හෙද සිත් සසල කළ අනුවේදනීය කතාවක්

ප්‍රේම්නාත්!
මැයි 23, 2022
මැයි මස 12 වැනි දිනට යෙදී තිබුණු අන්තර්ජාතික හෙද දිනය වෙනුවෙන් ශ්‍රී ලාංකේය හෙදියනට උපහාර පිණිසයි. 
 

 

“මගේ පුතුට ඔහු සිය ජීවිත කාලය තුළ ඇඳි ලස්සනම ඇඳුම ඇන්ද වූවාට ඔබට ස්තූතියි. ඔහුට ඒ ඇඳුම අන්දා රජ කුමරකු ලෙසින් සරසා පිටත් කර හැරියාට ඔබට ස්තූතියි. මගේ දුප්පත් පුතු අවසන් වරට සිප ගන්නට මගේ බිරියට හැකි වූයේ ඔබ සියලුදෙනා නිසායි.” මේ මීට අවුරුදු හතකට පමණ පෙර රිජ්වේ ආර්යා ළමා රෝහලේ වාට්ටු අංක 05 හෙවත් ශල්‍ය මහාචාර්ය ඒකකය බාර හෙදි සොයුරිය ලෙස කටයුතු කළ කාලයේ මා අතට පත් ලිපියක සිංහල පරිවර්තනයයි.

 

මගේ රාජකාරි ජීවිතයේ මා වඩාත්ම සතුටින් සිටියේ හෙදි සොයුරියකව ඒ වාට්ටුවේ ගත කළ කාලයයි. රාජකාරි ජීවිතයේ මා දුටු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මා ගතිගුණවලින් පිරිපුන් රාජකාරිය දේවකාරිය ලෙස සැලකූ ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරුන් දෙෙදනා වන වෛද්‍ය රංජන් ඩයස් හා වෛද්‍ය මලික් සමරසිංහ යන ශල්‍ය වෛද්‍යවරුන් මට මුණ ගැසුණේ එම වාට්ටුවේ දී ය.

කෙතරම් කාර්යබහුල වුවද එකිනෙකා හා විහිළු තහළු කරමින් තම කාර්යයන් නොපිරිහෙලා ඉටුකළ, සතුටින් පිරුණු මුහුණු සහිත හෙදියන් සමූහයක් මට හමුවුයේ එම වාට්ටුවේ දී ය.

පැවරෙන කවර කර්තව්‍යයක් වුවද නෑ බෑ නොකියා ඉටුකළ සෞඛ්‍ය කාර්යය සහායක මහත්ම මහත්මීන් පිරිසක් මට හමු වූයේ ද එම වාට්ටුවේ දී ය.

වරින් වර වෙනස් වුවද අපගෙන් වෙන්වී වෙනත් රෝහල් කරා ගිය ද කොහේදී හෝ හමු වූ පසු සිනාසී කතාකර අඩුවක් නැතුව ළෙන්ගතුකම බෙදාගත හැකි වෛද්‍යවරු පිරිසක් මට හමු වූයේ ද එම වාට්ටුවේ දී ම ය.

ඉහත කී ලිපිය මා වෙත එවා තිබුණේ වාට්ටුවේ මාස හයක් එක දිගට නැවතී ප්‍රතිකාර ගත් කුඩා දරුවකුගේ පියකු විසිනි. ඒ කුඩා දරුවා නමින් ප්‍රේම්නාත් විය. කිළිනොච්චියෙන් ළමා රෝහල වෙත යොමු කර අප වාට්ටුවට පැමිණි පුංචි ප්‍රේම්නාත් වයස අවුරුදු හත අටක පිරිමි දරුවෙකි. ඔහුගේ කුස තුළ පැතිරී වැඩුණු පිළිකාවක් තිබුණු අතර රෝගය හඳුනා ගැනීමෙන් අනතුරුව ප්‍රේම්නාත් අපේක්ෂා රෝහලත්, ළමා රෝහලත් අතර ප්‍රතිකාර සඳහා මාස හයක් පමණ එහා මෙහා යැවිණි. පිළිකාව සඳහා අවශ්‍ය ප්‍රතිකාර අපේක්ෂා රෝහලෙන් ලබා දුන් අතර ශල්‍යකර්ම කටයුතු සිදුකෙරුණේ ළමා රෝහලිනි.

මේ කාලයේ රංජන් ඩයස් මහතා විදේශීය විශ්ව විද්‍යාලයක ඉගැන්වීමට ගොස් තිබූ නිසා නිතර රෝගීන් පිරී සිටි වාට්ටුවේ සියලු බර කර දැරුවේ මලික් සමරසිංහ මහතාය.

පුංචි ප්‍රේම්නාත් ව භාරව සිටියේ වෛද්‍ය මලික් සමරසිංහ මහතාය. ආහාර මාර්ගය ආශ්‍රිතව කෙරුණු ශල්‍යකර්ම දෙකකින් ප්‍රේම්නාත්ගේ උදර ප්‍රදේශයේ බාහිරට විවර වූ සිදුරු දෙකක් පැවතිණි. මළපහ පිට වූයේ එම සිදුරුවලිනි. කල්යත්ම එම සිදුරු විශාල වූ හෙයින් හා ඒවායින් පිටතට ගලා එන තරලය අපගේ සාමාන්‍ය ශල්‍ය සැරහුම්වලින් පාලනය කළ නොහැකි විය. එහෙයින් ප්‍රේම්නාත් සඳහාම විශාල, විශේෂිත සැරහුම් නිර්මාණය කළේ ජේ්‍යෂ්ඨ හෙදියක වූ මාලිනී පෙරේරා මෙනවියගේ අදහසකට අනුවය.

මේ පුංචි දරුවා තව වැඩි කාලයක් ජීවත් නොවන බව අප දැන සිටි නමුත් ඉස්තරම් ඖෂධ, හොඳම පෝෂණීය තරල මෙන්ම ඔහුගේ වේදනාව සමනය කළ හැකි හොඳම වේදනානාශක ඖෂධ ඔහුට ලබාදීමට වෛද්‍යවරයා කටයුතු කළේය. තම සිරුරෙන් එන දරාගත නොහැකි වූ දුර්ගන්ධය ඔහුට දැනෙන එක අඩු කිරීම සඳහා හැකි සෑම විටකම පුංචි ප්‍රේම්නාත් ව පිරිසුදු කොට තබාගැනීමට අපි උත්සුක වීමු. කටින් කෑම කෑමට හැකි දිනවල දී ඔහු ඉල්ලන විවිධ රසවත් කෑම කෙසේ හෝ ඔහු වෙත ලබා දුනිමු.

ප්‍රේම්නාත් වාට්ටුවේ නතර වී සිටි කාලය තුළ ඔහු හා රැඳී සිටියේ ඔහුගේ තාත්තාය. එම තාත්තා සතුව කිළිනොච්චි නගරයේ ඡායාරූප ශාලාවක් තිබුණි. එයින් ලැබෙන ආදායම ඔවුන්ගේ පවුලේ ජීවනෝපායන මාර්ගය විය. මේ ඡායාරූප ශාලාව පවත්වා ගැනීම සඳහා එම තාත්තට ඹ්ඊඊඡ් සංවිධානයට කප්පම් ලෙස තම පවුලේ වැඩිමහල් දියණිය යවන්නට සිදු වී තිබිණි. කොටි සංවිධානයට බැඳුණු සිය දියණිය ඉන්පසු කිසිදිනෙක ඔවුන්ට දැක ගන්නට ලැබී තිබුණේ නැත.

දරුවාගේ අම්මා එක්වරක් කිළිනොච්චියේ සිට දුරුකතර ගෙවාගෙන සිය පුතු බැලීමට පැමිණියාය. ඇයට දරුවා හා රැඳී සිටීමට නො හැකි වූයේ ඒ අසරණ ගැහැනිය දෙමළ හැර වෙනත් කිසිදු භාෂාවක් නොදැන සිටි නිසාය. එමෙන්ම ගෙදර සිටින අනෙකුත් දරුවන්ට උයාපිහා දී රැකබලා ගැනීම කළ යුතුව තිබුණේ ඇය ය. එදින අපි රෝහල් නීතියට පටහැනිව ප්‍රේම්නාත්ගේ අම්මාටත්, තාත්තාටත් දෙදෙනාටම පුතු සමඟ වාට්ටුවේ රැය ගත කිරීමට අවසර දුනිමු. ඒ ඔහු සිය මව්පියන්ට මැදිව ගත කළ අවසාන රාත්‍රියයි. පසුදා අම්මා නැවත ගම බලා පිටත්ව ගියේ හැඬූ කඳුළෙනි.

ඉන් මාස දෙකකට පසු එක් අඳුරු දිනයක හිමිදිරි

 

පාන්දර මේ පුංචි දරුවා සිය ජීවිත සටන අත්හැර දැමුවේය. මා උදෑසන වාට්ටුවට ආවිට ඉතා වෙහෙසකර මුහුණුවලින් යුතුව රාත්‍රී සේවයේ යෙදී සිටි හෙදියන් සැලකර හිටියේ කුඩා ප්‍රේම්නාත් මියගිය පුවතයි. මා දුටු ප්‍රේම්නාත් ගේ තාත්තා හඬා වැටෙමින් පවසා සිටියේ කෙසේ හෝ "මට මගේ පුතාව කිළිනොච්චියට අරගෙන යන්නට ඉඩ සලස්වන්න" යැයි කියාය.

දැඩි ආර්ථික දුෂ්කරතා ඇති මව්පියන්ගේ දරුවන් මියගියවිට ඔවුන්ගේ අවසන් කටයුතු රෝහල මඟින් කරන ක්‍රමවේදයක් තිබේ. එහෙත් එසේ අවසන් කටයුතු කරද්දී එය සිදුකළ යුතු වන්නේ රෝහලට ආසන්නතම කනත්තකය.

නමුත් දරුවාගේ තාත්තාට ඔහුව සිය ගම බලා රැගෙන යාමට අවශ්‍යව තිබේ. දරුවාගේ අම්මාට හා අනෙකුත් සහෝදර සහෝදරියන්ට තම බාල සහෝදරයා දැකබලා ගැනීමට ඉඩ සැලසිය යුතු බව මේ තාත්තා හඬා වැටෙමින් පැවසුවේය. මම පඹගාලක පැටලී සිටියෙමි.

කුඩා මළ සිරුර මෝචරියට යැවීමට තවත් කාලය ඉතිරිව තිබුණි. හිමිදිරි උදෑසන මිය ගිය නිසා දරුවාව උදෑසන සෝදා පවිත්‍ර කිරීමට නොහැකි වූ බව පැවසූ හෙදියන් දෙදෙනකු වන මහේෂි හා මනුරි කුඩා මළ සිරුර සෝදා පිරිසුදු කොට නිල් පැහැ ඉරි වැටුණු අලුත්ම සරමක් ඇන්ද වූහ. මගේ මතකය නිවැරැදි නම් එකල මනුරි තම ප්‍රථම දරු ප්‍රසූතිය සඳහා සූදානම් වෙමින් සිටි කාලයයි.

මේ කුඩා මළ සිරුර එම්බාම් නොකර කෙසේවත් කිළිනොච්චිය වැනි දුරකට ප්‍රවාහනය කළ නො හැකි බව අපි දැන සිටියෙමු. “සිස්ටර් අපි කලෙක්ෂන් එකක් දාලා මේක කරමු” මගේ හෙද කණ්ඩායම සමඟ කතා කිරීමෙන් පසු ඔවුන් මට දුන් පිළිතුරයි ඒ.

ඉන්පසු වාට්ටුවේ සේවක මහතුන් දෙදෙනකු වූ අජිත් සහ ෆයිසාල් ට කතා කර ඔවුන් දෙදෙනාට පවසා සිටියේ මේ අවට ඇති මල් ශාලාවලට ගොස් කිළිනොච්චියට යැවිය යුතු මළ සිරුරක කටයුතු සහ ප්‍රවාහනය සඳහා යන මුදල් පිළිබඳ තක්සේරුවක් ලබාගෙන එන ලෙසයි." සිස්ටර් නෝනා පොඩ්ඩක් ප්‍රේමතිලක අයියගෙන් අහන්න" ඔවුන් දෙදෙනා මට පවසා සිටියහ. ප්‍රේමතිලක යනු අප රෝහලේ මෝචරිය භාරව කටයුතු කළ සේවක මහතායි. රෝහලෙන් කෙරෙන අවමඟුල් කටයුතු සඳහා මැදිහත් වන හෙයින් ඔහු මල්ශාලා හිමියන් ගැන දැන සිටියේය. මෝචරිය අමතා ප්‍රේමතිලක මහතාට කතා කිරීමෙන් අනතුරුව ඔහු දුරකථන අංකයක් ලබාදුන් අතර එම අංකය ලබාගත්තේ ප්‍රේමතිලකගෙන් බව පවසන්න යැයි ද කියා සිටියේය. මම ඔහු කියූ අංකයට දුරකථන ඇමතුමක් ලබා ගතිමි. මා කවුදැයි හඳුන්වා දුන් පසුව මෙම රෝගී දරුවාගේ පියාගේ අසරණභාවය නිසා අවසන් කටයුතු සිදු කිරීම කරන්නේ අපගේ වියදමින් බවත් එබැවින් ප්‍රවාහනය ඇතුළු සියලු කටයුතු සඳහා සාධාරණ මිලක් ලබාදෙන ලෙසත් මල්ශාලා හිමියාට දන්වා සිටියෙමි. මා කියූ කතාව සාවධානව අසා සිටි ඔහු එක්වරම "සිස්ටර් නෝනා" යැයි පැවසුවේය. සාමාන්‍යයෙන් අපව සිස්ටර් නෝනා යැයි අමතන්නේ රෝහල් සේවකයන් විසිනි. ඔවුන් තුළ අප කෙරෙහි ඇති ආදර ගෞරවය එම ආමන්ත්‍රණය තුළ කැටිවී පවතී. තමා මල්ශාලා හිමියකු වුවද මහ රෝහලේ සේවකයකු බව පැවසූ ඔහු, තමාත් දරුවන් සිටින පියකු බැවින් හා මා මේකට මෙච්චර මහන්සි වන නිසා තමා ගාණේ එම්බාම් එක උපරිම හොඳින් නොමිලේ කර දෙන බවට පොරොන්දු විය. නමුත් ප්‍රවාහන ගාස්තු, ඇඳුම් සහ පෙට්ටියට යන මුදල සපයා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටියේ ය. ප්‍රවාහන ගාස්තු සඳහා රුපියල් විසිපන්දාහක පමණ මුදලක් වැය වෙන බවත් පෙට්ටියට සහ ඇඳුම්වලට රුපියල් 10000ත් 15,000ත් අතර ප්‍රමාණයක් වැය විය හැකි බවත් ඔහු පවසා සිටියේය. ඔහුට ස්තූති කොට දුරකථනය තැබූ මා ‍ දරුවාගේ හදිසි අවශ්‍යතාවල දී ඔහුව බැලීමට පැමිණි විශේෂ අවශ්‍යතා ඇත්නම් දන්වන ලෙසට අපට පවසා තිබූ කන්‍යාරාමයක කන්‍යා සොයුරියන් ඇමතිමි. කුඩා දරුවා මිය ගිය බවත් ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා ගමට යැවීමට ප්‍රථම අනෙකුත් වැඩ කටයුතු කිරීමේ අවශ්‍යතාව ඔවුන්ට පවසා සිටියෙමි. දේහයට අවශ්‍ය ඇඳුම් පැලඳුම් සහ දෙනට යන වියදම දැරීමට කන්‍යා සොයුරියන් එකඟ වූහ. මල් ශාලාවේ නම සහ දුරකථන අංකය ඔවුන්ට ලබාදුන් මම අදාළ ගෙවීම් එතැනට ගොස් කරන මෙන් ඉල්ලා සිටියෙමි.

දැන් කටයුතු තුනක් හමාරය. ඒ එම්බාම් එක, ඇඳුම් පැලඳුම් සහ මිනී පෙට්ටියයි. ඉතිරිව ඇත්තේ ප්‍රවාහන ගාස්තුව පමණි.

උදෑසන 8.30 ට පමණ රෝගීන් පරීක්ෂාව සඳහා මලික් සමරසිංහ මහතා පැමිණි අතර අපි මරණයේ පුවත එතුමාට සැලකර සිටියෙමු. දරුවාගේ තාත්තා පැමිණ ප්‍රධාන වෛද්‍යවරයාගේ දෑතින් අල්ලා හඬා වැටෙමින් සිය දුක පැවසූ අතර තාත්තාව සනසවමින් වෛද්‍යවරයා එම පියාගේ දුක බෙදා ගත්තේය. දරුවාගේ තාත්තාගේ අවශ්‍යතාවත් ඒ උදෙසා මා විසින් මේ වනවිට සූදානම් කරගත් කර්තව්‍යයන්ගේ විස්තරත් පවසා සිටීමෙන් අනතුරුව සම්පූර්ණ කරගැනීමට ඉතිරි වී තිබෙන කාර්යය වූ ප්‍රවාහන බරපැන ගැන ද ප්‍රධාන වෛද්‍යවරයාට දන්වා සිටියෙමි. වාට්ටු රවුම අවසන්ව වාට්ටුවෙන් පිට වී ගිය ප්‍රධාන වෛද්‍යවරයා නැවතත් සුළු වේලාවකට පසුව වාට්ටුවට පැමිණ මා අත යමක් තැබීය. පුංචි ප්‍රේම්නාත් ව ගෙදර යැවීමට අවශ්‍යව තිබූ රුපියල් 25,000 ක මුදල එහි තිබිණි.

තවත් හෙදියන් දෙදෙනකු ද සමඟ මුදල් ද අතැතිව මෝචරියට ගිය මා මල් ශාලාවෙන් පැමිණි සේවකයන්ගේ අතට ප්‍රවාහනය සඳහා අවශ්‍ය වූ මුදල ලබා දුනිමි. අප විසින් එකතු කරන ලද අනෙකුත් මුදල තාත්තාගේ අත තැබුවේ තවත් යමකට අවශ්‍ය වුවහොත් වියදම් කරන ලෙස පවසමිනි. මෝචරිය ඉදිරියේ කොරිඩෝවේ මා අසල දණින් වැටුණු ඔහු මගේ දෑත් අල්ලා පවසා සිටියේ සිංහල මිනිසුන් මේ තරම් හොඳ බව ඔහු කවර කලකවත් නොසිතූ බවයි. කොටි සෙබළියකගේ පියකු වූ ඔහු ඒ බව පවසා සිටියේ වාර්ගික යුද්ධයෙන් දරුණු ලෙස බැට කෑ, අදටත් බැට කන යුද හමුදා නිලධාරියකුගේ බිරියකට බව ඔහු දැන සිටියේ නැත.

කෙසේ වුවද අප සැම එක්ව අම්මා කෙනකුට තම පුතුට අවසන් හාදුව ලබාදීමට ඇයගේ දෑතේ උණුසුමින් ඒ පුංචි පුතුව අවසන් වරට උණුසුම් කිරීමට මඟ පාදා දුනිමු. තමා කෙළිදෙලින් දුවපැන ගිය බිමේ අවසන් නින්ද නිදාගැනීමට අපි ප්‍රේම්නාත් ව පිටත්කර හැරියෙමු.

මම අදටත් වාට්ටු අංක 5ටත් එම මතකයන්ටත් ආදරය කරමි.

(නම් ගම් ද ඇතුළුව සියල්ල සත්‍යය)

 

 

ලක්මාලි ධර්මවංශ

විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනි

රිජ්වේ ආර්යා ළමා රෝහල