ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

නොවැම්බර් 13, 2023

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා භූමිකාව තවමත් අවම මට්ටමක පවතියි. අවසන් සංගණනයට අනුව මෙරට ජන සංඛ්‍යාවෙන් 51.6%ක් කාන්තාවන් ය. 48.8%ක් පිරිමින් ය. එසේ වුව ද නිදහස ලබා ගැනීමෙන් පසුව මුල්ම පාර්ලිමේන්තුවේ 102ක් වූ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් කාන්තාවන් සිටියේ 03ක් පමණි. වර්තමාන පාර්ලිමේන්තුවේ 225න් 12කි. 2016 වර්ෂයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය අනිවාර්ය වන ආකාරයට නීතිමය විධිවිධාන සකස් කරන ලදි. ඒ අනුව සෑම පළාත් පාලන ආයතනයක් සඳහා 25%ක් කාන්තා නියෝජනය අනිවාර්ය බවට රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නීති සම්මත විය. කාන්තා නියෝජනය අනිවාර්ය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම නීතිය මෙය වේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිම සඳහාත් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරිම සඳහාත් කාන්තාවන් වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවට සහ අනෙකුත් ආයතන නියෝජනය කිරිම සඳහා පෙරට පැමිණීම කාලීන අවශ්‍යතාවයකි. ශ්‍රී ලංකා දේශපාලනය තුළ කාන්තා නියෝජනය ප්‍රවර්ධනය සහ දිරිමත් කිරීම අරමුණු කරගත් ලිපි මාලාවක අටවැන්නයි මේ.

 

මෙරට දේශපාලනය තුළ නොමැකෙන චරිත දෙකක් වූ එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දෙවැනි දියණිය වශයෙන් ඉපිද විටෙක සිය මවුපියන්ගෙන් ලද දේශපාලන ආභාෂය ගුරුකොට ගනිමින් ද තවත් විටෙක ඔවුන් දෙපොළ අබිබවා යමින් ද දේශපාලනයේ හිණිපෙත්තටම නැඟි සුවිශේෂී කාන්තා චරිතයක් වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියව හඳුන්වා දීමට පුළුවන.

1945 ජුනි මස 29 දින උපත ලද චන්ද්‍රිකා මැතිනිය ශ්‍රී ලංකාවේ හතරවැනි විධායක ජනාධිපතිවරයා වන අතර ලංකාවේ පළමු ජනාධිපතිවරිය ද වේ. එහෙයින් ඇය දේශපාලනය තුළ ලෝක වාර්තා රැසකට හිමිකම් කියන රාජ්‍ය නායිකාවක් ද වන්නීය. ඇගේ පියා 1956 වසරේ මෙරට රාජ්‍ය පාලකයා විය. මව ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූවාය. එම වාර්තා අබිබවා යමින් ඇය මෙරට ප්‍රථම කාන්තා ජනාධිපතිනිය වූවාය. එවැනි සුවිශේෂී ජයග්‍රහණයක් ලබා ගැනීමේදී කාන්තාවක් වශයෙන් ඇයට මුහුණ දෙන්නට සිදු වූ අභියෝග සුළුපටු නොවේ.

දේශපාලනය තුළ සියල්ල අහිමි වී යා හැකි බව පිළිබඳව ප්‍රථම පාඩම ඇයට කියාදුන්නේ 1959 දී ඇගේ පියා ඝාතකයකු විසින් ඝාතනය කිරීමේ සිදුවීමයි. ඇමැතිවරයකුගේ දියණියක ලෙසින් උපන් ඇය සිය තරුණ කාලය අගමැතිනියකගේ දියණියක වශයෙන් ගත කරන්නට වාසනාවන්ත වූවාය. ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබූ ඇය පසුව ප්‍රංශයේ සෝර්බෝන් සරසවියෙන් දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, කෘෂිකර්මය යන විෂයන් හදාරා උපාධිය ලබාගත්තාය.

1970 බලයට පත් වූ සමගි පෙරමුණ රජයේ කෘෂිකර්ම හා ඉඩම් ඇමති හෙක්ටර් කොබ්බෑකඩුව මහතා විසින් ස්ථාපිත කරන ලද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ අධ්‍යක්ෂවරියක් ලෙස සේවය කරන්නැයි ඇගේ මව විසින් ඇයට කරන ලද ඉල්ලීමට අනුව ඇය 1972 සිට 1976 දක්වා කාලය තුළ එහි සේවය කරන්නට වූවාය. ඇගේ දේශපාලන ගමන් මගේ මූලාරම්භය සිදුවූයේ එහි සේවය කිරීමත් සමඟිනි. එම තනතුර දරමින් ඉඩම් කොමිසමට පවරා ගත් ඉඩම්වල සමූපකාර ජනාවාස පිහිටුවීමටත්, සමූපකාර ගොවිපළ ක්‍රමයක් ඇති කිීරිමටත් ඇය කටයුතු කළාය. පසුව ඇයට ලැබුණු අත්දැකීම් උපයෝගී කරගනිමින් 1976 - 1979 කාලය තුළ ලෝක ආහාර සංවිධානයේ උපදේශකවරියක් වශයෙන් ද සේවය ලබා දෙන්නට ඇයට හැකිවිය.

චන්ද්‍රිකාගේ විවාහය සිදු වන්නේ එවකට ලංකාවේ වඩාත්ම ජනප්‍රිය සිනමා නළුවකු වූ විජය කුමාරතුංග මහතා සමඟිනි. ජනහිතකාමී දේශපාලන ප්‍රවාහයක් බිහිකිරීම වෙනුවෙන් සටන් කළ විජය, චන්ද්‍රිකා හා එක්ව ඉන්පසුව දේශපාලනයේ නිරත වන්නට විය. 1977 දී මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ විට විජය හා එක්ව දිවයින පුරා ගමන් කරමින් ජනතාවට සත්‍ය අවබෝධ කරදීමට ඇය උත්සාහ කළාය. මේ හේතුව නිසා පසු කලෙක විජය සිරභාරයට ද ගත් නමුත් ඇය ඒ සියල්ල දරාගෙන දේශපාලනයේ නිතර වූවාය.

බිරියක්, මවක්, දියණියක් වශයෙන් මතුනොව කාන්තාවක් වශයෙන් ද ඇය එදා මවගේ ප්‍රජා අයිතිය අහෝසි වීම, සැමියා සිරභාරයේ සිටීම වැනි අභියෝග රැසකට මුහුණ දුන්නාය. 1988 පෙබරවාරි මස 16 වැනි දින ඇගේ ආදරණීය සැමියා ජ.වි.පෙ. තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් ඝාතනයට ලක්වීමත් සමඟ කාන්තාවක් වශයෙන් ඇයට දරන්නට සිදු වූ අභියෝග සුළුපටු නොවීය. නමුත් ඇය ඉතා ශක්තිමත්ව ඒ සියල්ල දරාගත්තාය. පියා අහිමි තම ආදරණීය දියණියට සහ පුතුට මවත් පියාත් වෙමින් තම පියා, මව සහ සැමියා ප්‍රාර්ථනා කළ නව යුගය උදා කිරීමේ දැඩි අපේක්ෂාවෙන් ඉන්පසුව ඇය කටයුතු කරන්නට වූවාය.

ඇය සිය පළමු මැතිවරණයට මුහුණ දෙන්නේ 1993 වසරේදී බස්නාහිර පළාත් සභා මැතිවරණයේදීය. ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදී එම මැතිවරණයෙන් තුන්ලක්ෂයකට අධික ජනවරමක් ලබා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරිය වන්නට ඇය සමත් වූවාය. බස්නාහිර පළාත් සභාවේ නීතිය, සාමය, මුදල්, අධ්‍යාපන, රැකී රක්ෂා සහ සැලසුම් භාර ඇමතිනිය වශයෙන් ඇය ඉතා කෙටි කාලයක් තුළ විශිෂ්ට සේවයක් ඉටු කළාය.

1994 මහා මැතිවරණයෙන් ආසන 105ක් හිමිකරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වශයෙන් ලංකාවේ දහවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි කාන්තා අගමැතිනිය ලෙස දිවුරුම් දුන්නාය. එම වසරේම නොවැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයේදී ඡන්ද 47,09,205ක් හෙවත් 62.28% ලබා ගනිමින් 1994 නොවැම්බර් මස 12 වැනි දින මෙරට ප්‍රථම කාන්තා ජනාධිපතිනිය වශයෙන් දිවුරුම් දෙන්නට ඇයට හැකිවිය. දේශපාලනයට පිවිස වසර හයක් වැනි සුළු කාලයක් තුළ මෙරට දේශපාලනයේ හිණිපෙත්තටම නැඟි ඇගේ මෙම දේශපාලන චාරිකාව වර්තමානයේ දේශපාලනයේ නිරත කාන්තාවන්ට මහඟු ආදර්ශයක් වන්නේය. ඇය පොදු ජනතාවගේ හදවත්වලට මෙතරම් සමීප වූයේ ඇගේ මවුපියන් අග්‍රාමත්‍ය තනතුරු හෙබවීම නිසා නොව ඇයගේ ජනතාවාදී දේශපාලන නැඹුරුව නිසාය. අගමැති යුවළකගේ දරුවකු අගමැති පදවියට පත්වීමත්, පසුව ජනාධිපති පදවියට පත්වීමත් ලෝක වාර්තාවකි.

ඇගේ මෙම දේශපාලන චාරිකාව කිසිසේත් සුමට එකක් නොවීය. පක්ෂය තුළ පමණක් නොව දේශපාලන පොර පිටිය තුළ ද ඇයට වඩාත්ම අභියෝග එල්ල වූයේ සිය ලේ ඥාතීන්ගෙනි. නමුත් ඒ සියල්ලට ඇය නොබියව මුහුණ දුන්නාය.

ඇගේ පාලන කාලය තුළ ජනවාර්ගික ගැටලුව නිරාකරණය කිරීමට ඇය උත්සාහ කළාය. පළමුව සාකච්ඡා මාර්ගයෙන්, දෙවනුව යුදවාදී උත්සාහයකින් ද කොටි ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීමට ඇය උත්සාහ කළාය. මේ නිසා 1999 දෙසැම්බර් 18 කොළඹ නගර ශාලාවේ පැවති මහජන රැස්වීමකදී කොටි ත්‍රස්තවාදීන් විසින් ඇයව ඝාතනය කිරීමට තැත් කළේය. එහිදී ඇයට එක් ඇසක් අහිමි විය. දෙසැම්බර් 21 දින මැතිවරණයෙන් නැවත වරක් ජය ගැනීමට ඇයට හැකිවිය.

තම මව සහ පියා දෙදෙනාම රටේ අගමැති තනතුරු දැරුවද ඇයගේ දිවි සැරිය දෙස බැලුවිට පැහැදිලි වන්නේ ඒ නිසාම ඇයට වෙන කිසිවකු මුහුණ නොදුන් ආකාරයේ අභියෝග වලට ද මුහුණ දීමට සිදුවීමයි. ඇයගේ පියා ද සැමියා ද ඝාතනය කරනු ලැබුවේය. මවට ප්‍රජා අයිතිය අහිමි කරනු ලැබුවේය. බෝම්බ ප්‍රහාරයෙන් ඇසක් ද අහිමි විය. මේ සියල්ල මැද්දේ ඇය ජනාධිපති තරග දෙකක්ම ජයගෙන වසර 12ක කාලයක් රට පාලනය කළාය.

දේශපාලනයේ ජය මඟ තරණය කරන්නට අවශ්‍ය වනුයේ පවුල් සම්බන්ධතා නොව ආත්ම විශ්වාසය, ධෛර්යය සහ කැපවීම බව ශ්‍රී ලාංකීක කාන්තා පරපුරට පෙන්වා දුන් ඇය මේ වන විට පූර්ණකාලීනව දේශපාලනයෙන් ඉවත්ව තම පවුලේ සමාජ සේවා කටයුතුවල නිරත වෙමින් ආදරණීය දූ දරුවන් සමඟ ජීවිතයේ සැඳෑ සමය ගතකරමින් සිටින්නීය.