වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
පෙර මඟට ආ දුක් කන්ද මැද ජීවිතය සතුටින් දිනූ ළඳ ඉනෝකා
සිංහල අලුත් අවුරුද්දු කාලේ නිසා පාරේ තිබුණේ පුදුම නිස්කලංක බවක්. අවුරුදු නිසාම පාරේ වාහන එකකට දෙකකට සීමා වෙලා තිබුණා. අවුරුදු සමරන්න හැමෝම තම තමන්ගේ ගම්බිම්වලට ගිහින්. තනිම නිල් පාට අහසේ වලාකුළක් පෙන තෙක් මානෙකවත් නැහැ. වලාකුළක් පේන තෙක් මානෙකවත් නැති මේ අහස කිව්වේ වැස්සක් වැටෙන්න සෑහෙන කලක් ගත වේවි කියලයි. මේ අවු කාෂ්ටකේ අපි යන්නේ කෙනෙක් හොයාගෙන.
කුරුණෑගල දඹුල්ල පාරේ යද්දි ඉබ්බාගමුවෙන් හැරිලා මඩගල්ල පාරේ ටික දුරක් ගියාම හමුවන්නේ පොල්පිතිගම ගම්මානය. ඔව් අපි යන්නේ මේ ගම්මානයේ කෙනෙක්ව හොයාගෙන. ඇය දිරිය ගැහැනියක්. මෙතරම් දුරක් ගෙවාගෙන ඇයව හමුවෙන්න යන්න තියෙන විශේෂ හේතුව මොකක්ද කියලා ඔයාලටත් හිතෙන්න පුළුවන්. ඔව් ඇය විශේෂයි. ඇය ශ්‍යාමලී ඉනෝකා ජයතිලක. හැබැයි හැමෝම ඇයට කියන්නේ ඉනෝකා අක්කා කියලා. පොල්පිතිගම මාළු ව්‍යාපාරය ජයටම කරගෙන යන ඉනෝකා අක්කගෙන්ම ඒ විශේෂත්වය මොකක්ද කියලා අහලා දැන ගනිමු.
වෙලාව හරියටම දවල් 12යි.. ඉනෝකා අක්කා කිව්වේ නම් දවල් 12 කියන්නේ සෙනඟ එතරම් අඩුයි කියලා. හැබැයි අද නම් සෙනඟ පිරිලා. ඉනෝකා අක්කා හරි හරියට මාළු කිර කිර වැඩේ කරගෙන ඉනවා..
'එන්න එන්න.. මිස්ලා එනකම්මයි මඟ බලන් හිටියේ. ' එහෙම කියපු ඉනෝකා අක්කා වැඩ ටික කඩේ හිටපු වෙනත් ගෝලයෙකුට පවරා ගවුමට උඩින් ඇඳ සිටි චීත්ත රෙද්දෙන් අත් දෙක පිස දමමින් කඩෙන් පිටතට ආවේ කටපුරාම හිනා වෙවී. 'ගෙදරට ගිහින් මොනවහරි බීලම කතා කරමු. ' පස්සෙ බොමු කියලා කිව්වත් ‘එහෙම පුළුවන්ද මේ අවු කාෂ්ටකේ පොඩි දුරක් ද ආවේ. අනික අවුරුද්දට ගෙදරට ආපු අමුත්තෙක්ට සංග්‍රහ නොකර කොහොමද කියලා කියාගෙනම ඈ ගියේ බොන්න යමක් ගෙන එන්න. ඇය ගෙනාවේ කූල්ම කූල් පැණි දොඩම් වීදුරු දෙකක්. දොඩම් වීදුරුවේ රස බලන ගමන් ඇයත් සමඟ කතාවට වැටුණා
ඉනෝකා අක්කට මෙදා සැරේ අවුරුදු සරුයි ද?
කලින් අවුරුදුවලට වඩා මෙදා සැරේ ලොකු ලාභයක් ලැබුණා. ඒ කියන්නේ ඉතින් මේ අවුරුද්ද මිනිස්සුන්ගේ අතමිට සරුයි. ඒ නිසානේ මගේ මාළු ටිකත් විකිණුනේ.
ඔබේ ව්‍යාපාරය ගැන කිව්වොත්..
මම මාළු ව්‍යාපාරයක් කරන්නේ. තොග විතරයි අපි කරන්නේ. තොග දීලා මාළු ඉතුරු වුණොත් සිල්ලර කඩෙත් මාළු විකුණනවා.
කොයි කාලෙදි ද මේ ව්‍යාපාරය පටන් ගත්තේ?
ව්‍යාපාරය පටන් ගෙන අවුරුදු තුනහමාරක් පමණ වෙනවා. මහත්තයා මාව විවාහ කරගනිද්දිත් එයාට රස්සාවක් තිබුණේ නැහැ. අපි දෙන්නා කුලී වැඩ කළා. ගඩොල් කැපුවා. ගඩොල් කපන රස්සාව හරි අමාරුයි. එහෙම ටික කාලයක් යද්දි අපිට පාරවල් හදන CO මහත්තයෙක් හම්බුණා. එයා කැමැති වුණා එයා ගාව අපිට රස්සාවක් දෙන්න. එයා ළඟ රුපියල් 600ට තමයි රස්සාව කළේ. මුලින්ම පාලමක් හදන්න අත්වැඩ දුන්නා. ඊට පස්සේ පාරවල්වල වැඩ කළා. අපි දෙන්නම වැඩ කළා. එයා තාර දැම්මා..මම ගල් තාච්චි උස්සගෙන ගිහින් පාරට ගල් දැම්මා. ඊට පස්සේ තමයි මේ මාළු ව්‍යාපාරයට ආවේ...
කාලයක් කුඹුරු වැඩත් කළා කිව්වා නේද?
පාරවල්වල වැඩ කරන්න කලින් අපි මහවැලියේ ගියා. එහේ ගිහින් අවුරුදු 2ක් හිටියා. එහෙ ගිහින් කුඹුරු කළා. තනිකරම අලි වනාන්තරයක් ඒක. ඒ අලි වනාන්තරය මැද්දේ පාළුවට ගිය ගෙයක් ශුද්ධ කරගෙන මමයි මහත්තයයි දෙන්නා එකතු වෙලා කුඹුරු දෙකක් කළා. මගේ මහත්තයගේ නෑයෝ ඉන්නේ මහවැලියේ වුණාට අපි දෙන්නා කුඹුරු කළේ තනියම. එයාලා තමයි අපිට කුඹුර හොයලා දුන්නේ. කුඹුරු කළත් ජීවත් වෙන්න සල්ලි ඕනෙනේ. අස්වැන්න ලැබෙන්න සෑහෙන කල් බලන් ඉන්න වෙනවනේ. ඉතින් දවල්ට මහත්තයා මහවැලි ගඟේ වැලි ගොඩ දැම්මා. එයා රෑට කුඹුරුවල පැල් රැක්කා. මම මහ රෑ තට්ට තනියම අලි වනාන්තරයේ පාළු ගෙදර රැය ගෙව්වා.. ඊට පස්සෙයි CO මහත්තයා හම්බුණේ.
පාරවල්වල වැඩ කරන එකත් ලේසි වෙන්න නැතුව ඇති...
ඒක හරිම අමාරු කාලයක්. තාර අත්වලට වැටිලා අත්වල දියපට්ට. මහපාරවල් ගානේ දුක් විඳ විඳ ගිනි ගහන අව්වේ අපි වැඩ කළේ. එහෙම වැඩ කරගෙන යද්දි ඒ මහත්තයා නැති වුණා. එතකොට අපිට කරගෙන ආපු ඒ රස්සාව නැති වෙනවා. මේ අත් කකුල්වල තවම ඒ වැඩ කරද්දි ඇතිවුණු කැලැල් තියෙනවා..
ඇය ඒ කතාව කිව්වේ අත් කකුල්වල තියෙන කැළැල්ද පෙන්නමිනි.
එතකොට මාළු විකුණන්න හිතුණේ කොහොම ද?
මගේ තාත්තා ඉස්සර කළේ මාළු රස්සාව. තාත්තා සයිකලයක පෙට්ටියක් බැඳගෙන ගිහින් මාළු විකුණනවා. අපි මුළු පවුලක්ම ජීවත් වුණේ තාත්තගේ මාළු රස්සාවෙන්. මම ඉතින් මගේ මහත්තයට මේ මාළු රස්සාව ගැන කිව්වා. මම එයාගෙන් ඇහුවා අපිට දැන් කරන්න කිසිම දෙයක් නැති එකේ මාළු ටිකක් ගෙනල්ලා විකුණමු ද කියලා. එවෙලේ මාළු කිලෝ 10ක් ගන්නවත් අපි ළඟ සල්ලි තිබුණේ නැහැ. ඒ තරමටම අපි අන්ත අසරණ වෙලා හිටියේ. අපි බඩගින්න නිවාගත්තේ කුරුම්බා කාලා. ඒ අතරතුරේ තමයි මට ලොකු දුව හම්බුණේ. තාත්තා එතකොටත් මාළු රස්සාව කළේ. ඉතින් සමහර දවසට තාත්තා තමයි අපිට කන්න මොනවහරි බඩු ටිකක් ගෙනත් දුන්නේ. අපිත් ඉතින් හිතුවා මාළු විකුණන්න.
අතේ සතේ නැතුව මාළු මිලට ගත්තේ කොහොම ද?
ඉතින් වැව් කිහිපයකටම ගියා මාළු අල්ලන අය හම්බෙන්න. කවුරුත් අපිට මාළු දෙන්න කැමැති වුණේ නැහැ. කොහොම හරි එක්කෙනෙක් අපිට මාළු කිලෝ 10ක් දෙන්න කැමැති වුණා. එයා කිව්වා අද මාළු ටික කොහොම හරි විකුණගෙන පහුවදාට සල්ලි ගෙනැත් දෙන්න කියලා. අපිට ඒ මාළු ටික විකුණගන්න තැනක් තිබුණේ නැහැ. මායි එයයි මහ පාර අයිනේ මාළු ලෑල්ලක් ගහලා මාළු කිලෝ 10 වික්කා. ඒකෙන් අපිට රුපියල් 1800ක් ලාභ තිබුණා. එදාම හවස අපි මාළු ටික ගත්ත කෙනාගේ සල්ලි බේරුවා. ඊට පහුවදා එයා අපිට කිලෝ 15ක් දුන්නා. එහෙම දවසින් දවස ප්‍රමාණය වැඩි කරලා අපි මාළු වික්කා. මම පාර අයිනේ මාළු විකුණනවා. එයා ලොරියේ වැඩට යනවා. එයා දවසට රුපියල් 3000ක් ගන්නවා හයර් එක.
එහෙම කාලයක් යද්දි අපි හිතුවට වඩා හොඳ ලාභයක් ලැබුණා.
කොහොමද ව්‍යාපාරය දියුණු කරගත්තේ?
මට හිතුණා දැන් මේ ව්‍යාපාරයට ලාභත් ලැබෙන එකේ මේක තව ටිකක් දියුණු කර ගන්න ඕනේ කියලා. ඊට පස්සේ ණය දෙන ආයතනයක කළමනාකාරවරයෙක් හම්බෙලා මම ඒ ගැන කතා කළා. ඒ වෙද්දි මම ස්වේච්ඡා සංවිධාන කිහිපයකම තනතුරු දැරුවා. ඉතින් මගේ සාමාජිකත්වය ඇපයට තියාගෙන මට ණයක් ලබා දෙන්න පුළුවන්ද කියලා එයාලගෙන් අැහුවා. ඊට පස්සේ මගේ සාමාජිකත්වය ඇපයට තියාගෙන තව සාමාජිකයෝ දෙන්නෙකුත් ඇප වෙලා මට ලක්ෂ හතරක ණයක් දුන්නා.
ඒකෙන් මොකද කළේ?
එකේන් වාහනයක් ගමු කියලයි අපි හිතුවේ. මොකද අපි මාළු ගෙනියන්න හයර් එකට ගත්ත ලොරියට දවසකට 3000ක් ගෙව්වා. ඉතින් අපිටම කියලා ලොරියක් ගත්තොත් 3000 ගානේ බලද්දි මාසෙකට 90000ක් වගේ මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. තිබ්බ මුදලුයි ලෝන් එකේ මුදලයි ඒ ඔක්කොම දාලා අපි වාහනයක් ගත්තා ෆිනෑන්ස් කරලා. ඔක්කොම මුදල් එකට යොදවපු නිසා මාළු ටිකක් ගන්න සල්ලි නැති වුණා. ඊට පස්සේ ආයතනයකින් රුපියල් 50000ක මුදලක් ණයට ගත්තා. මගේ කරාබු දෙකයි දරුවෝ දෙන්නගේ පංචායුධ දෙකයි විකුණලා රුපියල් 45000ක් ගත්තා. ඒ 95000 අරගෙන එයා ගියා මාළු ගන්න. අපෙන් මාළු අරගෙන හිතවත් වුණු මුදලාලිලා කිහිප දෙනෙක් හිටියා. ඉතින් මහත්තයා මාළු අරගෙන එනකම් මම ඒ මුදලාලිලට කතා කරලා ඕඩර්ස් කිහිපයක් හදාගත්තා. මෙයා මාළු අරන් එද්දි බයිසිකල්වලින් මාළු විකුණන මුදලාලිලා දෙන්නෙකුයි මාළු ලොරියකිනුයි මාළු ගන්න බලන් හිටියා. ඒක ඇත්තටම මට ලොකු සතුටක් දැනුණ අවස්ථාවක්. ඔහොම අවුරුද්දක් විතර අපි ව්‍යාපාරය කරගෙන ගියා. ඒ වෙද්දි මේ ව්‍යාපාරය හොඳටම දියුණු වෙලා තිබුණේ.
හොඳ ලාභයක් ලැබුණට පස්සේ තව වාහන දෙකක් ගත්තා. ඒ වෙද්දි ණය වෙලා තිබුණ හැම ණයක්ම ගෙවාගන්න මට පුළුවන් වුණා.
දැන් කීදෙනෙක් ඔයා ළඟ වැඩ කරනව ද?
දැන් ලොරිවලට රියැදුරන් තුන්දෙනෙක් අරගෙන ඉන්නවා. කඩේට මාළු කපන්න වෙනම කෙනෙක් දාගෙන ඉන්නවා. එයාලත් එක්ක එකතු වෙලා දැන් මේ ව්‍යාපාරය කරගෙන යනවා.
මාළු ගන්නේ කොහෙන්ද?
අපි මුලින් මාළු ගත්තේ හලාවතින්. දැන් අපි ඉබ්බාගමුවට එන මාළු ලොරියකින් තමයි මාළු ගන්නේ. වෙන්නපුවේ ලොරියෙනුත් මාළු ගන්නවා. අපි ලොරි තුනත් අරගෙන ගිහින් එයාලගෙන් මාළු අරගෙන මගේ සිල්ලර කඩේ ළඟට එනවා. තොග ගන්න අය එතැනට ඇවිත් මිලදී ගන්නවා. ඉතිරිය සිල්ලර කඩේ සිල්ලරට අලෙවි කරනවා. අපි ඉන්නේ පාරෙන් ටිකක් ඇතුළට වෙන්න. අවුරුදු දෙකක් විතර ගෙදර එක කොටසක තමයි මාළු අලෙවි කළේ. ඊට පස්සේ පාර අයිනේ ඉඩම් කෑල්ලක් කුලියට ගත්තා. එතැන පොඩි කඩ කෑල්ලක් හැදුවා. දැන් එතැන තමයි හැමදේම වෙන්නේ.
මේ හැමදේටම උදව්වට ඉන්න සැමියා ගැනත් වචනයක් කතා කරමු.
මහත්තයගේ නම සුනිල් ප්‍රේමරත්න. අපි විවාහ වුණේ ආදරය කරලා. ඒ අාදරය අදටත් එහෙම්මමයි. එයා කුලී වැඩට යද්දී මම ගල් තාච්චි උස්සන් එනවා. එයා තාර දානවා. උණු තාර පාරට වක්කරනකොට අත්වලට කකුල්වලට තාර විසිවෙනවා. තාර දාද්දි කකුල්වල ආරක්ෂාවට දාන ලොකු බූට් ගන්න තරම් අපි ළඟ සල්ලි තිබුණේ නැහැ. මගේ මහත්තයා ලොකු ගෝනි දෙකක් වතුරෙන් තෙත් කරනවා. ඊට පස්සේ කකුල් දෙකේ ඔතනවා. ඒ කොහොම කළත් තාරවලට අත් කකුල් පිච්චෙනවා. රෑට ඇවිත් බත් කටක් කන්න බැහැ. අත්වල දියපට්ටා දාලා. මහත්තයා විඳපු දුක දැකලම මට ඒ රස්සාව එපා වුණා. අපි බඩ ගින්දර නිවාගන්න නොකරපු දෙයක් නැහැ. එහෙම ඉඳලා අන්තිමට මාළු රස්සාවට බැස්සා.
දරුවන්ගෙනුත් උදව් ලැබෙනවා ඇති...
ලොකු දුව දැන් විවාහ වෙලා අනුරාධපුරයේ ඉන්නේ. චූටි දුව තවම පාසල් යනවා. මට මතකයි ඉස්සර ළමයි දෙන්නා ඉස්කෝලේ යද්දි හැමදාම මම පාසලට යැව්වේ සම්බෝලයි බතුයි. එළවළුවක් උයාගන්න තරම් මුදලක් තිබුණේ නැහැ. එයාලා කියනවා අම්මේ මට හැමදාම සම්බෝලයි බතුයි ගෙනියන්න බැහැ කියලා. චූටි දුව දැන් 9 වසරේ. ක්‍රීඩාව පැත්තෙන් එයා ලොකු ගමනක් යනවා.
ලොකු දුව තමයි ගෙදර හැමදෙයක්ම කළේ. දුව විවාහ වෙලා ගියාට පස්සේ මගේ අත කැඩුණා වගේ වුණා. මම මාළු රස්සාවට ගියාම දුව තමයි හැමදේම කළේ. මගේ රෙදි ටික පවා හේදුවෙ එයා. උයන පිහන වැඩත් එයාමයි කළේ අක්කා කරපු ටික දැන් චූටි දුව කරනවා.
මාළු කපන්න අත හුරුකරගත්තේ කොහොම ද?
මම මාළු කපන්න අත හුරුකරගත්තේ තනියෙන්මයි. හැබැයි මම ඉස්සර තාත්තා මාළු කපනවා බලන් ඉඳලා තියෙනවා. දැන් මාළු කපන්න කෙනෙක් ඉන්නවා. අපි දෙන්නම ඒ කටයුතු කරනවා. දැන් මම ලොරිවලට මාළු පටවනවා. බිල් දානවා. මාළු පෙට්ටි හෝදනවා. ඒ වගේ වැඩ කරනවා.
අනෝමගේ දවස ගෙවෙන්නේ කොහොම ද?
මම හැමදාම පාන්දර තුනට නැඟිටිනවා. උදේට නැඟිටලා මම උයනවා. මගේ ළඟ වැඩ කරන ඔක්කොටම මම කෑම දෙනවා. ඒක මගේ සතුටට කරන දෙයක්. මොකද ඒ වැඩට එන හැමෝම වගේ උදේට තේ කහට එකක් බීලා වැඩට එන අය. මම එයාලට බත් පාර්සල් හත අටක් බැඳගෙන තේ කහට ටිකක් බෝතලයකට දාගෙන දුවවත් ඉස්කෝලෙට දාගෙන කඩේට යනවා. මහත්තයා මාළු ගෙන්න යනවා. දුව ඉස්කෝලේ නිවාඩු දවස්වලට මාත් එයත් එක්ක ලොරියේ යනවා මාළු ගන්න. ලොරිවලින් මාළු අාවම එන අයට කිර කිර මාළු දෙනවා.. ඒ කටයුතු ඉවර කරලා මම දවල් 12 වෙද්දි නැවත ගෙදර එනවා.
දැන්නම් මාළු කපන්න කෙනෙක් ඉන්න නිසා එයා බලලා හැමදේම කරනවා. ඊට පස්සේ දවල් 1 ට වගේ මං ආයේ යනවා. ඊට පස්සේ 6 විතර වෙනකන් වැඩ කරනවා.
ගමේ අය මොනවද කියන්නේ?
ගොඩක් අය හිතුවේ නැහැ අපි අද මේ තැන ඉඳියි කියලා. අපි හිටපු විදිහ එයාලා දැකලා තියෙනවා. කුරුම්බා කකා හිටපු අපි අවුරුදු තුනක් වගේ වෙද්දි මේ තැනට ආපු එක ගැන හදවතින්ම සතුටු වෙන අය ඉන්නවා. එහෙම සතුටු වෙන්නේ නැති අයත් ඉන්නවා. අපි කාටවත් කරදරයක් කරන්නේ නැතුව අසාධාරණකම් කරන්නේ නැතිව අපේම මහන්සියෙන් තමයි මේ තැනට ආවේ.
මාළු විකුණගන්න බැරි වුණ දවසුත් තියෙන්න ඇති නේද?
පහුවදාට විකුණන්න පුළුවන් තත්ත්වයේ තියෙන මාළු විකුණනවා. ඉතුරු මාළු දුම් කරවල දානවා. දුමේ දාලා වේළලා කරවල හදනවා. ඉතින් අපි කවදාවත් කඩෙන් කරවල ගන්නේ නැහැ. හැබැයි දන්න කියන අයට පොඩි මුදලකට අලෙවි කරන අවස්ථාත් තියෙනවා. ලොකු ප්‍රමාණයක් දුම් කරවල දාගන්න පුළුවන් වුණොත් ඒ විදිහට විකුණනවා. ඒක ලොකු ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්නේ නැහැ.
අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?
මම ඉන්න තැන ගැන අද මට ගොඩක් සතුටුයි. මම කවදාවත් හිතුවේ නැහැ මම ඒ ගෙවපු දුක්බර අතීතයට මේ විදිහට තිත තියන්න ලැබිලා හොඳ කාලයක් උදාවෙයි කියලා. ඉතින් අද මම ගොඩක් සතුටින් ජීවත් වෙනවා.
ඇය සැබැවින්ම දිරිය ගැහැනියකි. වේලක් කුසගින්න නිවාගන්නට ක්‍රමයක් නැතුව සිටි ඇය අද මහා ව්‍යාපාරයක අයිතිකාරියකි. ගැහැනුන්ට කරන්න බැරි දෙයක් නැත. ඇගේ කතාවෙන් කියවෙන්නේ එයයි. ඇගේ කතාවත් අරගෙන අපි නැවත කොළඹ බලා යා යුතුය. දැන් එයට වෙලාවයි. ඇයගෙන් සමුගෙන නැවත කොළඹ බලා ගමන් ඇරැඹුවෙමි.සටහන
විදුමිණි දිසාකරුණා