වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
හස්බන්ඩ් වැඩිය සැලකිල්ලක් නෑ වගේ නේද?
පෙර සටහන
වැහි අඳුරින් බර වූ කෙම්මුර බදාදාවකි. කාර්යාලය අද එතරම් කාර්යබහුල නැත. පිළිගැනීමේ නිලධාරිනියගෙන් පැමිණි දුරකථන ඇමතුමට අනුව කාන්තාවක මා සොයා පැමිණ තිබුණි. දුරකතනයෙන් නම නොකී ඇය මා හමුවීමට අවශ්‍ය බව දැන්වූයේ ලිපි ගොනුවක් භාර දීමට අවශ්‍ය යයි පවසමිනි. පිළිගැනීමේ පරිශ්‍රයේදී අප දෙදෙනා හමුවූ අතර, ඇය මාගෙන් කළ ඉල්ලීම වූයේ ඇගේ කතාව තරුණීට ලිවීමට කැමැත්තක් දක්වන බවත්, ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙසත් ය.
එකවරම පිළිතුරක් සෘජුව ලබා දිය නොහැකි ඇගේ ඉල්ලීමට පිළිතුරක් දැක්වීමට මාසයක් යන්නට මත්තෙන් ඇය නැවත මා අමතා කියා සිටියේ ඇයගේ කතාව ඇය ලියමින් සිටින බවත්, එය මා හට ලැබීමට සැලැස්විය හැකි බවත් ය.
මීට මාසයකට පමණ පෙර එහි පළමු කොටස මා අතට පත් වූ අතර ඉන්පසුව මම ඇයව ඇමතුවෙමි. ඇය කියූ කතාන්දරය හරි අපූරු එකකි. ඒ නිසාම එය තරුණී නවකතාව ලෙස අප විසින් තෝරා ගන්නා ලදී.
මෙතැන් පටන් තරුණීහි පළ වන්නේ නම නොකියන ඈ ලියන ඇගේම කතාන්දරයයි.
මා විසින් එම නව කතාන්දරයට ශ්වේත සමනලී යන නම තබන ලදි. ඕනෑම පාටක් ආලේප කළ හැකි ඕනෑම දුරකට පියඹා යා හැකි ශ්වේත සමනලී දැන් කියවන්න.
මේ නම නොකියන, ඇය ලියන ඇගේ ජීවන අන්දරයයි.
කොළඹ රාත්‍රිය ලස්සන කරන්නට පොද වැස්සක් ඇද හැළෙමින් තිබුණි. ස්ටේෂම ඉදිරියේ ඉදිකොට තිබූ දැවැන්ත පිළිමය කාගේදැයි නොදන්නා නමුත් මම පිළිසරණක් පතා පිළිමයේ ඇස් දෙස මගේ වියළුණු ඇස් යොමු කළෙමි. මඳ පොද වැස්ස මගේ නිරුවත් බාහු මත වැටී කොළඹ පොළව සිප ගනී. මෙතරම් තට්ට තනියම කිසිඳු දිනෙක මා හුදකලා වී නැත.
මා ප්‍රියතම මාතෘකාව හුදකලාවයි. මා අඳුරට ආදරය. නමුත් තැති පැති ගත් අඳුරේ ඇති මුස්පේන්තු හුදකලාවට වෛර කරන්නියක් වෙමි. තාත්්තා කියූ පරිදි මහත්තයා පැමිණිය යුතුය. මම අඩියටම බැට්රිය මැරුණු දුරකථනය අතට ගත්තෙමි. මහත්තයාගෙ නොම්මරය එදා දමා ගත්තේ කොළඹ මහත්තයා ලෙසටය. මම කොළඹ මහත්තයාට ඇමතුමක් ලබා ගත්තෙමි. පළමුව දුරකථනය නාද වූ අතර එහා පසින් කිසිඳු හැල හෝල්මනක් තිබුණේ නැත. ඊට උඩින් තිබු ශන්කර් අයියාට ඇමතුමක් ලබා දෙන්නට බොත්තම එබුව ද ඒ ලැබෙන පණිවිඩයට තාත්තා කලබල වන බැවින් මා වැළකුණෙමි. (සීතලත් බඩගින්නත් එකවර මිනිසුන් ඉදිරියේ ගතට එබෙද්දී දැනෙන අමිහිරි වේදනාව මම මේ මොහොතේ විඳිමින් සිිටිමි.
‘මිස් ටැක්සියක් ද බැලුවේ? වැහි කබායක් දමාගත් පුද්ගලයා මා වටා කැරකැවෙන්නට වූයේය. හා පැටවකු උඩු ගුවනේ දී දුටු උකුස්සකුගේ ස්වරූපයෙන්, ඇතැම් විට උකුස්සාට හා පැටියා ගොදුරු විය හැකිය. එසේත් නොමැති නම් හා පැටියාගේ තීක්ෂණ නුවණින් උකුස්සාගේ ඉලක්කය පරාජය කළ හැකිය.
“නෑ. මම ඉන්නෙ හස්බන්ඩ් එනකල්. ටැක්සියක් මට අවශ්‍ය නෑ.”
“මිස් ගොඩක් වෙලා පාර දිහා බලන් හිටිය හින්දයි ඇහුවේ.”
හස්බන්ඩ් වැඩිය සැලකිල්ලක් නෑ වගේ නේද?”
ඔහුගේ කතාවෙන් මා අන්ද මන්ද වූයේය. බොරුවක් කීව ද එය එකින් එකට සම්බන්ධ කිරීමේ හැකියාවක් මට නැත. මම දුවිලි පිරුණු බිම බලාගත් වනම සිටීමට උත්සාහ ගත්තෙමි. නමුත් ටැක්සිකාරයාගේ වදය ඉවර නැත.
“මිස් ලොකු වැස්සක් එන්න එන්නේ? ඕනේ නම් ටැක්සියේ වාඩිවෙලා ඉන්න එන්න.”
ඔහු වරින් වර මගේ නෙතට එබේ. ඔහුගේ දිලිසෙන ඇස් මට ඔහුව සිහි කරවයි. මේඝ... මේඝ රාගවන්. මගේ සංසාරගත ආදරය. එක පාරටම හුළඟක් වගේ දාලා ගිය මාව කරකවපු සුළං සුළිය. මගේ ජීවිතයම කණපිට හරවපු වාසුළි සුසුම. මට මතක් වෙන්නෙම එයාව.
සුන්දර අතීතයක ඉමිහිරි වේදනාව බිඳුණේ දුරකථනයේ කටෝර නාදයෙනි. එය මා බලාපොරොත්තුවෙන් සිටි ඇමතුමයි.
“හෙලෝ මාත්තයා,”
“උඹ කොතනද ඉන්නේ?”
“අර පිළිමෙ ඉස්සරහා”
“එහෙනම් ඔතනින් ඉස්සරහට ඇවිත් රතුපාට ජීප් එකට නැගපන්. මම ඇවිත් ඉන්නෙ.”
මම ඉරණම විසඳන ගමනට පිටත් වූයෙමි.