හැමෝම ගන්න කැමැති වුණාට හරි විදිහට දෙන්න කැමැති නැහැ

සෙක්ස් කියන්නේ වෙනමම කලාවක්
අගෝස්තු 5, 2024

 

අපි ගොඩක් වෙලාවට හිතනවා පවුල් ජීවිතය සාර්ථකව ගෙනියන්න ආදරය, අවබෝධය, එකිනෙකාගේ අදහස්වලට ගරු කිරීම වගේ දේවල් තිබුණොත් ඇති කියලා. ඇත්තටම ඒ දේවල් ඇරුණම පවුල් ජීවිතයේ සාර්ථකත්වයට බලපාන තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ලිංගිකත්වය. ගොඩක් වෙලාවට මේ ලිංගික තෘප්තිය දෙදෙනා අතර සමගිය, ආදරය, එකමුතුකම වැඩිදියුණුකර ගන්නත් හොඳ හේතුවක් වෙනවා.

 

හැබැයි මේ ගැන ගොඩ දෙනෙක් විවෘතව කතා කරන්න ලැජ්ජා වුණාට හිත්වලින් කතාකරන්න හරිම ආස මාතෘකාවක්. ජීවිතය අපිත් එක්ක බෙදාගන්න සහකරු සහාකාරිය සමඟ ලිංගිකත්වය ගැන විවෘතව කතා බහ කරන්න බැරි තේරුම් ගන්න පුළුවන් ලොකුම දේ ඒ බැදීමේ පලුද්දක් තියෙනවා කියන එක. මොකද මේ ලිංගිකත්වය නිසියාකාරව සිදු නොවුණොත් එයින් පවුල් ජීවිතයට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්.

 

පවුල් ජීවිතයක් ගෙනියද්දි ලිංගික සම්බන්ධතාවත් අත්‍යවශ්‍යම දෙයක්. ලිංගික සම්බන්ධතාව පවත්වන්නේ අනාගත පරපුර බෝකර ගැනීම සඳහා පමණක්ම නොව දෙදෙනා අතර සම්බන්ධතාව අලුත් කරන්න වගේම තෘප්තියක් ලබා ගැනීම සඳහායි.

 

ලංකාවේ තරුණ දරුවන්ට ලිංගිකත්වය ගැන තියෙන අවබෝධය ඉතාම අඩුයි. ඒ නිසාම ඔවුන් විවාහ වෙන්නෙත් ඒ ගැන අවබෝධයකින් නොවෙයි. උපත් පාලනය කරන්න, දරුවන් අතර පරතරයක් තියාගන්නේ කොහොමද, ලිංගිකත්වය තුළදී එකිනෙකාගේ කැමැත්ත අකැමැත්ත මේ කිසි දෙයක් ගැන ඒ අයට නිසි අවබෝධයක් නැහැ. ගොඩක් වෙලාවට මේ අය යහළුවන් කියන දේවලුයි ඔළුවට දාගන්නේ. මේ විවාහ වෙන ගොඩක් අය ලිංගික සම්බන්ධතා සීමා කරන්න එක හේතුවක් තමයි දැන්ම දරුවන් අවශ්‍ය නැහැ ඒ නිසා දැන්ම ලිංගික ක්‍රියාවලට මුල්තැනක් දෙන්න ඕනේ නැහැ කියන මතය. ඉතින් ඒ අය දන්නේ නැහැ ඒවට තියෙන උපත් පාලන ක්‍රම ගැන. මේවා වෙන්නේ නොදැනුම්වත්කම නිසයි. මේවට පාසල් මට්ටමේ ඉඳලා සියලු දෙනාම වග කියන්න ඕනේ. තව එක හේතුවක් විදිහට ගම අතහැරලා නගරයට සංක්‍රමණය වීමත් හඳුන්වන්න පුළුවන්. නගරයට සංක්‍රමණය වෙද්දි ගමේ තිබුණ නිදහස නගරයේදී නැති වෙනවා. ගොඩක් අය දරුවෙක් එක්ක ඇනෙක්ස් එකක නැත්නම් පොඩි තනි කාමරයක තමයි ජීවත් වෙන්නේ. ඉතින් එක ඇඳයි තියෙන්නේ. මේ හැමදේම කරන්නේ මේ කාමරය ඇතුළේ. ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේ විදිහට කූඩු කාමරයකට හිරවීමෙන් අනෙකුත් සියලුම ආශාවන් නැතිවෙනවා. ඒක ඇතුළේ ඉඳන් උසස් අධ්‍යාපනය ලබනවා. වැඩට යනවා. මේ දේවල් එක්ක ලිංගිකත්වය කියන දේ පිටුපස දොරින් පලා යනවා. ඊළඟ කරුණ විදිහට ආර්ථික ප්‍රශ්න හඳුන්වන්න පුළුවන්. කන්න බොන්න ඕනේ. ඇඳුම් පැලඳුම් ඕනේ. දරුවන්ට උගන්වන්න ඕනේ. රෙන්ට් එක ගෙවන්න ඕනේ. ඉස්සරට වඩා මේ ආර්ථික ප්‍රශ්න වැඩියි. මිනිසාට ඔරොත්තු දිය නොහැකි ප්‍රමාණයට මේ ආර්ථික බර ඔළුව උඩට පැටවිලා තියෙන්නේ. ඒක එහෙම වෙද්දි මනුස්සයෙක්ට ලිංගික හැඟීමක් එන්නේ නැති එක පුදුම වෙන්න දෙයකුත් නැහැ. එතකොට තරුණ දෙන්නෙක් ජීවත් වෙන්නේ මහගෙදර නම් ඒ දෙන්නට නිදහසක් කියලා දෙයක් ලැබෙන්නේ නැහැ. පවුලේ අය, මව්පියෝ මේ අය එක්ක අලුත බැඳපු දෙන්නෙක්ගේ ‍ෙපෟද්ගලිකත්වය රැකෙන්නේ නැහැ.

සමහර අය මනෝ උපදේශන ගන්න එනවා. මගේ නෝනා කාලයක ඉඳන් මගේ ළඟට එන්නේ නැහැනේ කියලා. ඉතින් නෝනගෙන් ඇහුවම නෝනා කියන්නේ අපි ඉන්නේ මහගෙදර අපි හැමදේම කරන්නේ එක කාමරේක. ඒ ළඟ කාමරවල අම්මලා තාත්තලා ඉන්නවා, සහෝදර සහෝදරියෝ ඉන්නවා. එයාලා රෑ වෙනකම් ඇහැරලා ඉන්නවා. එයාලා ඔක්කොම නිදියගන්නකම් ඉන්න ගියාම මටත් නින්ද ගිහින්. තව සැමියෙක්ගේ බිරිය දුන්නේ ඊට වඩා වෙනස් උත්තරයක්. මම දවසෙම දරුවන්ගේ වැඩ, කුස්සියේ උයන පිහන වැඩත් එක්ක ඉන්නේ. රෑ වෙනකම් මට ඇඟ සෝදගන්නවත් වෙලාවක් නැහැ. කොහොම හරි ඇඟ සෝදලා ඇඳට ගියත් මට හිතෙනවා මගේ ළඟ ඉඳුල් ගඳයි. මේ ගඳට මහත්තයා කැමැති වෙන එකක් නැහැ. එහෙම ගඳ ආවොත් එයාට මාව එපා වෙයි. එහෙම කියලා හිතලා මම ඔහුව ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒක හරිම මානුෂීය හේතුවක්. ඒක මනසත් එක්ක බලපාන ප්‍රශ්නයක්.

 

අනෙක් හේතුව තමයි දුරකථන ඇබ්බැහිය. ගොඩක්ම අපේ කාන්තාවන් තමයි මේ මුළාවට හසුවන්නේ. මේ නිසාම කාන්තාවෝ දුරකථන චැට් එක්ක කාලේ ගෙවද්දි ලිංගික සම්බන්ධතාවට තියෙන උනන්දුව නැති වෙලා යනවා. කාන්තාවෝ හරි කැමැතියි කවුරු හරි ආදරෙන් කතා කරනවට. කාන්තාවන් ඒක සැමියන්ගෙන් බලාපොරොත්තු වුණත් ගොඩක් වෙලාවට ඒක ලැබෙන්නේ හරිම කලාතුරකින් කෙනෙක්ට. ඉතින් කාන්තාවකට කවුරු හරි ආදරයෙන් කෙටි පණිවුඩ එව්වොත් කාන්තාව හිතනවා එතැන තමයි ආදරය තියෙන්නේ කියලා. ඉතින් ඩිජිටල් තිරයේ පෙන්වන කෙනෙක් අාදරයෙන් “මගේ පැටියෝ ඔයා කෑව ද? මගේ සුදු අම්මි ඔයා මොකද කරන්නේ” කියලා අහපු ගමන් අහු වෙනවා. ඉතින් ඩිජිටල් තිරයේ පෙන්වන කෙනෙකුට රහසින් ආදරය කරන්න පටන් ගන්නවා. මොකද කාන්තාවෝ හරි ආසයි කාගේ හරි අවධානයක් ආදරයක් ලැබෙනවට. ඒ ආදරය සෙනෙහස නොලැබෙද්දී පීඩනයකට පත්වෙනවා. ඒ පීඩනය නැති කරගන්නේ ඒ විදිහට කාත් එක්ක හරි චැට් කරලා. ඉතින් මේ දේවල් එක්ක කාන්තාව සැමියා එක්ක තියෙන ලිංගික සම්බන්ධතාවත් ටිකෙන් ටික සීමා කරනවා.

 

ඊළඟට රැකියාව නිසා දෙන්නා දෙපැත්තට වීම. හිතන්න හමුදා නිලධාරියෙක් කියලා. ඔහුට නිවාඩු ලැබෙන දවස් 10ට කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඉඩකඩම් සම්බන්ධ දේවල්වලට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ඕනේ. අධ්‍යාපන වැඩවලට පාසලට යන්න ඕනේ. නෑදෑ ගෙවල්වල යන්න ඕනේ. ඉතින් කාන්තාවක් තමන්ගේ සැමියා නිවාඩුවට ගෙදර එනකම් බලාගෙන හිටියට තේරුමක් නැති වෙනවා. එතකොට වර්තමානය වනවිට සැමියයි බිරියයි දෙන්නම බීමත්කමට ඇබ්බැහි වීම. ඉතින් හැමදාම වගේ හවස් වේගෙන එද්දී මේ වැඩේ පටන් ගත්තම ලිංගිකව එකතු වෙන්න වෙලාවක් තියෙනව ද. අද කාන්තාව කොණ්ඩේ පාට කරනවා, මේක් අප් කරනවා, ෆේෂල් කරනවා. හැබැයි මේ දේවල් කරන්න නොලැබෙන කාන්තාව ඉච්ඡාභංගත්වයට පත්වෙනවා. එතකොට සැමියව ප්‍රතික්ෂේප කරනවා. කාන්තාවක් විවාහ වෙච්ච කාලේ තිබ්බ ලස්සන කාලයක් යද්දි නැති වෙනවා. ඔහේ පිටි මුට්ටයක් වගේ ජීවත් වෙනවා. ඉතින් සැමියාටත් එපා වෙනවා. ඒ නිසා ගමනක් යද්දි දැන් බිරියට වඩා සැමියා අඩි දෙකක් ඉස්සරහින් යන්නේ. සමහර ආගමික ප්‍රභූන් එහෙමත් නැත්තම් ආගම ප්‍රචාරණය කරන අයගෙනුත් බලපෑමක් ඇති වෙනවා. මේ විවාහය දුකක් කියලා වැරැදි දහමක් උගන්වනවා. කොයි ආගමේ කොතැනකවත් කියලා නැහැ විවාහක යුවළකට කම් සැප විඳින්න තහනම් කියලා. ඉතින් සමහර කාන්තාවෝ දවස් 7ක් සිල් ගන්නවලු ගෙදර ඉඳලා. මේ කාලය තුළදී ලිංගිකව එකතු වෙන්න අකැපලු. සෝවාන් වුණා කියලා සහතිකත් දෙනවලු. මේවා ඒ බිරින්දෑවරුන්ගේ සැමියන් ඉදිරිපත් කරන ගැටලු. මේ විදිහට පවුල් ජීවිතය ගෙන යනවට වඩා හොඳයි විවාහ නොවී ඉන්න එක.

 

අනෙක් එක කැමැති අකැමැති දේවල්. තමන්ගේ සහකරු සහකාරිය ලිංගිකත්වය තුළදී කැමැති මොන දේවල්වලට ද අකැමැති මොන දේවල්වලට ද මම කොහොමද ඔයාට දෙයක් දෙන්නේ. එහෙම කවදාවත් අහලා නැතුව ඇති. ගොඩක් අය දෙන්නේ නැහැ. ගන්න තමයි බලාගෙනයි ඉන්නේ. ඒකයි ලොකුම ගැටලුව. සමහරවිට ලිංගිකත්වය තුළදී ආශාවන් ගැන විවෘතව ප්‍රකාශ කරන්න බැරි එයා මං ගැන මොනවා හරි හිතයි ද? කියලා හිතෙන මානසික ප්‍රශ්නය නිසා වෙන්නත් පුළුවන්. හැබැයි මේ ආශාවන් ගැන කතා නොකර ඉන්නතාක් කල් ඔබට හරි විසඳුමක් නම් ලැබෙන්නේ නැහැ.

 

ඒ වගේම මානසික අවපීඩනය වගේ තත්ත්වවලදීත් ලිංගික ආශාව අඩුවෙනවා. මොකද මානසික අවපීඩනයේදී ලිංගික ආශාවක් පමණක් නොව සහකරුවත් හතුරෙක් විදිහටයි පෙනෙන්නේ. විෂාදයේ අනෙක් කෙළවර තමයි උන්මාදය. එහිදී ලිංගික ආශාව වැඩියි. නවත්වන්න බැහැ. වියදම් කරනවා වැඩියි. බොරු සෝබන වැඩියි. කියවනවා වැඩියි. ලොකුකම් වැඩියි. ඒ අය තමන්ගේ බිරියට අමතරව වෙන වෙන අය වෙත ඇදී යාම වැඩියි.

 

ඉතින් මේ ලිංගිකත්වය කියන්නේ වෙනමම කලාවක්. ආදරයෙන් උපදින කලාවක්. ඒ කලාව තුළ ජීවත් වෙද්දි දෙදෙනා අතර හරි අවබෝධයක් තිබිය යුතුමයි. කතාබහ තුළින් දෙදෙනාගේ ඕනෑඑපාකම් හඳුනාගමින් හරි අවබෝධයක් ගොඩනගා ගත හැකියි.

ප්‍රවීණ මනෝ උපදේශිකා

අමා දිසානායක

කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී ලිපි මාලාව