වස විස නැතුව කෑම කන්න Kitchen Garden එකක් හදමු

පෙබරවාරි 7, 2022

 

නිවෙසක දියුණුව තියෙන්නෙ ගෘහණිය අතේ. ඒ සඳහා අංක 01 ගෘහණියගේ අරපිරිමැස්ම කියලා කිව්වොත් නිවැරැදියි.

අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කරන්නේ කොහොමද? අරපිරිමැස්ම කියන්නේ මොකක්ද? මේ ගැන ඇතැම් කාන්තාවන් දැනුවත් නැහැ.

කාන්තාවක් ගෘහ ජීවිතය පවත්වාගෙන යද්දී එහි දියුණුවට පත්වන විදිහට වැඩ කටයුතු කළ හැක්කේ කොහොමද කියලා දැනුවත් කරන්න ඕන ඇගේ අම්මා. ඇය කුඩා කාලයේදීම තමයි මේ දැනුම දෙන්න ඕන.

තමන් වැඩ කරද්දී දියණිය ළඟට අරගෙන ඒ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ කරගෙන උපදෙස් දෙන අතරේ ප්‍රායෝගිකව ඒවා අත් දකින්න අවස්ථාව දුන්නා නම් දියණිය වැඩිවියට පත්වෙලා දීගෙක ගිය දවසක ඒ දැනුම මිල කළ නොහැකි දායාදයක් වේවි.

අපි මේ ලිපිපෙළෙන් කියන්නට උත්සාහ ගන්නේ නිවෙසක ජීවත්වීමේදී අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කරන්නෙ කොහොමද කියන එකයි.

ආහාර වලට ගන්නා හාල් තුනපහ ටිකෙන් විතරක් නෙමෙයි බලශක්තියෙන් (විදුලිය, ගෑස්) පවා ඉතිරි කරන්න පුළුවන් කියන එක ගැන තමයි අපි පසුගිය සති කිහිපය පුරා කතා කළේ. අද අපි අලුත්ම ඉසව්වක් ඔස්සේ ඉදිරියට යමු.

-----------------------

පළමුව ආකල්පමය වෙනසක් සිදුකර දෙවැනුව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් වැඩි ඵලදායිතාවක් ලබාගන්නට පුළුවන්. ඒ මොනවා වුණත් නිවෙසේ වියදම ටිකක් හරි අඩුකර ගන්න පුළුවන් නම්... අන්න ඒක වටිනවා.

ඒ නිසා තමයි පසුගිය සතියේ කිව්වේ විදුලි උපකරණවල කාර්යක්ෂමතාවය නිසා ඉතිරිවන කාලයෙන් පුංචි පහේ Kitchen Garden එකක් පවත්වාගෙන යන්නැයි යෝජනා කළේ. ඒ වගේ දේකින් එළවළු මිල අහස උසට ගිහින් තියෙන කාලෙක... ඔබ හිතනවාට වඩා වැඩි මුදලක් ඉතිරි කර ගන්න පුළුවන්. අද කාලෙ මුදල් ඉතිරි කරනවා කියන එක බහුතරයක් දෙනාට හීනයක් වගේ තමයි. දවස ගානෙම අවශ්‍ය වෙන දේවල්නෙ රම්පෙ, කරපිංචා, කහ, ඉඟුරු, දෙහි, අමු මිරිස් කොච්චි කියන්නෙ.

මේවා නිසි විදිහට යොදන්නෙ නැතුව කෑම රසත් නැහැ. වෙළෙඳ පොළෙන් මිලදී ගන්න ගියොත් යන වියදම හිතනවාට වඩා වැඩි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. අනෙක් අතට සිදු වන නාස්තියට. දවස් දෙකක් යද්දි කරපිංචා කොළ හැලිලා යනවා, රම්පෙ වලටත් ඒ සන්තෑසියම තමයි. කහවල මිල ගණන් ඇහැව්වාම දෙවියො සිහි වෙනවා. ඒත් ඉතින් පරිප්පු, අල කිරි හොදි, කිරි කොස් මාළුවට කහ ඩිංගක් නැතුව කොහොමද? මස්, මාළු උයද්දි නියම රසයත්, සුවඳත් මතුකර ගන්න ඉඟුරු, සේර නැතිවම බැහැ. කිරි හොද්දට, පොල් සම්බෝලෙට, ලුණු මිරිසට දෙහි ඇඹුල් ටිකක් නැතිව මොන රසයක්ද?

හාල්, පොල්, එළවළු මිල ගණන් එක්ක අතේ තියෙන සොච්චම දියවෙලා යද්දි මේ කියන රසකාරක ටික ඉබේටම කැපිලා යනවා. කිසිම අපහසුවක් නැතුව මහල් නිවාස සංකීර්ණයක වුණත් වවා ගන්න හැකියාව තියෙද්දි ඇයි ලිස්ට් එකෙන් කපා හැරලා දුක් වෙන්නෙ. අවශ්‍ය කරන පහේ කළමනා ටික නැතිව උයන එක ගෘහණියකට මොන තරම් මානසික වධයක්ද කියලා ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍යතාවක් නැහැනෙ....

ඔය කිව්ව දෙවල් විතරක් නෙවෙයි, නඩත්තුවට කියලා වැඩි ආයාසයක් දරන්න අවශ්‍ය නැති,

* ගම්මිරිස් වැලක් දෙකක්

* කංකුන්

* මුකුණුවැන්න

* ගොටුකොළ

* නීරමුල්ලිය

* අබ

ආදිය ඉතා පහසුවෙන් බඳුන්ගතව වගා කරන්න පුළුවන්. මේවාට සාමාන්‍යයෙන් තරමක් විශාල පෝච්චි අවශ්‍ය වෙන නිසා එකක් රුපියල් දෙසිය ගණනේ පෝච්චි පහළොවක් ගත්තොත් රුපියල් තුන් දාහක් වියදම් වෙනවා. බොහොමයක් නිවාසවල ගොඩ ගැහෙන කිලෝ ග්‍රෑම් පහ - දහය හාල් කවර මෙම ගෙවතු වගාවට යොදා ගත්තාම අර රුපියල් තුන් දහස ඉතිරි වෙනවා. අඩිය පැළිලා පිළිකන්නෙ දිරාපත්වෙන ප්ලාස්ටික් බේසම් පලා වර්ග වගාවට වගේම බඳුන්ගතව වගා කෙරෙන ගම්මිරිස් වගාවටත් කදිමයි.

ගෙදර වියදම් අඩුකර ගන්න විතරක් නෙමෙයි ගෙවත්ත පිළිවෙළකට තියා ගැනීම තුළින් මානසික සුවය වගේම ඩෙංගු මාරයාගෙන් ආරක්ෂා වෙන්නත් පුළුවන්.

 

 

උපදෙස් - අජන්ත ජයසේකර