මහමෙරක් බර දරන් අලුත් ලොවකට පිය මනින දිරිය දියණී

ඔක්තෝබර් 23, 2023

මෙලොව උපත ලබන සෑම දරුවකුගේම මවට ඇත්තේ දරුවා පිළිබඳ අසීමිත බලාපොරොත්තුවකි. එසේ දහසක් පැතුම් බලාපොරොත්තු මැද උපන් දරුවා උපන් ගෙයිම ආබාධිතයකුවීම මවකට දැරිය නොහැකි වේදනාවකි. මෙලෙසින් උපන් දරුවකු රැක බලා ගැනීම පිළිබඳ මවුපියන්ට පැවරෙන වගකීම ද සුළු පටු නොවනු ඇත. අනාගතය පිළිබඳ කිසිම සුබවාදී බලාපොරොත්තුවක් නොමැති මෙවැනි දරුවකු නැවත ඉපදී ලෝකයක් බබළවයි නම් එය කෙතරම් ආශ්චර්යක් ද?

රාගම තේවත්තේ දිල්කි උමේෂිකා ප්‍රනාන්දු මෙලෙසින් නැවත උපන් දරුවෙකි. වයස අවුරුදු 30ක් වන ඇය මේ වසරේදී ෆැරා ආසියානු තරඟාවලියේ යගුලිය විසිකිරීමේ තරගය සඳහා සහභාගී වන පළමු ශ්‍රී ලාංකීක තරගකාරිය ලෙසින් ඉතිහාසගත වෙයි. ඉතාම අසීරු වූ අමිහිරි කාල පරාසයක් පසුකරමින් ඇය මේ තරඟයට සහභාගීවීම දක්වා ආ ගමන ඉතාම දුෂ්කරය. උපතින්ම අඩු බුද්ධි වර්ධනයක් පෙන්නුම් කළ දිල්කිගේ ඉදිරි අනාගතය පිළිබඳ ඇයගේ මවට තිබුණේ විශාල බියකි. කුලුඳුල් දරුවා ලෙසින් උපත ලබන දිල්කිගේ මව වජිරා රමණී ඇන්තනීට සහ පියා එච්.ඒ.ජේ. ප්‍රනාන්දු යුවළට ඉතිරිව තිබුණේ දෙවියන් යැදීම පමණකි.

දහස් වරක් හඬා වැටෙන ඔවුන්ගේ කඳුළු දෙවියන් විසින් පිසදා දිල්කි පිළිබඳ නැවුම් බලාපොරොත්තු දැල්වූයේ විශේෂ අධ්‍යාපනය ලබාදෙන රාගම කනිෂ්ඨ විද්‍යාලයයි. මෙලෙසින් නැවත ජීවිතය ලැබු දිල්කි ජාත්‍යන්තරය දක්වා රැගෙන ආ ගමන ගැන ඇයගේ මව අපට හෙළි කළේ හැඟුම්බර අභිමානයෙනි.

“දිල්කි දුව උපදිනකොටම අපට ලොකු බලාපොරොත්තුවක් තිබුණා. නමුත් උපතේදී ඇති වුණු ගැටලුවක් නිසා බුද්ධි වර්ධනයේ ගැටලුවක් ඇති වුණා. අපි දරුවා පුළුවන් විදිහට රැක බලා ගන්නවා කියන අධිෂ්ඨානයෙන් මුලින්ම දරුවා විශේෂ අධ්‍යාපනය ලබාදෙන රාගම කනිෂ්ට විද්‍යාලයට ඇතුළත් කළා. එහිදී දරුවාගේ බුද්ධිය යම් මට්ටමකට ගෙන එන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි මෙයාගේ විශේෂ කුසලතාවය ගැන වැඩි අවධානයක් යොමු කළා. එයා බුද්ධිය අඩු වුණාට ශාරීරිකව හොඳින් වැඩුණු දරුවෙක්. ඒ නිසා 2002 වසරේදී මුලින්ම මලල ක්‍රීඩා සඳහා යොමු කරන්න හැකි වුණා. එයා මුලින්ම සහභාගි වුණේ චීනයේ පැවැති විශේෂ ඔලිම්පික් තරගයට. ඒ තරගයෙන් දුව දෙවැනි ස්ථානය ලබා ගත්තා. ඉන් පසුව 2013දී ශ්‍රීසියේ විශේෂ ආබාධිත දරුවන්ගේ තරගයකට සහභාගී වුණා. දුර පැනීම සඳහා සහභාගි වුණු අපේ දුව තුන්වැනි ස්ථානය ලබාගත්තා. 2015 නැවතත් අමෙරිකාවේදී විශේෂ ඔලිම්පික් තරගයකට සහභාගී වී රන් පදක්කම් දිනාගන්න පුළුවන් වුණා. ඒ මීටර් 400 ධාවන තරගයට සහභාගී වෙලා. දිල්කි දුව 2019 විශේෂ තරගයකට සහභාගි වුණා. ඒ ෆැරා Globle තරගය. එහිදී දුව සංධිස්ථානයක් සටහන් කරයි. ඒ මේ වසරේ ඔක්තෝබර් 16 දා ආරම්භ වන ෆැරා ආසියානු තරගාවලියයි. මේ තරඟාවලියේ යගුලිය විසි කිරීම තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන දිල්කිගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ජාතික පුහුණුකරු රෝහිත ප්‍රනාන්දු මහතාය. මේ තරගය සඳහා සහභාගිවීමට ඇයට පූර්ණ අනුග්‍රහය දක්වන්නේ මාකොළ ‘සෙනෙහසේ නවාතැන‘ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයයි. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා පුහුණු අධ්‍යාපනය ලබා දෙන මේ ආයතනය විසින් මෙවැනි විශේෂ ආබාධිත දරුවන් සඳහා වෘත්තීය පුහුණුවක් හා අධ්‍යාපනයක් ලබාදෙන ආයතයකි. එම ආයතනය විසින් ඇයට දක්වන අනුග්‍රාහක තිළිණය පිරිනැමීම පසුගිය දා සිදු වූ අතර එම අවස්ථාවට එම ආයතනයේ පුහුණු උපදේශිකා අනුරාධ අමරසිංහ මහත්මිය සහභාගී වූවාය.

 

 

ඡායාරූප - විමල් කරුණාතිලක