දෙහි ගුණ දන්නවානම් මූණ ඇඹුල් වෙන්නේ නැහැ

ජූලි 17, 2019

දෙහි කපන්නේ ඇස්වහ කටවහ දොස් දුරුකරන්නයි. එහි ඇත්ත නැත්ත කොහොම වුණත් සිරුරේත් රූ සොබාවේත් දොස් නසන්නත් දෙහි නැතිවම බැරි බව නම් සත්‍යයක්.

අපූරු අත්බෙහෙතක්

දෙහි වගේම ලෙමන්ද අත්බේත් ලෙස යොදා ගන්න පුළුවන්. ජලය ස්වල්පයක් එක්කර දෙහි යුෂවලින් මුව සේදුවොත් මුඛ කුහරය පිරිසුදු වෙනවා. මුඛ දුගන්ධය පවතින, දිවේ පටලයක් බැඳෙන අයට මෙය අපූරු ප්‍රතිකර්මයක්. එපමණක් නොව දෙහි නිසා ජීර්ණ ශක්තිය වැඩි දියුණු වෙනවා. පිපාසය නිවා ගන්නත් දෙහි ලෙමන් කදිම පානයක්. ගැස්ට්‍රයිටීස් නිසා, අජීර්ණය නිසා ඇතිවන උදර වේදනාවට දෙහි යුෂ අත්බෙහෙතක් ලෙස යොදා ගන්න පුළුවන්.

කැස්සෙන් සහනයක් ලබා ගන්න, උගුරේ සෙම බැඳීම නතර කිරීමට දෙහි පානයෙන් පුළුවන්. වමනය, ඔක්කාරය ඇති විට සහනයක් ලබා ගැනීමට ලෙමන් යොදා ගන්නවා. උදෑසනට මඳ උණසුම් ජල වීදුරුවක් ලෙමන් යුෂ තේ හැඳි 1 - 2 ක් එක්කර උදෑසන හිස් බඩ පානයෙන් සිරුරේ වැඩි බර අඩුකර ගන්න පුළුවන්. සෙම අඩුකරන ගුණයක්ද මෙහි පවතිනවා. රුධිර නාලවල අහිතකර කොලෙස්ටරෝල් බැඳීමද මෙමඟින් වළකිනවා. එයින් හදවත නිරෝගීව තබා ගැනීමට පුළුවන්.

සෙම්ප්‍රතිශ්‍යාවෙන් සහනයක් ලබා ගැනීමට නම් දෙහි යුෂ පානය කළ යුත්තේ සීනි නොයොදා අඩු ජල ප්‍රමාණයක් එක්කරමින්. ජලය සිසිල් නොවිය යුතුයි.

රුව හැඩ කරන්න

ඉක්මනින් නියපොතු වියළී කැඩීයාම බොහෝ කාන්තාවන් මුහුණ දෙන ගැටලුවක්. ඔලිව් තෙල්, ලෙමන් හෝ දෙහි යුෂ මිශ්‍ර කර ඒ මිශ්‍රණයේ නිය පොඟවන්න. නිය සවිමත් වනවා.

දෙහි බැක්ටිරියා නාශකයක්. දෙහි යුෂ, මීපැණි සමඟ මිශ්‍ර කර කුරුලෑ ඇති තැන්වල නින්දට පෙර ගල්වන්න. මිනිත්තු 15 ක් හෝ පුරා රැයක් තබා සෝදා හරින්න. කුරුලෑ අතුරුදන් වේවි.

සම පැහැපත්වීමට දෙහි තේ හැන්දක් මී පැණි හැඳි 2 ක් සමඟ මිශ්‍රකර ගල්වන්න. සමෙහි තෙතමනය, ඔපවත් බව වර්ධනය වෙනවා.

දරුවකු බිහි කළ පසු සම ඇදුණු ලකුණු දකින්න ලැබෙනවා. සමහරුන්ගේ එසේ නොමැතිවත් ඇදුණු ලකුණු දැකිය හැකියි. දෙහි යුෂ සහ මීපැණි මිශ්‍රකර එම ඇදුණු තැන්වල ගල්වන්න. ටිකින් ටික ලකුණු මැකී යනවා.

කිහිලි යට, වැළමිට දුර්වර්ණ වී ඇත්නම් ලෙමන් පෙති ඒ තැන්වල ගල්වන්න. දුර්වර්ණ ගතිය නැති වෙන්නේ දෙහිවලට ඇති සුදෝ සුදු කිරීමේ හැකියාව නිසයි.

දෙහි, ලුණු මිශ්‍රණය පැල්ලම් ඉවත් කිරීමට යොදා ගන්නවා. ලුණු සහ දෙහි යුෂ මිශ්‍ර කර හොඳින් මිනිත්තු දෙක තුනක් අතුල්ලන්න. (හමට හානි නොවන්න පරෙස්සමට අතුල්ලන්න) ඉන්පසු මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. සතියකට දෙවරක්වත් මෙසේ කරන්න.

දෙහි ලෙල්ලත් විසිකරන්න එපා

දෙහි ගෙඩිය මෙන්ම දෙහි ලෙල්ලද අපට රැව රැක ගන්න උදව් කර ගන්න පුළුවන්. දෙහි ලෙල්ල මඳ පවනේ වියළා කුඩු කර කිරි සමඟ මිශ්‍රකර ගැල්වුවහොත් සම සුදු වෙනවා පමණක් නොවෙයි වයසට යාමත් සමඟ ඇතිවන සමේ රැලි ද නැති වෙනවා. මේ සඳහා නැවුම් කිරි තේ හැදි 2 ක් සහ කුඩු කරගත් දෙහි ලෙලි තේ හැදි 2 ක් අවශ්‍යයි. දෙහි ලෙල්ලේ කුඩු සහ නැවුම් කිරි හොඳින් මිශ්‍රකර මුහුණේ, ගෙලේ ගල්වන්න. පැය භාගයක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න. වරින් වර මෙසේ කිරීමෙන් වෙනස අත්හදා බලන්න.

ඉදුණු ගස්ලබු යුෂ කුඩු කරගත් දෙහි ලෙල්ල සමේ තාරුණ්‍ය ඔප් නංවන අපූරු සුසංයෝගයක්. මේ සඳහාත් අවශ්‍ය ඉදුණු ගස්ලබු යුෂ තේ හැඳි 2 ක් සහ කුඩු කරගත් දෙහි තේ හැඳි 2 ක්. හොඳින් මේවා මිශ්‍ර කර පල්පයක් යොදා අඩ පැයක් තබන්න. පසුව සිසිල් ජලයෙන් සෝදන්න. රැලි නැති සමක් ලැබෙන බව සිකුරුයි.

සමේ වියළි සමේ කොටස් ඉවත් කිරීමට හොඳම ක්‍රමය මෙන්න. දෙහි ලෙල්ලේ කුඩු සම ගැඹුරටම පිරිසුදු කරන්න පුළුවන් සංයෝගවලින් සමන්විතයි. මීට රෝස වතුර සහ මුහුදු ලුණු එක්වුණොත් කිරියි පැණියි වගේ මිහිරි ප්‍රතිඵලයක් ලැබෙනවා.

කුඩු කරගත් දෙහි ලෙල්ලේ කුඩු තේ හැඳි 2 ක්, රෝස වතුර තේ හැඳි 2 ක්, ලුණු තේ හැඳි 2 ක් එක්කර හොඳින් මිශ්‍රකර මුහුණේ, ගෙලේ පමණක් නොව අත් පාවලද ගල්වන්න. සතියකට දෙවරක් මෙසේ කර පැහැපත් වෙනසක අසිරිය අත්හදා බලන්න. නිතර කුරුලෑ එන සමකට දෙහි ලෙල්ලේ කුඩු තේහැඳි 2 ක් පොල් වතුර තේ හැඳි 3 ක් මිශ්‍ර කර කුරුලෑ කැළැල් ඇති තැන්වල ගල්වන්න. පැයක් තබා සාමාන්‍ය ඇල්මැරුණු ජලයෙන් සෝදා හරින්න. දිනපතා මෙසේ කරන්න. ‘කුරුලෑ කැළැල්වලට යන්න කිව්වා’ ඔබට සතුටින් මෙසේ පැවසීමට පුළුවන්.

දිදුලන සුදෝසුදු පැහැපත් රැලි නැති සමකට දෙහි, දොඩම් සංයොගය කදිමයි. කුඩු කරගත් දෙහි ලෙලි තේ හැඳි 2, කුඩුකරගත් දොඩම් ලෙලි තේ හැඳි 2, දෙහි යුෂ තේ හැඳි 4, දොඩම් යුෂ තේ හැඳි 4 හොඳින් බ්ලෙන්ඩ් කර ගෙලේ සහ සමේ සමානව ගල්වන්න. සතියකට දෙවරක් ගල්වන්න.

 

2019/07/17 තරුණි බලන්න