දැයේ පළමු කාන්තා පුවත්පත “තරුණි“ දායාද කළ පියාණන් නික්ම ගොස් වසර 25යි

දෙසැම්බර් 11, 2023

නමින් ශ්‍රීලාල් හික්කඩුව ලියනගේ නම් වූ මේ අසාහාය පුවත්පත් කලාවේදියාගේ ළමා කාලය දුක් කම්කටුලු රාශියකින් සමන්විත වූ කාලයක් විය. එයට හේතුව වූයේ ඔහුගේ කුඩා කාලයේදීම පියා මෙලොව හැර යාමයි.

කෙසේ හෝ තම අපරිමිත ධෛර්යයෙන් මනා අධ්‍යාපනයක් ලබා ගත් ඔහු ලේක්හවුසියට බැඳුණේ 1934 දී ය. ඔහුව මාස තුනක් යන්නට මත්තෙන් සිළුමිණ කතු මඬුල්ලට බඳවා ගනු ලැබීය. ඉන් අනතුරුව ඔහු එවකට දිනමිණ, සිළුමිණ කතුවරයාව සිටි මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ඇසුර හා අතහිත ලබා ගත්තේය පත්‍ර කලාවටම උපන් මේ තරුණයාගේ දක්ෂතා හඳුනා ගත් ඔහු සිළුමිණ කර්තෘ ධුරය ඔහු හට පැවරීය. දිනමිණ පත්‍රයේ වැඩ බලන කර්තෘ ධුරය ද හෙඹවූ ඔහු සිරිලක නිදහස් සටන වෙනුවෙන් සිය පත්‍ර මෙහෙයවීය. නිදහස් සටනේ ප්‍රථාරම්භක පියවර වු සොල්බරි කොමිසම ගෙන එන අවස්ථාවේ එය ලබාගැනීමට සිය පෑන මෙහෙය වූ ඔහු අවසානයේ සිරිලක වෙත නිදහස ලබාදීමට අවශ්‍ය මූලික පසුබිම නිර්මාණය කර දුන්නේය. 1948 දෙසැම්බර් මස දොළොස්වන දින ඔහුගේ පෑනෙන් ලියැවුණු “කුලියට හැඩූ ලංකා මන්ත්‍රීවරු“ කතු වැකියෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමේ වරදට හසු වූ හේ එයින් ද සූක්ෂ්ම ලෙස ගැලවුණේ ය. ඒ අනුව පාර්ලිමේන්තුවට කැඳවූ ප්‍රථම ජනමාධ්‍යවේදියා ද ඔහුය. නවයුගය සඟරාව, මිහිර ළමා පත්‍රය හා තරුණි කාන්තා පත්‍රය බිහි කිරීම ඔහු අතින් පුවත්පත් කලාවට සිදු වූ විශාල මෙහෙවරකි. 1969 දී ශ්‍රීලාල් මහතා ආරම්භ කරනු ලැබූ තරුණි කාන්තා පුවත්පතට තරුණි යන නාමය තෝරාගැනීම එකල මහා ආන්දෝලනයට තුඩු දුන්නේ ය. ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළවුවද තම අදහස වෙනස් නොකළ ඔහු තරුණි ජනතාව අතරට ගෙන ඒමට විශාල කැප කිරීමක් කරනු ලැබුවේය. තරුණි පත්‍රයේ කතු මඩුල්ලට කාන්තාවක් අවශ්‍ය වූ අතර සම්මුඛ පරීක්ෂණයෙන් ප්‍රථම හා දෙවැනි ස්ථාන දිනාගත් නම් කපා දැමුවේය. එසේ කළේ ඇයි දැයි විමසූ පියසේන රතුවිතානයන්ට ශ්‍රීලාල් මෙසේ පවසා ඇත.

"පළවෙනි කාන්තාව දක්ෂ වැඩියි. ඇය කිහිප දිනක් යන විට රජයේ උසස් පරිපාලන විභාගයකින් සමත් වෙයි. එවිට අපට තවත් පුද්ගලයකු සොයන්නට වෙනවා. දෙවැනි කාන්තාව රූමත් වැඩියි. දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර දෙනවට වඩා ඇයට වැඩක් කරන්න බැරි වේවි. තුන්වැනියා අපට ප්‍රමාණවත්" ඔහු තමන්ගේම දියණියක මෙන් හැදූ වැඩූ “තරුණි“ පුවත්පත අද පුවත්පත් ලොව ඉහළ තලයක වැජඹීම මහත් සතුටක් ගෙනදේ. 1994දී තිබුණු තරුණි රජත ජයන්ති සංවත්සරයට ද සහභාගි වූ ඔහු තරුණි පුවත්පතට මෙන්ම පත්‍ර කලාවටම සිදු කළ සේවය ඉමහත්ය. පසුකාලීනව බොහෝ ලේඛකයන්ගේ මුල් ඇරඹුම සිළුමිණ කමලා ළමා සමාජය ද ඔහුගේ විශිෂ්ට නිමැවුමකි. සිය පත්‍රකලා ජීවිතයේදී ලේඛකයන් විශාල ප්‍රමාණයකට අතහිත දුන් මෙතුමා 1998 සැප්තැම්බර් 30 දින අපව හැර දා නික්ම ගියද ඔහුගේ නාමය අප අතර අමරණීයව සටහන් වනු ඇත. ලාංකීය පුවත්පත් කලාවට මෙන්ම පුවත්පත් මහගෙදරට අමරණීය සේවයක් ඉටු කළ එතුමන්ට නිවන් සුව ලැබේවා !

 

 

ප්‍රවීණ පුවත්පත්කලාවේදී ශ්‍රීලාල් හික්කඩුව මහතාගේ මී මුනුපුරෙකු වන

මම දිල්නුක සිල්වා