිරි ඒ සුන්දර සිකුරාදා අප ද කල්පිටිය නගරයේ සැරිසරමින් සිටියෙමු.
නිශ්චිත අරමුණක්, ඉලක්කයක් හෝ සොයා යාමක් නොතිබුණද ජීවිතය වියන හෝ ගොතන්නට වෙර දරන අමුතු චරිතයක් හමුවේ යැයි සිතෙන තරමට අපි කූට අවුරැලි අත්ලෙන් සෙවණ කරමින් ඇවිදිමින් උන්නෙමු.
සෙනඟ පිරි වීදිය අද්දරදී අපට අහම්බෙන් මුණගැසුණු දොඩම් ගෙඩියකට සමාන රවුම් මුහුණකි. එහි උඩු කෙළවර තැබූ රත්ත වර්ණ පොට්ටුව ඒ සිනාමුසු අවිහිංසක මුහුණ තවත් හැඩ කරයි. ඔහු සෑම අයකුටම පළමුව සංග්‍රහ කරනු ලබන්නේ අව්‍යාජ සිනහ රැල්ලකිනි. කාෂ්ටක කල්පිටියට ඒ සිනහවම ආභරණයකි. කුඩා කුඩයක සෙවණතට වී දොඩම් මාමා මේ වනවිට ලක්ෂ ගණනක පිපාසය නිවා ඇති සැටියකි. කුඩය යට දොඩම් බීම කඩයට යාබදව ඔහුට හිමි කුඩා සිල්ලර කඩයකි.
දොඩම් මාමා මේ කටයුතු ආරම්භ කර ඇත්තේ මීට වසර දහයකට ඉහතදීය. මේ සුන්දර මිනිසා වෙනස්ම වට්ටෝරු අනුව දොඩම් හදන්නෙකි.
ඒ නිසාම කල්පිටියට පැමිණෙන සංචාරකයන් පවා ලයිම් මෑන් ලෙස හඳුන්වන දොඩම් මාමා උපතින් හින්දු භක්තිකයෙකි.
හෙතෙම වැඩ පටන්ගන්නේ උදේ නවයටය.එතැන් සිට ඔහු සිල්ලර කඩයේ රාජකාරි අතරතුර දොඩම් බීම නිපදවන්නේය. ඔහු අතින් හැදෙන සියලු දොඩම් නිපැයුම් මින් පෙර කිසිවකු අත්විඳ නැති ඒවාය. තැඹිලි, දොඩම් සහ ලෙමනේඩ් දොඩම් ඒ අතර ප්‍රධානය. ස්පයිසි ලෙමන් ද බොහෝ දෙනාගේ කට දිව පිනවන්නේ කටට සැරට රස පදමටම තනන නිසාවෙනි. මේ ව්‍යාපාරය මාමා ආරම්භ කරන්නේ අහම්බෙනි. ඒ කතාව දොඩම් බීම තරමටම රසවත් එකකි.
" කල්පිටිය කියන්නේ තද රස්නෙ තියෙන ලස්සන නගරයක්. අපේ නගරයට දෙස් විදෙස් සංචාරකයන් රැසක් එනවා. මේ අය තිබහට නිතරම හොයන්නේ කූල් යමක්. මම හිතුවා මේකට අපේ දේවල්වලින් යමක් හදන්න පුළුවන් නම් හොඳයි කියල.ඉන්දියාවෙ පාරවල තියෙන කෑම වර්ග මම දැකල තියෙනවා. ඉතින් මං කූල් තැඹිලි එක්ක දොඩම් මිශ්‍ර කරලා මුලින්ම බීමක් හදලා බීල බැලුවා. ඒක හරිම රහට ආව. ඒක නිසා දිගටම ඒක කරගෙන ගියා. මේ අතරේ සෝඩා දාල දොඩම් හදන්නත් ඉල්ලුමක් ආවා. ඒකත් නොහිතුව විදිහට ජනප්‍රිය වුණා. මෙන්න මේ විදිහට තමයි මං ගමන පටන් ගත්තේ.
ඔහු අපට තැඹිලි දොඩම් වීදුරුවකින් සංග්‍රහ කරයි. එය ඉතාමත් ප්‍රණීත රසැති එකකි. එම දොඩම් වීදුරුව අපේ දාහය කෙටි කලකින් නිවා දමයි. එතරමටම ප්‍රණීත ඒ දොඩම් යුෂ පානයේ සැඟවුණු රස රහසක් ඇත්දැයි දැනෙන තරමට විශ්වකර්ම වූ එකකි. මාමා නැවත අප සමඟ කතා කරයි.
පස්සෙ කාලේ මං පොඩි ස්පයිසි ගතියක් තියෙන දොඩම් එකක් හැදුවා. දොඩම්, සෝඩා එක් කරල ඒකට අමුමිරිස් කරලක් දාල කවලම් කළා. ඒක පුදුම රහක්. අමු මිරිස් රහ එක්ක දොඩම් එක්වුණාම තියෙන්නෙ වෙනම රසයක්.
ඔහුගේ අත්හදා බැලීම කොතරම් සාර්ථක ද කිවහොත් මේ වන විට දහ දොළොස් දෙනකුගෙන් සැදුම්ලත් පෝලිමක් කල්පිටිය දෙසට සැකසී අවසන් ය. ඒ පෝලිමේ විදේශිකයන්ද කිහිප දෙනෙකි. කල්පිටියට පැමිණෙන බොහෝ දෙනා දොඩම් මාමා ගැන දන්නේ කටකතාවෙනි.
කූල් මොනවත් බොන්න තැනක් ගැන කල්පිටියේදී ඇසුවහොත් ඒ සැමදෙනා පවසන්නේ කල්පිටිය ස්පෙෂල් දොඩම් මාමා බවය. ඔහු ඒ තරමටම ප්‍රසිද්ධය.
මම කරන දේ හරියටම කරනවා. මොකද කන්න බොන්න දෙනව කියන්නේ කලාවක්.ඒක හරියට නොකෙරුවොතින් පිහිටන්නෙ නෑ. ඒවගේම ඕෙන බිස්නස් එකක් අනෙක් කෙනාට වඩා වෙනස් වෙන්න ඕෙන. අනෙකාට අභියෝගයක් වෙන්න ඒකම කරල වැඩක් නෑ. කල්පිටියේ දොඩම් බීම කඩ තිබ්බෙ නැති නිසා තමයි මං මේක පටන් ගත්තේ. හැබැයි මම පටන්ගත්තේ මගේම රෙසපියකට දොඩම් හදන කඩයක්. අලුත් විදියට හිතනවා නම් ඕනෙම කෙනෙකුට ඉක්මනින් සාධාරණව දියුණු වෙන්න පුළුවන්.
දොඩම් මාමා රටටම දෙන්නේ උතුම් ආදර්ශයකි. අලුත් ව්‍යාපාර ආරම්භ කරන්නකුට ඔහුගේ කතාන්දරය පූර්වාදර්ශයකි. මං හිතනවා අපේ රටට එන විදේශිකයන් මේ දොඩම් බීම බොන්නේ හරිම ආසාවෙන්. ඒ අය මේක හඳුන්වන්නේ ශ්‍රී ලංකන් ඩ්‍රින්ක් කියල.ඒක මට ලොකු ආඩම්බරයක්. ඒවගේම කෙනෙකුගෙ තිබහ ඒ මනුස්සයට ආස විදියට නිවන්න පුළුවන් නම් කොයි ආගම අනුවත් ඒක ලොකු දෙයක්. මං කැපවෙලා වැඩ කරන්නේ අන්න ඒකට.
දොඩම් මාමා එදා කතාව නිම කළේ එසේය. ලයිම් මෑන්ගෙන් උගත යුතු බොහෝ දේ ඇති වග හමුවූ මුල්ම දිනයේදී අපට වැටහුණි.
ඔහුගේ ජිවිතයෙන් අපට ලබා ගත හැකි ආදර්ශ පාඩම් කිහිපයකි.
එනම්,
01. වෙනස් ආකාරයෙන් සිතන්නෝ තම ව්‍යාපාර ඉක්මනින් සාර්ථක කර ගනිති.
02. තමාගේ ව්‍යාපාරය තුළ පාරිභෝගිකයන්ට අවංක වන තාක් කල් ව්‍යාපාරය රඳා පවතී.
03. පාරිභෝගිකයන් සමඟ සිදු කරන හෘදයාංගම ගනුදෙනු ව්‍යාපාරයක පැවැත්ම තීරණය කරයි.
04. ආහාරයක ප්‍රමිතිගත බව පාරිභෝගිකයන් ඒ කරා රඳවා ගැනීමට හේතු වේ.
05. අනෙකා පරයා යාමට නොව අනෙකාගෙන් වෙනස් වීමට උත්සාහ ගන්නෝ ලෝකය දිනති.
මේ දොඩම් මාමාගේ නැත්නම් ලයිම් මෑන්ගේ කතාව අප ඔබට ගෙන ආවේ ඔහුගේ ජීවිතයෙන් අපට ගත හැකි පාඩම් ගැන කීමටම පමණක් නොවේ. ලෝකය රසවත් කර කුල්මත් කිරීමට වෙනස් මිනිස්සුන්ට හැකි බව කීම අරමුණ කර ගනිමිනි. ඒ ලයින් එකේම යන ඔබටත් ජීවිතය කූල් කර ගැනීම මේ පාඩම සබුද්ධික බව කියවා තේරුම් ගැනීම වටී.