විශ්වය ගැන විස්මිත දේ කියා ලෝකයම කතාකරන පොඩි වැඩ්ඩා

ඇසල බෝනුක
ජූලි 3, 2023

පුතාට දැන් වයස අවුරුදු 4යි මාස 11යි. හැබැයි එයාට අවුරුදු එකහමාර වෙද්දි  හොඳටම කතා කරන්න පුළුවන්. ඒ වෙද්දි එයාට ඉංග්‍රීසි හෝඩිය කටපාඩමින් කියන්න පුළුවන්.

 

පොඩ්ඩෝ වැඩ්ඩෝ කියලා අපි අහලා තිබ්බට මේ පොඩ්ඩා වැඩ්ඩෙක් කියලා අපි දැක්කේ හිරු ටීවි පොඩි වැඩ්ඩෝ ප්‍රෝග්‍රෑම් එකේදී. මේ කියන පොඩි වැඩ්ඩා ලංකාවෙ විතරක් නෙවෙයි මුළු ලෝකයේම සිංහල භාෂාව කතා කරන මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ගේ අවධානයට පත් වුණා. හැබැයි එයා ඒ ලෝකෙම අවධානයට පත් වුණේ ලෝකය ගැන විතරක් නෙවෙයි විශ්වය ගැනම කතා කරලා. විශ්වය ගැනම කතා කරපු විශ්මජනක ඇසල බෝනුක ශ්‍රී වාසල හේරත් පුතා අපිත් එක්ක දැන් ඉන්නවා.

 

ඉතිං කොහොමද පුංචි පුතේ...

 

“හොඳයි.“

 

ඔයා කොහොමද මේ වාගේ බරසාර ගැඹුරු දේවල් ගැන මුලින්ම දැනගත්තෙ.

 

“මං පුංචි කාලේ ඉඳන්ම දන්නවා.“

 

එයා එහෙම කිව්වට එතැනින් නවතින්න අමාරුයි.

අපි බෝනුකගේ අප්පච්චි ගිම්හාන් රන්දුල ශ්‍රී වාසල හේරත් එක්ක කතා කරන්නේ පුංචි පුතාගේ දස්කම් ගැනයි.

 

“පුතා ඒකාලේ ඉඳන්ම මහපොළව ගැන, අහස,  ඉර, හඳ ගැන, ග්‍රහලෝක ගැන, සාගර ගැන කතාකරමින් හිටියා. හැබැයි අපි කවදාවත් හිතුවේ නැහැ මේ වයසට පුතා මෙච්චර දේවල් ගැන ඉගෙන ගනියි කියලා.ඉතින් පුතා මේ අහන දේවල්වලට උත්තර දෙන්න මට අමාරු නිසා මං පොත් අරගෙන කියවලා ඉගෙන ගත්තා. ඉතින් පුතා හින්දම සමහර දේවල් ගැන අපිත් දැන් දැනුම්වත්. මොකද එයා අහන ප්‍රශ්න ගොඩක් ගැඹුරුයි.“

 

පුතා මේ දේවල් අහන්න ගත්තෙ කොයි කාලෙද?

 

“අවුරුදු තුනහමාරේ වගේ ඉඳන් පුතා මේ දේවල් ගැන උනන්දුයි. එයා සාමාන්‍යයෙන් හැම දෙයක් වගේ ගැනම අහනවා. ඉතින් මං මට පුළුවන් විදිහට හැමදේම කියලා දුන්නා.

එයා සාමාන්‍යයෙන් දෙයක් ඇහුවාම ටිකක් කාලයක් ගියාම ඒ දේ ගැන අහන එක අමතක කරනවා. නමුත් ඉර, හඳ, තරු, අභ්‍යවකාශය වගේ දේවල් ගැන හැමදාම වගේ අහන්න ගත්තා. ඉතින් අභ්‍යවකාශය ගැන මට ලොකු දැනුමක් නැති නිසා මම පොත් ගෙනැල්ලා කියවලා එයාට ඒ දේවල් ගැන කියලා දුන්නා. දැන් එයා තමන් විසින්ම ඉගෙන ගන්නවා.“

අනෙක් ළමයින්ට සාපේක්ෂව එයාගේ හැසිරීම් රටාව කොයි වගේ ද?

“පුතාට දැන් වයස අවුරුදු 4යි මාස 11යි. හැබැයි එයාට අවුරුදු එකහමාර වෙද්දි  හොඳටම කතා කරන්න පුළුවන්. ඒ වෙද්දි එයාට ඉංග්‍රීසි හෝඩිය කටපාඩමින් කියන්න පුළුවන්. ජනාධිපති කවුද, සෞඛ්‍ය අධ්‍යක්ෂක කවුද කියලා ඇහුවාම එයාට කියන්න පුළුවන්. එයාගේ තියෙන සුවිශේෂත්වය තමයි එයාට දෙයක් ගැන එක පාරක් කිව්වම එයා ඒක හොඳට ඔළුවට ගන්නවා. ඉතින් ඒ දේ ගැන ආයේ කියලා දෙන්න අවශ්‍ය නැහැ. අවුරුදු 3 වෙද්දි එයා අනෙක් ළමයින්ට වැඩිය ගොඩක් ඉගෙන ගත්තා. ඉතින් දැනුමෙන් අනෙක් ළමයින්ට වඩා ඉදිරියෙන් ඉන්න බවක් පේනවා. පුතා වමතින් ලියන කෙනෙක්. හැබැයි එයාගේ එක විශේෂත්වයක් තියෙනවා එයා අකුරු සහ ඉලක්කම් ලියන්නේ අනෙක් පැත්තට.“

එයා වැඩියෙන්ම සෙල්ලම් කරන්න ආස මොනවත් එක්ක ද?

හුඳකලාව වැඩක් කරන්න තමයි. ඒ විතරක් නෙවෙයි හොඳට නටන්නත් පුළුවන්.“

එයාගෙ නම දැම්මේ කොහොම ද. ඇයි එහෙම නමක් දැම්මෙ.

මෙයා ඉපදුණේ 2018 ඇසළ පෝය දවසේ. මම ඇසල නම තිබ්බෙත් ඒකයි. අරිසෙන් අහුබුදු සූරීන්ගෙන් තමයි නම තිබ්බේ නම්. එයාලා දුන්නේ අසල් කියන නම. ඉපදුනෙන් ඇසළ පෝය දවසේ නිසා අසල්, ඇසළ කළා. බෝනුක කියන්නේ බොහෝ නුවන් ඇති කියන එක.  අපි එහෙම නමක් දැම්මේ මෙයාගේ මේ හැකියාව ගැන දැනගෙන නෙවෙයි.“

 

මෙයාගෙ කේන්දර බලලා තියෙනවද ඔයාලා ඒ දේවල් විශ්වාස කරනවද?

 

“කේන්දරේ තිබුණා මෙයා බොහෝ නුවණ තියෙන කෙනෙක්. පරිස්සම් කරගන්න කියලා. මම කේන්දර ලොකුවට විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. හැබැයි එයාගේ කේන්දරේ තිබුණා එයා දවසක හොඳ තැනකට යනවා. හැබැයි එයා ඒ යන්නේ තනියම නෙවෙයි නංගිවත් එක්කගෙන කියලා.“

 

 

සමහර අය මේ සිදුවීමත් සමඟ පෙර භවය ගැන කතා කරනවා. ඔයාලා පෙර භවයක් ගැන විශ්වාස කරනවද. එහෙම එකක් ගැන දැනෙනව ද?

 

මම නම් එහෙම දෙයක් ගැන විශ්වාස කරන්නේ නැහැ. නමුත් දැන් පාරෙදි හරි කවුරුහරි දැක්කොත් අහනවා ඔයාට මේ දේවල් මතක් වෙනවාද.. වගේ පෙර භවයක් ගැන දේවල් දන්නවද කියලා කට්ටිය අහන්න හදනවා. නමුත් එයා එහෙම දේවල් දන්නේ නැහැ.

 

එයාට මේක හැකියාවෙන් පිහිටපු දෙයක්. එයාට හැමදෙයක් ගැනම කුතුහලයක් සහ ආසාවක් තියෙන්නේ. ඒ දේවල් එයා හොයලා බලන නිසා එයාට ඒ හැකියාව ලැබෙනවා. ඒ විදිහට තමයි එයා සංකීර්ණ දේවල් ඔළුවට දාගත්තේ. අනිත් එක එයා හැම දෙයක්ම කියන්නේ විද්‍යාත්මක නම්වලින්.

 

එයාගෙ පාසල මොකක් ද?

එයා යන්නේ කැන්ඩියන් ඉන්ටර්නැෂනල් ස්කූල් එකට. එයාව පෙර පාසල් යැව්වේ අවුරුදු තුනෙන්. හතරවැනි අවුරුද්දෙදි තමයි අකුරු උගන්වන්නේ. එක අකුරට වචන පහ බැගින් තියෙනවා. ඒක අවුරුද්දම උගන්නනවා. හැබැයි පුතා ඒ ටික සතියෙන් ඉගෙන ගත්තා. ඉතිං ටීචර්ස්ලත් කියනවා එයා අහන සමහර දේවල්වලට අපි ළඟත් උත්තර නැහැ. එයා ඒ තරමට ගැඹුරු දේවල් අහන්නේ කියලා.  ටීචර්ස්ලා කියන්නේ එයා හරි නිශ්ශබ්ද චරිතයක් නිසා එයත් එක්ක වැඩකරන්න පහසුයි කියල. ටීචර් කියන්නේ පන්තියේ ඉන්න අහිංසකම ළමයා මෙයා කියලයි. හරිම සංවේදී. මම පොඩ්ඩක් හරි සැරෙන් කතා කළොත් අඬනවා. හැබැයි හොඳ තේරුම් ගැනීමක් තියෙන ළමයෙක්.

 

කවුද එයාගේ හොඳම යාළුවා..

එයාගේ හොඳම යාළුවා ගැහුනු ළමයෙක්. සහේළි. පන්තියේ එකටමයි ඉන්නේ. තව මෙතුන් කියලත් යාළුවෙක් ඉන්නවා.

 

එයා කන්න කැමැති මොනවද?

“ඇත්තටම එයාගේ පෝෂණය ගැන නම් කතා කරන්නම ඕනේ. එයාට දුන්නේ ඔක්කොම ගෙවත්තේ හදපු එළවළු, පලතුරු. කිසිම දෙයක් කඩෙන් ගත්තේ නැහැ අපි. හැමදේම වැව්වා. බිත්තර වුණත් එවේලේ කිකිළි දාපු බිත්තර දුන්නේ. නැවුම් කිරි විතරයි දුන්නේ. අපිට නිකමට හිතෙනවා මේ පෝෂණයත් මෙයාගේ දැනුම වර්ධනය වෙන්න හේතුවක් වෙන්න ඇති කියලා.  හැබැයි ඉතින් එයා කන්න කැමැති මොනවද කියලා ඇහුවොත් කියන්නේ ජෙලි, බිත්තර තමයි. එයාගේ කෑම එකට

 

බිත්තරයක් තියෙන්නම ඕනේ.“

නුවර කියන්නේ ලස්සන පළාතක්. එය සොබාදහමත් එක්ක තියෙන බැඳීම කොහොම ද?

එයා ගස්වැල්වලට හරි ආදරෙයි. එයා හරි ආසයි මල් තියෙන තැන්වල ගොඩක් වෙලා ඉන්න. ඒ නිසා අපි පේරාදෙණිය උද්භිද උද්‍යානයට එයාව නිතරම එක්කගෙන යනවා. සත්තුන්ටත් හරි ආදරෙයි. එයාට ඕනේ විවෘත තැන්වල ඉන්න.“

 

මොකක්ද එයාගේ අනාගත බලාපොරොත්තුව කියලා කියන්නේ...

“එයා හැම වෙලාවෙම කියන්නේ මම මේ ඉගෙන ගන්න දේ මට හැබැහින් දකින්න ඕනෙ. මට මේකේ ඇත්ත නැත්ත දකින්න ඕනේ. කවදාහරි අභ්‍යවකාශය බලන්න ඕනේ කියලා. එයා දැනටත් කියනව අප්පච්චි අපි කොහොමද නාසා එකට යන්නේ..

නාසා එකට යන්න අපි මොනවද කරන්න ඕනේ කියලා.

ඉගෙන ගත්තොත් තමයි යන්න පුළුවන් වෙන්නේ කියලා තමයි අපි එයාගේ පෙර පාසලේ වැඩ ටික කරවන්නේ.

 

අප්පච්චිගෙයි පුතාගෙයි තියෙන බැඳීම මොනවගේ ද?

ගොඩක් සමීපයි. රෑට නිදාගන්න ගියත් මම ටිකක් හරි ළඟ ඉන්න ඕනේ. එයා ගොඩක් දේවල් ඉගෙන ගන්නේ මගෙන් නිසා ඒ බැඳීම තවත් වැඩියි. මම ඩෙවෝන් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන ඉංජිනේරුවරයෙක් විදිහට සේවය කරනවා. ඉතිං මං කොතරම් කාර්යබහුල වුවත් පුතා වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්නයි නිතරම උත්සාහ කරන්නේ.

 

මේ පොඩ්ඩා අම්මත් එක්කත් ඒ වගේම සමීපයි ද?

“අම්මත් එක්කත් සමීපයි. ඒත් අම්මා ගොඩක් සමීප දුවට. මොකද එයාට තාම අවුරුදු එකහමාරයිනේ. දුව තිනුලි බිහන්සා. පුතා නංගිට හරි ආදරෙයි. බිරිය නුවර ජාතික රෝහලේ හෙදියක් ලෙස සේවය කරනවා. ඇය හෂානි වාසනා පතිනායක. හෙදියක් කියන්නෙත් කාර්යබහුල රැකියාවක්. ඒ කොහොම වුවත් මවකගෙන් සහ බිරියකගෙන් ඉටුවිය යුතු සියලු දේ ඉතා සතුටෙන් ආදරෙන් කරනවා.“

 

පුතාගෙ මේ විස්මිත දැනුම නිසාද පොඩි වැඩ්ඩො වගේ වැඩසටහනකට යන්න හිතුවේ...

“බබා ඉංග්‍රීසි, ස්විමින් සහ චෙස්වලට ක්ලාස් යනවා. ඒ ගිහින් ඇවිත් බිරියගේ රාජකාරී ඉවරවෙනකම් එයත් එක්ක ඉන්නවා. එතකොට හොස්පිටල් එකේ ඉන්න ඩොක්ටර්ස්ලා නර්ස්ලා පුතා කියන දේවල් අහන් ඉඳලා එයාලා කියලා තිබුණා මෙහෙම පොඩි වැඩ්ඩෝ කියලා එකක් තියෙනවා. ඒකට යවන්න කියල. ඒත් අපි ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. නුවර කෝස් එකක් තියනවා පබ්ලික් ස්පීච් කියලා. එකෙදි කරන්නේ පිරිසක් ඉදිරියේදී කතා කරන එක. මං ඒකට පුතාව දැම්මා. එකේදී පළමු ලෙවල් එක සමත් වෙන්න ප්‍රසිද්ධියේ ස්පීච් එකක් කරන්න ඕනේ. මෙයා ඒක කළා. ඒක දැකපු කෙනෙක් හිරු එකට කතා කරලා කියලා තියෙනවා මෙහෙම දරුවෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ මට ගිහාන් ප්‍රනාන්දු කතා කළා. මම මුලින් බැහැ කිව්වා. පස්සේ තමයි වැඩසටහනට සම්බන්ධ වුණේ.“ හිරු ආයතනයේ පොඩි වැඩ්ඩෝ වැඩසටහන නිසයි පුතාට මෙවැනි වටිනාකමක් ලැබුණේ. ඉතිං මම හිරු ආයතනයට ස්තූතිවන්ත වෙනවා.

 

වැඩසටහනෙන් පස්සෙ ලැබුණු ප්‍රතිචාර කොහොම ද?

“ප්‍රතිචාර නම් සෑහෙන හොඳයි. පාරේවත් කාටවත් පේන්නේ නැතුව යන්න බැරි තත්ත්වයකට තරම් ප්‍රතිචාර ලැබෙනවා. මම සේවය කරන තැන වගේම බිරිය සේවය කරන රෝහලේ අයගෙනුත් ප්‍රශංසා ලැබෙනවා.“

 

පුතාගේ මේ හැකියාවත් එක්ක ඉස්සරහට මොකක්ද කරන්න හිතන් ඉන්නේ..

“මෙයාට යන්න ඕනෙ මාර්ගය පෙන්වන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒක තමයි ලොකුම දේ. මට ඒ වෙනුවෙන් වියදම් කරන්නත් පුළුවන්. මොකද මේ විෂයය ගැන අපිත් දැනුම්වත් නැහැ. ඉතින් මේ ගැන හරියට දැනුම තියන කෙනෙක් ඉදිරිපත් වෙනවානම් මෙයා පොඩි වයසෙන්ම එයාගේ මාර්ගය ඔස්සේ යයි. මොකද මෙයාගේ දැනුම තියෙන්නේ සීසීකඩ. එයාගේ ඒ දැනුම හරි තැනකට කේන්ද්‍රකරගෙන හරි මාර්ගය ඔස්සේ ගමන් කරවන්නයි මට අවශ්‍ය. දැනට වෛද්‍යවරු කිහිප දෙනක් සහ අභ්‍යවකාශ විද්‍යාව සම්බන්ධ කිහිප දෙනෙක් මෙයත් එක්ක කළා. එයාලා කියන්නේ මෙයා නීරීක්ෂණ විද්‍යාවට වඩා වැඩි නැඹුරුවක් තියෙන්නේ අභ්‍යවකාශ විද්‍යාවට කියලයි. ඒ පැත්තෙන් මෙයාට දැනුම ලබා ගන්න මාර්ගයක් තියෙනවානම් ඒක ලොකු දෙයක්.“

 

මෙවැනි පුතෙක්ගේ පියෙක් වීම ගැන මොකද හිතෙන්නේ..?

“එයා ලැබෙන්න ඉන්න දවස්වල ඉඳන්ම මම හරි ආඩම්බරෙන් හිටියේ. පළවෙනි හේතුව එයා කොල්ලෙක් නිසා. අනිත් එක මෙයාගේ හැකියාව නිසා. තේරුම් ගැනීමේ හැකියාව අතින් එයා උපරිමයි. ඊට වඩා මට ආඩම්බරයි මෙයා දැන් ලංකාවම දන්න කෙනෙක් නිසා. ඒක මට අභිමානයක්.