වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
කුස්සිය රසවත් මතක පිරුණු ගබඩාවක්
අම්මා හදල දුන්නු රස කෑමක සුවඳ, අත්තම්මා හදන රසකැවිල්ලක මතක, තමන්ගේ සහෝදරියක් හදන කෑමවලට විහිලු තහළු කරපු මතක, පුංචි කාලේ මුලින්ම හදන්න ඉගෙන ගත්ත කෑමවල මතක, අලුත් කෑමක් හදන්න ගිහින් වැරදුණු මතක, විවාහ වෙලා තමන්ගේ කුස්සියක නැවුම් මතක.
මේවා හරිම සුන්දර මතකයන්. මතක් වෙනකොටත් හිත පිරෙනවා නේද?
ඔබේ ගෙදර කුස්සියත් මතක ගබඩාවක් කරන්න ඉඩදෙන්න. ඔහේ හැල්මේ දුවනවා වෙනුවට ඔබේ පවුලට සුන්දර මතක එකතු කරන පුංචි ඉඩක් ඔබේ කුස්සියේ තියන්න.
ඒක මඟ ඇරගන්න එපා.
ගෙදරක තියෙන සම්බන්ධකම් වැඩි කරන්න කුස්සියට පුළුවන් කියලා ඔබ දන්නවද? ආදරෙන් හදන පුංචිම පුංචි රස කෑමකට පුළුවන් පවුල් සම්බන්ධතා ගොඩනඟන්න. වෙහෙසිලා එන මනසක් නිවන්න. පරණ වෙච්ච කතාවක් අලුත් කරලා ආදරේ වැඩි කරන්න. මේවා මඟ ඇරගන්න එපා. ජීවිතේ කියන්නේ බොහොම චාරිකාවක් සුන්දර මතක එකතුකරගෙන සතුටින් ගෙවන්න.
ඔන්න අදත් කුස්සියේ පුංචි රහසක් ගෙනාවා.
මිරිස් අපි විවිධාකාරයෙන් කල් තබා ගන්නවා. ඒ ගැන අප පසුගිය සතියේ කියා දුන්නා.
ඒ වගේ නයිමිරිස් කල් තබා ගන්න ආකාරයක් තමයි මේ.
* නයිමිරිස් හොඳින් සෝදා රෙදි කැබැල්ලකින් පිසදා අව්වේ තරමක් වෙලාවක් තබාගෙන හොඳින් ජලය සිඳුවා ගන්න.
* ඒ අතරේ කල් තබා ගැනීමට නයි මිරිස් දැමීම සඳහා යොදා ගන්නා වීදුරු බෝතල් හොඳින් සෝදා පිරිසුදු කොට විනාඩි 20ක් නටන උණු වතුරේ බහා ජීවානුහරණය කර ගන්න.
* ජීවානුහරණය කරගත් වීදුරු බෝතල් හොඳින් වියළා ගන්න. බෝතල් අධික උණුසුමකින් යුතු නිසා ඉක්මනින්ම එහි ඇති ජලය වාෂ්ප වී යනවා.
* තෙත සිඳුවා ගත් නයිමිරිස් දෙකට පළා ගන්න.
* බෝතල් තුළට නයිමිරිස් තට්ටුවක්, ලූනූ තට්ටුවක් ලෙස මාරුවට දමන්න.
* මිරිස් පිරවූ බෝතල්වලට මිරිස් වැසෙන සේ ඔලිව් තෙල්, පිරිසුදු පොල් තෙල් හෝ විනාකිරි පුරවා ගන්න.
* බෝතල්වල පියන තද නොවන සේ වසා බෝතල් තද අව්වේ තබා දින කිහිපයක් පදම් කර ගන්න.
* සකස් කරන සෑම පියවරකදීම ජලය නොතැවරෙන සේ සාදා ගැනීමට ප්රවේසම් වන්න.