පා‍ෙර හැමෝම මට හිනා වුණේ නැත්නම් මං තාම මහපාරෙ

අගෝස්තු 5, 2024

ගැහැනිය මවන්න ඕනෙ මලක් වගේ කියලා හිතුවට. ඒ මොන වගේ මලක්ද වෙන්න ඕනෙ කියලා මහාබ්‍රහ්මයට අමතක වුණා. ඉතින් එක එක ගැහැනු එක එක විදිහට, එක එක සුවඳින් පිපෙන්න ගත්තා. සමහර ගැහැනු කර්කශ පොළොවෙ ඉපදුණු පතොක් මල් වුණා. හරියට වැහි නැතත් පුංචි පුංචි මල් පිපෙනවා වගේ..ඔවුන් මොන කරදර බාධක ආවත් ලස්සනට දරා ගත්තා..

ඇතැමුන් පුංචි ස්පර්ශයක් පවා ප්‍රතික්ශේප කරන නිදිකුම්බා මල් වගේ පිපෙද්දි..රෑ පිපිලා උදේ පරවුණ කඩුපුල් මල වගේ වුණ ගැහැනු කොට්ඨාසයකුත් හිටියා.. එහෙම මල් අතරේ හැමදාම එකම සොහොනක තනි රැක්ක අරලිය මල් වගේ ශක්තිසම්පන්න ගැහැනු මුළු මහත් ලෝකයේම ආදරය දිනාගත්තේ අනෙක් අයටත් ආදර්ශයක් වෙමින්. අද කතා කරන්න යන්නෙත් ඒ වගේ හිත හයිය ශක්තිසම්පන්න යුවතියක් ගැන. පිරිමින්ට පමණක් උරුමයි කියලා කියන Auto mobile සේවය එහෙම නැත්නම් හරි හරියට වාහන එක්ක ඔට්ටු වෙන පිරිමින් අතරේ තරුණියෙකුත් හිටියා. ඇය තිසරි හංසමාලි. වැලිමඩ හපුතලේ පාරේ ඔටෝ මිරාජ් සෙන්ටර් එකේ වාහන එක්ක ඔට්ටු වෙන ඇයට වයස තවම 23යි. හැබැයි වයසෙන් පොඩි වුණාට වැඩවලින් ඇය පරිණතයි. මොකද කාන්තාවකට සියුමැලි සුසිනිඳු දෑත් උරුම වුණත් මජං තැවරුණු දූවිලි පිරි ඒ රළු දෑත්වලින් කියා පෑවේ ඒ පරිණත බවයි.

වැලිමඩ නුගතලාවේ පදිංචි මේ අපූරු යෞවනිය තිසරි අද කියන්න යන්නේ අපූරු කතාවක්.

 

පොඩි කාලේ ඉඳන්ම මම දැක්කේ වාහන. මොකද අප්පච්චිට වාහන කිහිපයක්ම තිබුණා. අප්පච්චිගේ බස් එක තමයි මගේ ගමනට ලොකුම හේතුව වුණේ. මොකද බස් එක කැඩුණම අප්පච්චි බස් එක හදන්න දාන්නේ ගෙවල් ළඟ තිබුණ ගරාජ් එකට. ඒ යද්දි අප්පච්චි මාවත් එක්කන් යනවා. ඉතින් එතැනට ගියාම මම බස් එක හදන දිහා බලාගෙන ඉන්නවා. මටත් ආසාව ආවා වාහන වැඩ කරන්න. ඒ කියන්නේ කැඩුණු වාහන හදන්න. මේ ගමන පටන් ගත්තේ එහෙම.

මට මතකයි ඉස්සර අප්පච්චි හයර් දුවලා එනකම් මම මඟ බලාගෙන හිටපු විදිහ. එතකොට මම ගොඩක් පොඩියි. තාත්තා අාපු ගමන් කරන්නේ මාව රියැදුරු අසුනේ ඉන්දවලා තියන එක. මම ඉතින් සුක්කානම කරකව කරකවා හරි සතුටින් ඉන්නේ. ඒ පුංචි කාලේ ගොඩක් දේවල් හරියට මතක නැති වුණත් අම්මා ඒ කතාව නිතරම කියනවා. මගේ ගමන පටන් ගත්තේ එතැනින්.

 

ඒක තිසරිගේ ගමනට මූලාරම්භය වෙද්දී ඒ ගමන දිගට පවත්වාගෙන ගියේ කොහොමද?

 

මම පාසල් ගියේ වැලිමඩ ජාත්‍යන්තර පාසලට. කාලයක් ඒ පාසලේ ඉගෙන ගනිද්දි පාසලේ වාරික මුදල් ගෙවාගන්න අපහසු වුණා තිබුණ ආර්ථික තත්ත්වයත් එක්ක. ඊට පස්සේ වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළට කළේ ඉංජිනියරින් ටෙක්නොලජි. මම ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ඉගෙන ගත්තේ. ඉතින් වාහනවලට ආස නිසාමයි උසස් පෙළට ඉංජිනියරින් ටෙක්නොලජි තෝර ගත්තේ. ඊට පස්සේ බණ්ඩාරවෙල ටෙක්නිකල් කොලේජ් එකේ වාහන සම්බන්ධව විදුලි කාර්මික ශිල්පය මාස 6ක කාලයක් ඉගෙන ගත්තා.

 

ඊට පස්සේ පොඩි ගරාජ් එකක වැඩ කළා. ගරාජ් එකක් කිව්වට ඒක පොඩි පෙට්ටි කඩයක්. එතැන එක අංකල් කෙනෙක් වැඩ කළේ. මම එතැන මාස තුනක් වැඩ කළා.

ඊට පස්සේ මම කැප්පෙටිපොළ ඩිපෝවෙ වැඩ කළා. එතැන ඔක්කොම වැඩ කළේ පිරිමි අය. පිරිමි 120ක් යාඩ් එකේ වැඩ කළා. මම තමයි එතැන හිටපු එකම ගැහැනු ළමයා. එතැන මාස 9 ඉවර වෙලා නුවර අරුප්පොල කාර්මික විද්‍යාලයේ ඩිප්ලෝමාව කළා. ඊට පස්සේ තමයි ඔටෝ මොබයිල් සෙන්ටර් එකට සම්බන්ධ වුණේ. එතැනට ඇවිත් මාස 6ක් වගේ වෙනවා. එතැනදි ඒ සම්බන්ධ හැමදේම ඉගෙන ගත්තා.

 

ඕනෙම තාත්තෙක් කැමති තමන්ගේ දුව ලස්සනට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් ක්ෂේත්‍රයක ගමනක් යනවට. මේ ගමනට ඔහු සහයෝගය දැක්වූයේ කොහොමද?

පවුලේ ඉන්නේ අප්පච්චියි, අම්මයි, මල්ලියි. අප්පච්චි ඩබ්ලිව්. ජේ. නන්දසේන. අම්මා මංජුලා මල්කාන්ති. මල්ලි තාම ඉගෙන ගන්නවා. එයාට නම් වාහන ගැන ලොකු ආසාවක් නැහැ. අප්පච්චි බස් එකේ හයර් දුවපු එක කළේ. එයා වෘත්තියෙන් රියැදුරෙක්. අප්පච්චි පොඩි කාලේ ඉඳලම දැනගෙන හිටියා මම වාහනවලට ආසයි කියලා. ඉතින් මම ඒ අංශයෙන් ඉදිරියට යන්න ආසයි කිව්වම අප්පච්චි සතුටු වුණා. හැබැයි අම්මා විරුද්ධ වුණා. අම්මා ඇහුවේ ගැහැනු ළමයි මජං ගාගෙන දූවිලි ගාගෙන ඉන්න ඕනෙද කියලා. එයා කිව්වෙම ගැහැනු ළමයෙක්ට කරන්න ඕනෙ තරම් දේවල් තියෙනවා ඇයි ඉතින් ගැහැනු ළමයෙක්ට ඔබින්නේ නැති දෙයක් කරන්නේ කියලා. හැබැයි ඉතින් දැන් මං ඉන්න තැන දකිද්දි අම්මට මං ගැන ගොඩක් සතුටුයි. මම කරන වැඩ දිහා.. මගේ පේපර් ආර්ටිකල් දිහා බලලා එයා ගොඩක් සතුටු වෙනවා.

 

මේක හිතන තරම් පහසු ක්ෂේත්‍රයක් නොවෙයි නේද?

 

මගේ මේ අත්දෙක මේ තරම් රළු වෙලා තියෙන්නෙම වාහන එක්ක ඔට්ටු වෙලා. මේ වෘත්තියෙදී වැඩියෙන්ම හානි වෙන්නේ අත් දෙකට. අත් හීරිලා තියෙන නිසා සමහර දවසට බත් කටක් කන්න බත් ටික අනාගන්නවත් විදිහක් නැහැ. මෙතැනට එන කට්ටිය මට කියනවා අනේ ඔයාගේ අත් හීරිලානේ අත් දෙකට ග්ලවුස් දෙකක් දාගන්න කියලා. නමුත් අපේ රටේ තියෙන රස්නෙත් එක්ක ග්ලවුස් දාගෙන වැඩ කරන්න අමාරුයි. මේ වෘත්තිය එක්ක අත් දෙක පරෙස්සම් කරනවා කියන්නෙත් වෙනමම වැඩක් ඉතින්. ගොඩක් දුර දුවපු වාහන ආවම බොනට් එක ඇරපු ගමන් ඉතින් අත් පිච්චෙනවා. මගේ අත්දෙක දැන් ගන්න දෙයක් නැහැ. ඒ තරමට පතුරු ගැහිලා. ඒ වගේම ජැක් එකෙන් වාහන උස්සලා තියෙද්දි වාහනේ යට හරි පරෙස්සමෙන් වැඩ කරන්න ඕනේ.

ඒකයි හැමෝම කියන්නේ මේක අවදානම්සහගත වෘත්තියක් කියලා. මම අර වැඩ කරපු පොඩි ගරාජ් එකේ වැඩ වැඩියි. මීටර් 100ක් ගත්තොත් වාහන 5ක් විතර තියෙනවා. ඉතින් අව්වෙ කට්ට කාගෙන වැඩ කළේ. සමහර දවසට මම බැටරි 10ක් විතර උස්සනවා. ඉතින් රෑට ඇවිදගන්න බැහැ. නොන්ඩි ගගහා ඇවිදින්නේ.

 

කොන්ද කෙළින් කරගන්න බැහැ. ඉතින් මට මේක ඇති කියලා හිතුණු අවස්ථා ඕනෙ තරම්. දැනටත් ඒ විදිහටම අව්වට පිච්චි පිච්චී, වැස්සට තෙමි තෙමී වැඩ කරන්නේ. ඉතින් මේ වැඩ එක්ක පීඩනය වැඩි වුණාම මට මාවම දරාගන්න බැරි වෙනවා. ඒත් ඒ හැම වෙලාවෙදිම මම හිතුවේ මම මේක කොහොම හරි කරනවා කියලා. සමහර අයට මගේ ෆොටෝ සෝෂල් මීඩියාවලින් දැක්කම හිතෙනවා ඇති මේක සුන්දර රැකියාවක් කියලා. හැබැයි ෆොටෝස්වල දකින තරම් සුන්දරත්වයක් මේ රැකියාව තුළ නැහැ. හැබැයි හැමදේම සුන්දරව දැක්කොත් කොතැනත් සුන්දරයි. සමහර ගැහැනු ළමයි මෙහෙට ට්‍රේනින් ඇවිත් මාස 6කින් නවතිනවා. දැන් අවුරුදු තුනහමාරක් වෙනවා මම මේ වෘත්තියට පිවිසිලා. හැබැයි මම මේ වෘත්තිය අතහරින්නෙත් නැහැ. අතහරින්න හිතන්නෙත් නැහැ.

 

 

තරුණියක් විදිහට මෙවැනි වෘත්තියක නියැ‍ෙළද්දි ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

 

ලංකාවේ ප්‍රසිද්ධ වෙන්න කලින් ඇයි ඔයා මේ වගේ දෙයක් කරන්නෙ. ඇයි ඔයා මජං ගාගෙන ඉන්නේ. ඔයාට ලස්සන මුහුණක් තියෙනවා. ඒ මුහුණ ඔහොම විනාස කරගන්න එපා. එහෙම මට හැමෝම එක එක දේවල් කිව්වා. එතකොට පාර අයිනේ පොඩි පෙට්ටි කඩේ ගැරේජ් එකේ වැඩ කරනකොට ඒ අහල පහල කට්ටිය ගොඩක් හිනාවුණා.

 

ලංකාවේ ප්‍රසිද්ධ වුණාට පස්සේ දැන් මට හැමෝගෙන්ම ගරුත්වයක් ලැබෙනවා. මෙතැනට එන්න කට්ට කද්දි අම්මයි, අප්පච්චි විතරයි ළඟ හිටියේ. මම අඬපු අවස්ථා ඕනෙ තරම් තිබුණා. හැබැයි අද මං ඉන්න විදිහ දැක්කම හැමෝම සතුටු වෙනවා. පිරිමි අය පවා මං ගැන ආඩම්බර වෙනවා. මේ ගමන එද්දි මට වළ කපපු අයත් හිටියා.

 

මේ ගමන යන්න හැකියාව විතරක් තිබීම ප්‍රමාණවත් ද?

 

ඉස්සර කාලේ ගැරේජ්වල කට්ටිය වැඩ කළේ ලොකු දැනුමක් ලබාගෙන නෙවෙයි. ගොඩක් වෙලාවට ඒ දැනුම පරම්පරාවෙන් පරම්පරාවට ආපු දැනමුතුකමක්. හැබැයි එතකොට ඒ තිබ්බ දැනමුතුකම් එක්ක මේ ක්ෂේත්‍රය තුළ දැන් කරන්න තියෙන දේ සීමිතයි. මොකද මේ ක්ෂේත්‍රය දිනෙන් දින අලුත් වෙනවා. ඒකයි මේ ක්ෂේත්‍රයට එන්න කලින් න්‍යායාත්මක දැනුම අවශ්‍යයි. ඉතින් මේ දැනුම උපයාගන්න නම් විශ්වවිද්‍යාලයකට එහෙම නැත්තම් ටෙක්නිකල් කොලේජ් එකකට යන්න ඕනේ. නැත්නම් හැමදාම පරණ වාහන විතරක්මයි හදන්න පුළුවන්වෙන්නේ. අලුත් වාහන හදන්න නම් දැනුමත් අලුත් වෙන්න ඕනේ. මොකද මේ ෆීල්ඩ් එකට එද්දී ප්‍රැක්ටිකල් කරන්න කලින් තියරි දැනුම අවශ්‍යයි. අපි වැඩක් කරද්දි මොකක් හරි දෙයක් අමතක වුණොත් එකපාරම අපේ ඔළුවට එනවා අර තියරි පාඩම. එකයි තියරි පාඩම වටින්නේ.

 

මේ ක්ෂේත්‍රයට යා හැකි දුර ගැනත් කියමු

 

මේ වෘත්තිය තුළින් ඕනෙම ආයතනයක ටොප් මැනේජ්මන්ට් එක දක්වාම කෙනෙක්ට ඉහළට යන්න පුළුවන්. මොකද මේ ක්ෂේත්‍රයේදී phd සහ මාස්ටර් දක්වාම අපිට ඉගෙන ගන්න පුළුවන්. යුරෝපා රටවල නම් මේ ක්ෂේත්‍රයේ අවුරුදු දෙකක පළපුරුද්ද තියෙනව නම් අපිට කතා කරලා ගෙන්න ගන්නවා. මේ විදිහට මේ ක්ෂේත්‍රයෙන් යන්න පුළුවන් පැති බොහොමයි. වර්තමානය වනවිට ඔටෝ මොබයිල් ෆීල්ඩ් එක පිරිමි පාර්ශ්වයට වඩා කාන්තා පාර්ශ්වය තෝර ගන්න ලොකු උනන්දුවක් තියෙනවා. ඉතින් ඉදිරියේදී ලංකාවේ තරුණියන් බොහෝ ප්‍රමාණයක් මේ ක්ෂේත්‍රයේ දකින්න ලැබේවී.