Sunday, May 17, 2026
Epaper
Home ජ්‍යෙතිෂයකාසි මුට්ටියේ රහස

කාසි මුට්ටියේ රහස

by Shanaka Lakehouse

සිංහල සංස්කෘතිය සහ වාස්තු විද්‍යාව තුළ “කාසි මුට්ටිය” යනු හුදෙක් මුදල් ඉතිරි කරන භාජනයක්ම පමණක් නොව, එය නිවෙසට වාසනාව සහ ධනය රැස් කරවන සංකේතයක් ලෙස සැලකේ. ඒ සඳහා යොදා ගනු ලබන කාසි මුට්ටියේ ස්වභාවය කෙලෙසක පැවතිය යුතුද යන්න පිළිබඳ නිර්මිතයක් පවතී.

මුලින්ම මුට්ටිය තෝරා ගැනීමේදී, ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ මැටි මුට්ටියකි. අනිවාර්යයෙන්ම ඒ සඳහා යොදා ගන්නා මුට්ටිය අලුත් එකක් විය යුතුය. පසුව එහි කට රතු හෝ රන්වන් පැහැති රෙදි කඩකින් බැඳීම සාම්ප්‍රදායික සිරිතයි.

හිස් මුට්ටියකට වඩා, ධනය වර්ධනය කරන කාසිවලට අමතරව තවත් ද්‍රව්‍ය කිහිපයක් මුලින්ම මුට්ටිය පතුලට දැමීම රහසක් ලෙස සැලකේ. එනම්; රන්, රිදී, තඹ, ලෝකඩ සහ යකඩ කැබලි ස්වල්පයක්, වී, මුං ඇට වැනි ධාන්‍ය වර්ග (සෞභාග්‍යයේ සංකේත), සුදු හඳුන් හෝ සඳුන් කැබැල්ලක්, පළිඟු හෝ මැණික් ගල් යොදා ගත හැකිය. (ඉහත සඳහන් සියලුම දෑ භාවිතා කිරීම අනිවාර්ය නොවේ.)

කාසි එකතු කිරීමේ වත්පිළිවෙතේදී, මුට්ටියට මුදල් දැමීම ආරම්භ කළ යුත්තේ සුබ නැකතකට අනුවයි. සාමාන්‍යයෙන් බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනක සුබ හෝරාවකින් මෙය ආරම්භ කිරීම වඩාත් සුදුසු වේ. පළමු කාසිය, ඔබට ලැබුණු ලාභයකින් හෝ ඉතා සතුටින් උපයාගත් මුදලකින් ලබා ගත් එකක් වීම ඉතාම වැදගත්ය. දිනපතා අවම වශයෙන් එක් කාසියක් හෝ මුට්ටියට දැමීමෙන් ඔබ තුළ ධනය වර්ධනය වේ.

මුට්ටිය තබන ස්ථානය ඔබේ නිවැරදි ධන වාසනාව තීරණය කරයි. ඊසාන දිශාවේ තැබීමෙන් දේව ධනය සහ අාධ්‍යාත්මික දියුණුවත්, උතුරු දිශාවේ තැබීමෙන් ධනය ආකර්ෂණය කර ගැනීමත් සිදු වේ. නිරිත දිශාවේ තැබීම නි‍ෙවසේ ස්ථාවරත්වය සහ ඉතිරිය වැඩි කිරීමට උපකාරි වේ. විශේෂයෙන්ම කාසි මුට්ටිය කිසිවිටකත් පොළොව මත කෙළින්ම නොතබා, උසකින් යුත් ලී මේසයක් හෝ පිරිසුදු තැනක තැබීමට වගබලා ගන්න.

නිවෙසේ දියුණුව සහ සෞභාග්‍යය උදෙසා කාසි මුට්ටියක් පවත්වාගෙන යාමේදී, එය හුදෙක් මුදල් රැස් කරන භාජනයකට වඩා “ධන ආකර්ෂණ කේන්ද්‍රයක්” බවට පත් කර ගැනීමට අනුගමනය කළ හැකි සුවිශේෂි පිළිවෙත් කිහිපයක් ඇත. ස්ථානය තෝරා ගැනීමේදී, එය නිවෙසේ ඊසාන හෝ උතුරු දිශාවේ පිහිටි පිරිසුදු ස්ථානයක තැබිය යුතුය. එය සාලයේ අල්මාරියක හෝ පූජා කාමරයේ තැබිය හැකිය. ප්‍රධාන දොර දෙසට මුහුණලා (නමුත් කෙළින්ම දොර පෙනෙන සේ නොව) තැබීමෙන් ධන වාසනාව නිවෙෙස තුළට පැමිණෙන බව විශ්වාස කෙරේ.

මුට්ටිය තැබීමට පෙර එම ස්ථානය පිරිසුදු කර, සුවඳ දුම් අල්ලා සුවඳවත් කරන්න. මුට්ටිය ඇතුළතට කහ ස්වල්පයක් සහ අමු ඉඟුරු කැබැල්ලක් දැමීමෙන් නිවෙසේ ඇති නිෂේධාත්මක ශක්තීන් ඉවත් වී ධන වාසනාව වර්ධනය වේ. මුට්ටිය මතුපිට රතු පැහැති පීත්ත පටියක් හෝ නූලක් බැඳීමෙන් “සෞභාග්‍යය” සංකේතවත් කරයි.

නිවෙසේ දියුණුව ප්‍රාර්ථනා කරන විට, එහි පිරිසුදු බව ඉතා වැදගත් වේ. ගෘහ මූලිකයා හෝ ගෘහිණිය විසින් සෑම උදෑසනකම ස්නානය කර පිරිසුදු වී පළමු කාසිය දැමීම වඩාත් සුදුසුය. කාසිය මුට්ටියට දමන සෑම අවස්ථාවකම “මගේ නිවෙස සෞභාග්‍යයෙන් සහ ධනයෙන් පිරී පවතී” යනුවෙන් සිතින් අධිෂ්ඨාන කරන්න. මුට්ටිය පිරුණු පසු එය එක්වර හිස් නොකරන්න. එයින් කොටසක් පුණ්‍ය කටයුත්තකට හෝ නිවෙසේ දියුණුවට අදාළ ආයෝජනයකට යොදවා, මුට්ටිය පතුලේ කාසි කිහිපයක් ඉතිරි කර නැවත ආරම්භ කරන්න.

මුට්ටිය කිසිවිටකත් කුස්සියේ හෝ වැසිකිළියකට ආසන්න බිත්ති අසල තබන්න එපා. එය අඳුරු හෝ දූවිලි සහිත ස්ථානවල තැබීමෙන් ධන වාසනාව හීන වේ. මුට්ටිය තුළට විදේශීය කාසි, මලකඩ කෑ කාසි හෝ කැඩුණු මුදල් නෝට්ටු දැමීමෙන් වළකින්න. සෑම විටම පිරිසුදු, දිලිසෙන කාසි දැමීමට උත්සාහ කරන්න.

ව්‍යාපාරික ස්ථානයක “කාසි මුට්ටියක්” තැබීම නිවෙසට වඩා තරමක් වෙනස්ය. එහිදී මූලික අරමුණ වන්නේ මුදල් ගලා ඒම සහ පාරිභෝගික ආකර්ෂණය වැඩි කර ගැනීමයි. ව්‍යාපාරික දියුණුව සඳහා කාසි මුට්ටිය තැබිය යුතු වඩාත්ම සුදුසු ස්ථානය වන්නේ මුදල් ලාච්චුව හෝ සේප්පුව අසලයි. මෙය පාරිභෝගිකයින්ට කෙළින්ම දර්ශනය නොවන පරිදි, නමුත් මුදල් හුවමාරු වන ස්ථානයට සමීපව තැබීම වැදගත්ය.

ව්‍යාපාරික දියුණුව සඳහා මුට්ටිය පතුලට පහත ද්‍රව්‍ය දැමීම විශේෂ රහසක් ලෙස සැලකේ:

කුරුඳු කැබැල්ලක්: කුරුඳු යනු ජයග්‍රහණය සහ මුදල් ආකර්ෂණය කරන ප්‍රබල ඖෂධයකි.

පැඟිරි ලෙලි: ව්‍යාපාරයේ ප්‍රබෝධය සහ ආකර්ෂණය පවත්වා ගැනීමට වැදගත් වේ.

රන්වන් පැහැති කාසි: හැකි නම් රන්වන් පැහැති කාසි (රුපියල් 10 කාසි වැනි) වැඩිපුර භාවිත කරන්න.

ව්‍යාපාරික දියුණුව පතන ඔබ, දිනපතා දවසේ පළමු අලෙවියෙන් (නියත වශයෙන්ම ලාභයක් ලබන ගනුදෙනුවකින්) ලැබෙන කාසියක් මුට්ටියට දැමීම ඉතාම සුබයි. පාරිභෝගිකයකු ඉතා සතුටින් මුදල් ගෙවන අවස්ථාවක, එම මුදලින් කාසියක් මුට්ටියට එකතු කිරීමෙන් එම “ධනාත්මක ශක්තිය” ව්‍යාපාරය තුළ රඳවා ගත හැකිය.

මුට්ටියට කාසි දමන විට මෙසේ අධිෂ්ඨාන කරන්න:

“මගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා!”

“වැඩි වැඩියෙන් පාරිභෝගිකයින් මා සොයා පැමිණේවා!”

“ලැබෙන ධනය ව්‍යාපාරයේ උන්නතියට හේතු වේවා!”

ව්‍යාපාරික ස්ථානයක දූවිලි අධික විය හැකි බැවින්, දිනපතා මුට්ටිය පිරිසුදු කර සුවඳ දුම් ඇල්ලීම අනිවාර්ය වේ. මුට්ටිය පිරී යන තෙක් එය විවෘත නොකරන්න. පිරුණු පසු එම මුදල් ව්‍යාපාරය දියුණු කිරීමට (අලුත් බඩු ගැනීමට හෝ ව්‍යාපාරික ස්ථානය අලංකාර කිරීමට) යොදා ගන්න. එය වඩාත් සුබදායී වේ.

 

TEXT – කෝකිලා සමුදුනී

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?