නිහඬ මාරයකු ලෙසින් දරුවන් බිලිගන්නා ප්‍රමිතියෙන් තොර වෙසක් සැරසිලි

මැයි 20, 2024

නිහඬ මාරයා මිනිස් ජීවිත බිළිගත්තේ නොසිතන ලෙසිනි. මෙලෙසින් මිනිස් ජීවිත බිළි ගනිමින් ජීවිත අනතුරට පත්වෙන ප්‍රධාන හේතුවක් බවට පත් වන්නේ විදුලියයි. තවත් දින කිහිපයකින් උදාවන්නේ සම්බුදු තෙමඟුල සමරණ බැතිබර වෙසක් දිනයයි. මේ දිනයට ඕනෑම බෞද්ධ නිවෙසක විදුලි පහනක් හෝ දැල්වීම අනිවාර්යෙන් සිදු කරන කටයුත්තකි.

අතීතයේදී වෙසක් කාලයට සැරසිලි හා නිර්මාණ කළේ ස්වභාවික අමුද්‍රව්‍ය භාවිත කරගෙනය. වෙසක් පහන් කූඩුවක් ආලෝකවත් කළේ ඉටිපන්දමකිනි. නිවෙස ඉදිරිපිට දැල් වූ පහනක් ආලෝකවත් වූයේ ගස්ලබු පළුවකින් හෝ නාවා ගෙඩියකිනි. මැටි පහනක් හෝ ගොක් කොළ යොදාගෙන සෑදූ පහන් කූඩුවකින් නිවෙස අලංකාර කළ කාලයක් විය. එහෙත් කාලය විසින් සියල්ල වෙනස් වී තිබේ. මැටි පහන්, ඉටිපන්දම් කූඩු, බකට් වෙනුවට විදුලි බුබුළු දැල්වෙන වෛයිවර්ණ මෝස්තරයේ විදුලි උපකරණ කරළියට පැමිණ තිබේ.

දැන් දරුවන්ට වෙසක් කූඩුවක් ආලෝකවත් කරන්නට පවා බල්බයක් නොමැතිව බැරිය. නිවෙස ඉදිරිපිට පහන් වැට වෙනුවට LED බල්බ් වැළක් දෙකක් එල්ලා සතුටු වෙන දරුවන් හැර ස්වභාවික දෙයක් ප්‍රයෝජනයට ගන්නා දරුවන් නොමැතිය. මේ නිසාම වෙසක් සමයේ විදුලියේ සිදුවන අනතුරු බොහෝය. විශේෂයෙන්ම කුඩා දරුවන් මෙවැනි විදුලි අනතුරුවලට ලක් වන්නේ නිවෙසේ ප්‍රධාන විදුලි පරිපථයෙන් විදුලිය ලබා ගැනීමට යෑමෙනි.

 

අනතුරුවලට ප්‍රධාන හේතුව

 

මෙලෙසින් කුඩා දරුවන් විදුලි අනතුරුවලට ලක්වීමට ප්‍රධාන හේතුවක් බවට පත්වන්නේ නිවෙසේ විදුලි පද්ධතියට ට්‍රිප් ස්විචයක් නොතිබීමය. නිවෙසට සවිකර ඇති ට්‍රිප් ස්විචය ක්‍රියා නොකිරීම හෝ නිවාස පද්ධතියට සුදුසු මිලි ඇම්පියර් 30 සංවේධිතාවයකට වඩා වැඩි සංවේධිතාවයක් සහිත ට්‍රිප් ස්විච් නිවෙසේ සවිකර තිබීම ද මෙයට හේතුවක් වෙයි.

ඔබ නිවෙසක් තැනීමේදී සවිකළ ට්‍රිප් ස්විචය කාලයත් සමඟ අක්‍රීය වෙයි. ඒ නිසා සෑම විටම ට්‍රිප් ස්විචය ගැන අවධානයෙන් සිටීම වැදගත්ය. ඒ සඳහා ට්‍රිප් ස්විචයේ ටෙස්ට් බොත්තම ඔබා එය නිසි අයුරින් ක්‍රියාත්මක වේ දැයි සෑම විටම සොයා බලන්න. අප රටේ සිදුවන විදුලි අනතුරු විශාල ප්‍රමාණයකට හේතුව බවට පත්වන්නේ මෙලෙස ට්‍රිප් ස්විචය ක්‍රියා නොකිරීමයි. එසේම ඇතැම් විදුලි කාර්මිකයෝ මිලි ඇම්පියර් 30ට වඩා වැඩි සංවේධිතාවයක් ඇති නිවාස සඳහා නොසුදුසු ට්‍රිප් ස්විච් සවි කරයි. එය බරපතළ වරදකි. එවිට බරපතළ විදුලි කාන්දුවක් සිදුවුවත් ට්‍රිප් ස්විචය ක්‍රියාත්මක නොවේ. එයින් ඔබට නොසිතනා අනතුරක් හෝ පාඩුවක් සිදුවනු ඇත.

 

ප්‍රමිතියෙන් තොර වෙසක් සැරසිලි

 

වෙසක් කාලයට මෑත කාලයේ LED බල්බ් වැල් යොදා ගැනීම බහුලවම සිදු වෙයි. එහෙත් මෙලෙසින් අලෙවි කරන බොහෝ බල්බ් වැල්වල ප්‍රමිතිය පිළිබඳ කිසිම සහතිකයක් නොවේ. ඇතැම් විදුලි බල්බ් වැල් ටික වේලාවක් දැල්වෙන විට එක් කොටසක බල්බ් කාණ්ඩයක් ක්‍රියාත්මක නොවෙයි. මෙලෙසින් එක් කොටසක් ක්‍රියා නොකිරීම සිදුවන්නේ බල්ව් වැලේ එම කොටසේ එක් බල්බයක් දැවී යෑමෙනි. එවිට ඒ වෙනුවට වෙනත් ආදේශක බල්බයක් යෙදීමට සිදුවෙයි. නැතිනම් බල්බ් වැලේ විදුලි කාන්දුවක් සිදුවීමට ද ඉඩ තිබේ. මෙවැනි අවස්ථාවක ඔබ එක්වරම විදුලි බල්බ් වැල විදුලියට සම්බන්ධ කර තිබියදී පරීක්ෂා කර බැලීමට යෑම වරදකි. කුඩා දරුවන් බොහෝ දෙනකු මෙලෙස විදුලියට සම්බන්ධ කර තිබියදී පරීක්ෂා කිරීමට යෑමෙන් අනතුරු සිදුකර ගනියි.

ගෘහ ආශ්‍රිත අනතුරුවලට තවත් හේතුවක් බවට පත් වන්නේ ප්‍රමිතියෙන් තොර වයර් සහ විදුලි පරිපථ පේනු හා උපකරණ භාවිතයයි. මේ කාලයේ නිවෙසේ ප්‍රධාන විදුලි පද්ධතියෙන් විදුලිය ලබා ගැනීම සඳහා විදුලි දිගු (Extensions) කැට (Multi Plugs), අඩු ප්‍රමිතියෙන් යුතු පේනු (Plugs) හා කෙවෙනි (Soket) භාවිතා කරයි. විදුලියෙන් සිදුවන ගිනි ගැනීම් හා අනතුරු බොහෝ ප්‍රමාණයකට හේතුව බවට පත් වන්නේ මෙවැනි ප්‍රමිතියෙන් තොර උපාංග යොදා විදුලිය ලබා ගැනීමට උත්සහ කිරීමයි. එසේ විදුලිය ලබා ගැනීමට යැමේදී විදුලි කාන්දුවක් සිදු වී මුළු නිවෙසේම විදුලි පද්ධතියට හානි සිදුවීමට ඉඩ ඇති අතර, එය ට්‍රිප් ස්විචය හානි සිදුකරමින් ගිනි ගැනීම සිදුවීමට අවස්ථාව තිබේ.

 

විදුලි සැර වැදීමකදී අපි ක්‍රියා කළ යුතු ආකාරය

 

කිසියම් පුද්ගලයකුට විදුලි සැර වැදීමකදී අප ඉතාම බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු වෙයි. මෙහිදී අප පළමුවෙන් විදුලි සැර වැදුනු පුද්ගලයා ඉවත් කරනවාද නැතිනම් අනතුර ඉවත් කරනවා දැයි ඉතාම ඉක්මනින් තීරණය කළ යුතුය. අපට පහසුවෙන් අනතුර ඉවත් කිරීමට කළ හැකි සරලම පිළියම වන්නේ ප්‍රධාන ස්විචය විසන්ධි කිරීමයි. නැතිනම් වියළි ද්‍රව්‍යයක් ආධාරයෙන් විදුලිය වැදුනු පුද්ගලයා හා සම්බන්ධ විදුලිය බිඳ දැමීමයි.

දැන් ඔබ විදුලිය වැදුනු පුද්ගලයාට ප්‍රථමාධාර ප්‍රතිකාර ලබා දෙන්න. ඒ සඳහා එම පුද්ගලයාගේ උරහිස ළඟින් දණගසාගෙන අවශ්‍ය ප්‍රථමාධාර විමසන්න. අනතුරට ලක් වූ පුද්ගලයාට හුස්ම ගැනීමට පහසු ක්‍රමයක් වන ස්විස් ක්‍රමයට පැත්තකට හරවා නිදිකරවන්න. විදුලිය වැදුනු පුද්ගලයාගේ ශ්වසනය පිළිබඳ හොඳින් පරීක්ෂා කරන්න. එසේ සිදු කිරීමෙන් අනතුරට ලක්වූ තැනැත්තාගේ ඇසීම, පෙනීම හා දැනීම පිළිබඳ ඔබට අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙයි. එසේ නොමැති නම් කෘත්‍රිම ස්වසනය ලබාදිය යුතු වේ. ඒ සඳහා ඔබට ප්‍රථමාධාර පිළිබඳ පුහුණුවක් තිබිය යුතු අතර, එසේ නොමැති නම් එවැනි පුහුණුවක් ඇති පුද්ගලයකු විසින් එය සිදුකළ යුතුවේ. ඉන්පසු හැකි ඉක්මනින් එම පුද්ගලයා රෝහලක් කරා රැගෙන යා යුතු වෙයි.

අවධානමට පෙර සූදානම

 

මෙවැනි උත්සව සමයක ඔබ සෑම විටම දරුවන් කරන ක්‍රියාකාරකම් පිළිබඳ ඉතා පරීක්ෂාකාරී වන්න. ඔවුන්ට ඔබ ගෙනත් දෙන විදුලි සැරසිලි විදුලිය සම්බන්ධ කිරීමේදී දරුවන්ට එය කිරීමට දී බලා නොසිටින්න. දරුවන්ගේ උපකාරය සහිතව ඔබ විසින් දරුවන්ට ඒ කටයුතු ඉටු කර දෙන්න. සෑමවිටම විදුලිය ලබා ගැනීමේදී ආරක්ෂාව ගැන සිතන්න. විදුලි වයර් දෙකක් සම්බන්ධ කිරීමේදී පවා ආරක්ෂිත වයර් ක්‍රේප් පටි යොදා එම ස්ථාන හොඳින් සීල් කරන්න. වැඩි ධාරිතයක් ඇති විදුලි බුබුළු හෝ සැරසිළි යොදා විදුලිය ලබා ගන්නා විට ට්‍රිප් ස්විචයක් විදුලිය විසන්ධි වූයේ නම් ඒ ගැන හොඳින් පරීක්ෂාකාරීව නැවත සම්බන්ධ කිරීම සිදු කරන්න. කිසිම අවස්ථාවක කුඩා අත දරුවන්ට පහසු වන සීමාවේ වයර් හා විදුලිය සම්බන්ධ පේනු හා සම්බන්ධ කිරීමක් නොකරන්න. සෑම විටම විදුලිය ලබා ගන්නා විට රාත්‍රී කාලයේ එම පරිපථ විසන්ධි කර නින්දට යෑමට කටයුතු කරන්න.

කිසිම අවස්ථාවක නීති විරෝධී ලෙස මාර්ග අසල ඇති විදුලි කම්බි හෝ පරිපථවලින් විදුලිය ගැනීමට උපක්‍රම නොයොදන්න. කුඩා තොරණ් හා වෙසක් කූඩු සඳහා විදුලිය ලබා ගැනීමට මාර්ගයේ ඇති ප්‍රධාන පරිපථයට කම්බියක් හෝ කටුවක් ගැට ගසා විදුලිය ලබා ගැනීම දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි. එසේම එය ඉතාම අනතුරුදායක ක්‍රියාවකි. කිසියම් හේතුවක් නිසා විදුලිය කාන්දුවක් සිදුවූවොත් එයින් සිදුවන අනතුර මරණින් අවසන්වීමට ද ඉඩ තිබේ.