වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
මේ හරි ලස්සන බෝනික්කා අම්මා මහලා මට දුන්නා
පුංචි දෝණිට සෙල්ලම් කරන්න ලස්සන බෝනික්කෙකි. සුදු මල් වැටිච්ච රෝස පාට රෙද්දෙන් බෝනික්කගෙ ගවුම හැඩවෙලා. වටේට රේන්ද පටි අල්ලලා නිසා තවත් ලස්සනයි. කොණ්ඩෙ තනි කරලට ගොතා රිබන් පටි ගැට ගහලා. මේ වගේ බෝනික්කකුට ඔබේ දෝණිත් ගොඩක් කැමැති වේවි.
අවශ්‍ය ද්‍රව්‍ය
රැන්ගල් රෙදි රෝස, තැඹිලි හෝ ගැළපෙන ළා වර්ණයන්ගෙන්
පිරවීම සඳහා පැඩිං
තරමක් මහත වූල් බෝල 3 ක්
කුඩා මල් සහිත චීත්ත රෙදි හා එයට ගැළපෙන රේන්ද
නිර්මාණය කිරීම
පළමුව දී ඇති පතරොම අවශ්‍ය ප්‍රමාණයට විශාලකර ඝනකම් බෝඩ් එකක් මත ඇඳගන්න. ඇඳගත් එම කොටස් රැන්ගල් රෙද්ද මත තබා ඇඳගෙන, එය කැපීමේදී අඟල් 1/4ක මැහුම් වාසියක් තබා කපා ගන්න. මසා ගැනීමේදී පතරොම ඇඳගත් ඉර උඩින් මසා ගත යුතුයි. දී ඇති පරිදි විවරය ඇති තැන ඉඩ තබා වටේට මසාගන්න. මසාගෙන ඉතිරි කරගත් අඟල් 1/4 වටේට කුඩා කැපුම් දමා විවරය ඇති තැනින් හොඳපිට හරවා ගන්න.
ඉන්පසු විවරයෙන්, හොඳින් සැහැල්ලු පැඩිං පුරවා ගන්න. සියලු කොටස් වෙන වෙනම පුරවා විවරය ඇති තැන මසා ගන්න. දැන් හොඳින් ඝනකම් ඇති නූලකින් ඇඟ කොටසේ බෙල්ල හා ඇඟ වෙන්වෙන තැන තද කොට ගැන ගසාගන්න. එවිට ඇඟ සහ හිස කොටස වෙන් වේ. ඇඟ කොටසේ අත යනුවෙන් ලකුණුකර ඇති තැනට අත් දෙක අල්ලා ගන්න. කකුල් ද ඒ ආකාරයට සම්බන්ධ කරගන්න. ඇස්වලට කුඩා ඇස් දෙකක් අලවන්න. කොණ්ඩය සඳහා වූල්වලින් අඟල් 1 1/2 කාඩ්බෝඩ් කැබැල්ලක වට 15 ක් ඔතා ලූප් සාදා ඔළුව වැැසෙන පරිදි අල්ලා ගන්න. කුඩා කොණ්ඩයක් ගොතා එක් පැත්තකින් අල්ලා ගන්න. ඇඳුම් ගැළපෙන ආකාරයට මසා රේන්ද අල්ලා හැඩකරගන්න. සපත්තුව ද වටේ මසා කකුලට බස්සවන්න. මෙම බෝනික්කන් බොහෝ විට ලස්සන වන්නේ අන්දවන ඇඳුමෙන් සහ යොදන කොණ්ඩා මෝස්තරයෙනි.
උපදෙස්
අත්කම් නිර්මාණ ශිල්පිනී
සේනානි සේනාරත්න