Monday, April 20, 2026
Epaper
Home Recipeකෑම මේසය මුකුළුවලින් රසවත් කරමුද?

කෑම මේසය මුකුළුවලින් රසවත් කරමුද?

by Shanaka Lakehouse

ශ්‍රී ලංකාවට ආවේණික වුණ ඉතාම රසවත් රසකැවිලි වර්ගයක් තමයි මුකුළු. විශේෂයෙන්ම මේ කෑම වර්ගය ගොඩක්ම ප්‍රසිද්ධ දකුණු පළාතට. ඉතින් මේ පාර සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔයාගේ කෑම මේසයටත් රසවත් වූ කෑමකින් අලුත් රසයක් එක් කරන්න.


අවශ්‍ය ද්‍රව්‍ය

ගා ගත් පොල් ග්‍රෑම් 250ක්

පාන්පිටි ග්‍රෑම් 250ක්

ලුණු ස්වල්පයක්

සීනි ග්‍රෑම් 150ක්

සාදා ගන්නා ආකාරය

මුලින්ම ගා ගත් පොල් භාජනයකට දාගන්න.මේ ගන්න පොල් ගෙඩිය කිරි සහිත එකක් වෙනවනම් ගොඩක්ම හොඳයි. මොකද මුකුළු හදද්දි අපි ජලය එක් කරන්නේ නැහැ. මේ පොල් ටික යන්තම් මිරිකන විට කිරි ගතියට තියෙන්න ඕනි. ඔයාලට එහෙම පොල් ගෙඩියක් හොයා ගන්න අපහසු නම් වියළි පොල් ගෙඩියක් අරන්, ගා ගත්තට පස්සේ වතුර ටිකක් ඉසිමින් මිශ්‍රණය සාදාගන්න ඕනි. ඉන්පසු ගා ගත් පොල්වලට සමානව පාන්පිටි රැගෙන පොල් එකට එකතු කරන්න. එයටම ලුණු ස්වල්පයක් යොදා විනාඩි පහක් පමණ හොදින් මිශ්‍ර කරගන්න. මෙය රොටී මෝලියක් තරමට නම් එන්නේ නැහැ. නමුත් යම් මට්ටමකට ගුළි සෑදෙන ආකාරයට මෙය මිශ්‍ර වෙනවා. එයට හේතුව තමයි කිරි සහිත ගා ගන්නා ලද පොල්වල ඇති තෙතමනය.

ඉන්පසු එම මිශ්‍රණයට අවසානයට සීනි ග්‍රෑම් 150ක් මිශ්‍ර කරන්න ඕනි. මෙහිදී මේ සීනි ප්‍රමාණය ඔයාගේ රස අනුව එකතු කරගන්න පුළුවන්.සීනි මිශ්‍ර කිරීමෙන් අනතුරුව මෙම මිශ්‍රණය ඉතා ඉක්මනින්ම කලවම් කරගන්න ඕනි. මොකද වැඩි වෙලා තිබුණම සීනි ටික දිය වෙන්න ගන්නවා.

අපි දැන් මේ මිශ්‍රණයෙන් මුකුළුවල හැඩය සාදා ගන්න ඕනි. මෙහිදී මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන එයින් බෝලයක් වගේ ගුළියක් සාදා ගන්න ඕනි.

ඉන්පසු මේ ගුළිය පෙති හයක තරුවක් ආකාරයට සාදා ගන්න ඕනි. කෙනකුට අවශ්‍ය නම් පෙති හතරක තරුවක් සාදා ගන්නත් පුවන්.

ඒ කොහොම වුණත් මේ තරු හැඩයේ ආකාරයට මුකුළු ටික ඉක්මනින්ම සාදා ගැනීම වැදගත්.මොකද සීනි ටික දිය වුණොත් මේ මිශ්‍රණය අතේ ඇලෙන්න පුළුවන්.

ඉතින් අවසානෙට මේ සාදා ගත්ත තරු හැඩ මුකුළු ටික රන්වන් පැහැ වනතුරු ගැඹුරු තෙලේ බැද ගන්න තමයි තියෙන්නේ.

ඉතින් මේ ආකාරයට අපට ඉතාම පහසුවෙන්, සරලවම ඉතා සුළු අමුද්‍රව්‍ය කිහිපයකින් මුකුළු සාදා ගන්න පුළුවන්. ඔන්න එහෙනම් මේ පාර අලුත් අවුරුදු කෑම මේසය මුකුළුවලින් රසවත් කරගන්න ඔයාටත් පුළුවන්.

 

කොමළවටන්

අවශ්‍ය ද්‍රව්‍ය

තෙත හාල් පිටි කෝප්ප 2 1/2

කැමැති වර්ගයක

පැණි කෝප්ප 1ක්

වතුර ස්වල්පයක්

බැදීමට අවශ්‍ය තෙල්

සුවඳ කුඩු (අත්‍යවශ්‍ය නොවේ, එක් කළත් කමක් නැත)

සාදාගත් පැණි පොල්

පැණි පොල් සාදා ගන්නා ආකාරය

තළාගත් එනසාල් එකතු කර උණු කරගත් පැණිවලට ලුණු බොහොම ස්වල්පයක් එකතු කර හොඳින් උතුරවා ගන්න. පසුව ගාගත් පොල් එකතු කර, කැමැති නම් දෙහි ගෙඩියක යුෂත් එකතු කර මඳ ගින්දරේ මලවා ගන්න. දෙහිවල පැඟිරි සුවඳත් එක්ක අමුතුම රසක් වගේම සුවඳක් ලැබේ. මේ පැණි පොල් ගුළි කරගත හැකි පදම විය යුතුය. හැලෙන පැණි පොල් මෙයට සුදුසු නැත. තරමක් තෙත ගතිය ඇති පැණි පොල් සාදා ගන්න.

සාදන පිළිවෙළ

මුලින්ම සාදාගත් පැණි පොල්වලින් කුඩා බෝල සාදාගන්න. එහි විශ්කම්භය සෙන්ටිමීටර 1 1/2ක් පමණ වීම සෑහේ. මේ බෝල අතින් හොඳින් තද කර සාදාගත යුතුය.

දැන් පිටි මිශ්‍රණය සාදන්න. හාල් පිටි සහ පැණි මිශ්‍ර කර හොඳින් අනාගන්න. වතුර අත්‍යවශ්‍ය නොවන අතර පැණිවලින්ම අනාගත හැකිය. නමුත් පැණි රස පුළුවන් තරම් අඩු කිරීමට අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එකතු කර නිවැරදි පදම ලබා ගන්න. මේ පිටි මිශ්‍රණය සාමාන්‍ය කැවුම් හදන පදමට තිබිය යුතුය. මේ අයුරින් අනාගත් පිටි මිශ්‍රණය පැය 3-4කට පසුව භාවිත කරන්න.

දැන් කැවුම්වලට වගේ තෙල් රත් කර, පිටි මිශ්‍රණයෙන් ස්වල්පයක් තෙලට වත්කර ඒ මැදට සාදාගත් පැණි පොල් ගුළියක් තබා හැන්දෙන් ටිකක් තද කරන්න. බුරුල් වී වෙන් වුණොත් නැවත තබන්න. ඊට උඩින් නැවතත් පිටි මිශ්‍රණයෙන් ස්වල්පයක් දමාගන්න. කැවුම් සෑදීමේදී මෙන් හැන්දෙන් රත් වූ තෙල් ඉහින්න. එවිට ලස්සනට පැණි බෝලය වැසී කොමළවටන් සෑදේ.

මේ කැවිලි හදනකොට තෙලේදී ඇති වන කෝමල රේඛා නිසා ‘කොමළවටන්’ ලෙස හඳුන්වනු ලබයි. නමුත් කෝමළ රේඛා රහිතව වුවද මෙය බැදගත හැකිය. ඔබට එම රේඛා අවශ්‍ය නම් පැණි පොල් බෝලය තරමක් ලොකුවට (සෙ.මී. 2-3 පමණ) සාදා, කැවුම් පිටි මිශ්‍රණයේ දවටා බදින්න. එවිට නියම විදිහට කෝමලරේඛා මතු වේ.

 

කොණ්ඩ කැවුම්

සාමාන්‍ය ප්‍රමාණයේ කැවුම් 25ක් සඳහා.


අවශ්‍ය ද්‍රව්‍ය:

තෙත හාල් පිටි කෝප්ප 2ක්

පාන් පිටි කෝප්ප 1ක්

වතුර අවශ්‍ය පමණ

කබලේ බැද කුඩු කරගත් මාදුරු තේ හැඳි 1ක්

එනසාල් කරල් 2-3ක කුඩු

ලුණු තේ හැඳි 1/4ක්

සීනි කෝප්ප 1ක්

කැමති පැණි වර්ගයකින් මේස හැඳි 4-5ක්

සාදන පිළිවෙළ

කැවිලි හදනකොට පැණි රස පුළුවන් තරම් අඩුවෙන් හදන නිසා ඒ ප්‍රමාණ තමයි ලියලා තියෙන්නේ. පැණි රස හොඳට ඕ‍ෙන නම් මීට වඩා සීනි හෝ පැණි ටිකක් වැඩිපුර එකතු කරගන්න.

මුලින්ම හාල් පිටි සහ පාන් පිටිවලට ලුණු, මාදුරු සහ එනසාල් එකතු කර මිශ්‍ර කරන්න. එයට වතුර එකතු කර මිශ්‍ර කර, සීනි දමා හොඳින් දිය වන තුරු අතින් අනාගන්න. පසුව පැණි එකතු කර මිශ්‍ර කර හොඳ උකු මිශ්‍රණයක් සාදා වසා තබන්න. පැය 3-4ක් පිපෙන්නට තිබ්බත් සෑහේ.

පිපෙන්නට තැබූ මිශ්‍රණය දැන් තවත් ඝනකමින් වැඩිය. ඉතින් වතුර බොහොම සුළු ප්‍රමාණයක් එකතු කර නැවත හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය ගොඩක් ඝනත් නැති, දියාරුත් නැති පදමකට තිබිය යුතුය. උදාහරණයක් විදිහට, ආප්ප මිශ්‍රණයට වඩා ඝන විය යුතු අතර තෝසේ මිශ්‍රණයට වඩා ඝනකමින් අඩු විය යුතුය. දැන් ඉතින් කැවුම් හදන්න පදම නිවැරදි ය. මෙයින් කොණ්ඩ කැවුම් මෙන්ම හැඳි කැවුම් ද සාදා ගත හැකිය. සුවඳ ඉවසන්න බැරි රසම රස කැවුමක රස විඳිමු.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?