වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ඕනෙ පාටක් ගෑව හැකිදැයි ජීවිතේ දන්නවා දුක් වින්ද කෙනෙකුන් මාවතේ
පෙර සටහන
වැහි අඳුරින් බරවූ කෙම්මුර බදාදාවකි. කාර්යාලය අද එතරම් කාර්යබහුල නැත. පිළිගැනීමේ නිලධාරිනියගෙන් පැමිණි දුරකතන ඇමතුමට අනුව කාන්තාවක මා සොයා පැමිණ තිබුණි. දුරකතනයෙන් නම නොකී ඇය මා හමුවීමට අවශ්‍ය බව දැන්වූයේ ලිපි ගොනුවක් භාර දීමට අවශ්‍ය යයි පවසමිනි. පිළිගැනීමේ පරිශ්‍රයේදී අප දෙදෙනා හමුවූ අතර ඇය මාගෙන් කළ ඉල්ලීම වූයේ ඇගේ කතාව තරුණීට ලිවීමට කැමැත්තක් දක්වන බවත්, ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙසත් ය.
එකවරම පිළිතුරක් සෘජුව ලබා දිය නොහැකි ඇගේ ඉල්ලීමට පිළිතුරක් දැක්වීමට මාසයක් යන්නට මත්තෙන් ඇය නැවත මා අමතා කියා සිටියේ ඇයගේ කතාව ඇය ලියමින් සිටින බවත්, එය මා හට ලැබීමට සැලැස්විය හැකි බවත් ය.
මීට මාසයකට පමණ පෙර එහි පළමු කොටස මා අතට පත් වූ අතර ඉන්පසුව මම ඇයව ඇමතූවෙමි. ඇය කියූ කතාන්දරය හරි අපූරු එකකි. ඒ නිසාම එය තරුණී නව නවකතාව ලෙස අප විසින් තෝරා ගන්නා ලදී.
මෙතැන් පටන් තරුණී හි පළවන්නේ නම නොකියන ඈ ලියන ඇගේම කතාන්දරයයි.
මා විසින් එම නව කතාන්දරයට ශ්වේත සමනලී යන නම තබන ලදී. ඕනෑම පාටක් ආලේප කළ හැකි ඕනෑම දුරකට පියඹා යා හැකි ශ්වේත සමනලී අද සිට කියවන්න.
මේ නම නොකියන, ඇය ලියන ඇගේ ජීවන අන්දරයයි.
පළමු දිගහැරුම
තේ වතු යාය මැදින් වංගු අතරින් වැටී තිබූ දුෂ්කර සුන්දර මඟට මම එදින සමුදුන්නෙමි. අවසන් වංගුවේදී නාද වූ අවසන් සංගු හඬ මට තවමත් මතකය. හවස් යාමයට ළං වෙමින් තිබුණි. කන මදයන් සේ රා බී ගත් ලැයිමේ උන් වංගු පාර අතරින් තේ වතු යාය මැද්දෙන් රංචු ගැසෙමින් සිටින අයුරු මම ඇසට හසු නොකර ගැනීමට උත්සාහ ගත්තෙමි. කඳුකර මාවතේ අවසාන බෑවුමේ කෝවිලට මා සතුව තිබූ අවසන් වත්කමෙන් සිල්ලරක් පූජාකොට නැවත මා හට මේ අයුරින් මේ මඟෙහි එන්නට නොලැබේවායයි මම ප්‍රාර්ථනා කළෙමි.
හිමිහිට ගලා බස්නා හුළු ගඟ විලාසිනියගේ විලාපයත් එය මැකෙන්නට මෙන් හැමදා නද දෙන බජන් හඬත් මිශ්‍රවූ ගීතාවලියට මම බොහෝ කලකට සමුදී මහ මඟට පැමිණියෙමි.
අවසන් වරට ලැයිම අද්දර උපේක්ෂා සහගත දෑසින් මා දෙස බලා උන් අප්පාගේ හැඩිව මැලවුණු ඔත්පල දෑසත්...හිස සිට දෙපා දක්වාම අල්ලා දැනෙන්නට පපුතුරට හොවා ඔබා ගත් අම්මාගේ මතකයත් හැර දැන් මම සියල්ල බඹරැල්ලේ දමා යා යුතුය.
හෙට සිට මගේ ජීවිතය කුමක් වේදෝ මා පවා නිශ්චිතවම දන්නේ නැත. එය හෙට සිට භාර වෙන්නේ මා කිසිදා නොදුටු හඬ පමණක් ඇසූ අයකුටය.
ෆයින්ස් කැළය මැද්දෙන් මම වංගුවේ කඩය වෙතට පැමිණ කොළ රොටියක් සමඟ නයි මිරිස් තලියක් ගිල දැම්මෙමි. සූස්....සූස් ගාණ තරමට දැවිල්ලක් වෙනකෙකුට දිවට දැනෙන ඒ නයි මිරිස් තලිය මගේ දිවට නොදැනෙන්නේ මන්දැයි මම ඒ මොහොතේ කල්පනා නොකළෙමි.
පාසල් කාලයෙන් පසුව මකුළු දැල් පිස තෙතමාත්තු කොට අලුත් කරගත් රීබොක් බෑගයේ සිපරය ඇර මම පර්ස් පුංචා අතට ගෙන සින්නා මුදලාලිට හතරට නවා අස්සේ ගසා සුරැකි රුපියල් සීයේ නෝට්ටුව දිගු කළෙමි.
" උඹ මොකෝ අද අහන්නත් කලින් සල්ලි දෙන්නෙ"
සින්නා ඇසුවේ උපහාසයෙනි. මීට පෙර කිසිදු දිනෙයක එදා කෑ ගාණ එදාම නොදුන් මාගෙන් ඒ ප්‍රශ්නය ඇසීම ගැන නොසිතා මම කළු කෝපි වීදුරුවක් වත්කර ගත්තෙමි.
සින්නා දුන් ඉතිරි සල්ලිද බෑගයේ පැති සාක්කුවට ඔබා ගත් මම ඉබාගාතේ ගමන ඇරඹුවෙමි.
රාත්‍රී බසය බඹරැල්ලෙන් පිටවීමට තව බොහෝ වේලා තිබුණද මම ගමන ඉක්මන් කළෙමි. රතු පැහැ සී.ටී.බී බසය බඹරැල්ලේ පුවක් කඩය අසල සීරුවට නවතා ඇත. මම අඳුරු මඟෙන් එළි දල්වා තිබූ බසයට ගොඩව මැද අසුනක ජනේලයක් අසල හිඳ ගත්තෙමි.
එන්න එන්නම සීතල උත්සන්න වේ. කොළඹ බලා යන නමුත් හෙට දවසේම යළිත් ගමට එන දන්නා නොදන්නා බොහෝදෙනා බසයට ගොඩ වේ.
බසය තම ගමන අරඹන්නේ ඕනෑවට එපාවට මෙනි. එළි බසින්නට සැරසෙන හඳ එළියෙන් රිදීවන් ජෝඩු ඇල්ල මට පෙනේ. එය සැබෑවටම මගේ ජීවිතයට සමානය. ජෝඩු ඇල්ල මා උපන්දා සිටම එකිනෙකට යාබදව තනි තනිව කඩා හැලේ. ජෝඩුවක් වුවද මේ ඇලි දෙක ගලන්නේ එක් නොවී හුදෙකලාවමය. මගේ ජීවිතය ද එසේමය.
"ඉගෙන ගත්ත කියල උඹ අද්වකාත් කෙනෙක් වෙන්නද බං"
කංකානම් නිතර ඇසූ ප්‍රශ්නය දැනුදු තේවතු යාය මැද්දෙන් මට ඇසෙයි.
හාතලේ තේ වත්ත පසුකර යන්නට මත්තෙන් මගේ ඇස් පියවුණි. ඉතින්
මට නපුරු අමානුෂික හීන
නොපෙනේවා !!!! මම සුදු යකඩ බම්බු දෙක මැදට යකඩ හිස ඔබා ගත්තෙමි.
තවත් සතියකින් හමුවෙමු