අපේ අම්මා කොහේ හරි ඉඳලා මේ මැච් එක බලාගෙන ඉන්න ඇති

ආසියානු කුසලානයේ අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූ හර්ෂිතා සමරවික්‍රම
අගෝස්තු 5, 2024

හිරු අවරට යමින් රන්ගිරි දඹුලු ගලට ඉහළින් පායා ආවේ හැඩකාර හැන්දෑවකි. නිල් පාට අහස් කුසේ වලාකුළු අතුරින් අතුරින් පතර කළු වලාවක් පායා ආවත් අහස් ඒ කුසමත සිය දහසක් දෙනෙකුගේ බලාපොරොත්තු ලියැවී තිබිණි.

පසුගිය සති අන්තයේ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනය කාලයකට පසු අතුරු සිදුරු නොමැතිව ක්‍රීඩා ලෝලීන්ගෙන් පිරී ඉතිරී ගියේ ඓතිහාසික ජයග්‍රහණයක සතුට විඳගන්නටය. මේ තරගය අප පරාජය නොවන තරගයක් බව බොහෝ දෙනකුගේ විශ්වාසය සහ ප්‍රාර්ථනය විය. විශ්මිගෙන් පසුව තරගයට පැමිණියේ හර්ෂිතා සමරවික්‍රමය. ඇය නායක චමරි අතපත්තු සමඟින් එක් වී පන්දු 62දී ලකුණු 87ක් ලබා ගැනීම තරගයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කළේය. තරගාවලියේ සිය තෙවැනි අර්ධ ශතකය වාර්තා කළ චමරි අතපත්තු හතරේ පාර නවයක් හා හයේ පහර දෙකක් සමඟින් ලකුණු හැට දෙකක් ලබා සිටියදී දීප්ති ශර්මාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියාය.

ඊළඟට තරගයේ බර කරට ගත්තේ හර්ෂිතා සමරවික්‍රමය. ඇය කිසි ලෙසකත් සුවහසක් වූ ලාංකිකයන්ගේ බලාපොරොත්තුව බිඳ වැටෙන්නට ඉඩ නොතැබීය. ඇය කවීෂා දිල්හාරී සමගින් එක්වී පන්දු 48ක් තුළ ලකුණු 72ක ජයග්‍රාහී ඉලක්කය ජය ගත්තේ තවත් පන්දු අටක් ඉතිරිව තිබියදීය. මේ තරගයේ හර්ෂිතා පන්දු 51කදී ලකුණු 68ක් රැස් කළේ හතරේ පහර හයක් හා හයේ පහර දෙකක් සමඟිනි. එයට අනගි සහායක් ලබා දුන් කවීෂා දිල්හාරී පන්දු 16කදී ලකුණු 30ක් රැස්කර ගත්තේ හර්ෂිතාට අනගි අත්වැලක් වෙමින් ජයග්‍රහණය නියත ලෙසම හිමිකර ගැනීමේ අපේක්ෂාවෙනි.

මෙලෙසින් ජයග්‍රහණය ලැබූ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූයේ හර්ෂිතාය. ඇයගේ මෙම ඓතිහාසික ජයග්‍රහණයෙන් පසුව එම ජයග්‍රහණය සතුට අප සමඟ බෙදා ගන්නට එක් වූයේ තම ක්‍රීඩා ජීවිතයේ අතීතය ගැන ද සතුටින් ආවර්ජනය කරමිනි.

හර්ෂිතා ඔබ මේ තරගයේ වීරවරිය ලෙස කුසලානය හිමිකර ගැනීමට ලැබීම ගැන මොකද හිතන්නේ? ඇත්තටම මේ තරගය ගැන බයක් දැනුණේ නැද්ද?

 

මේ තරගාවලිය පුරාම චමරි අක්කා හොඳ ෆෝම් එකකින් හිටිය නිසා මට කිසිම බයක් තිබුණේ නැහැ. මම පන්දුවට පහර දෙන්න පිටියට බහිනකොට කිසිම ප්‍රෙෂර් එකක් නැතිව ක්‍රීඩා කරන්න පුළුවන් වුණා. ඒක මට ලොකු හයියක් වුණා.

චමරි අක්කා අවුට් වෙනකොට කවීෂා ග්‍රවුන්ඩ් එකට ආවා. චමරි අක්කාගේ රෝල් එක මගේ අතට අරගෙන ක්‍රීඩා කරන්න මට එයා එක්ක දිගටම පුළුවන් වුණා.

මම හොඳට පිටිය හඳුනාගෙන හතරේ පහරවල් ගහලා ලකුණු රැස් කළා. ඇත්තටම මට ඒ නිසා ලොකු ප්‍රෙෂර් එකක් දැනුණේ නැහැ.

 

ඔබ හොඳින් පන්දුවට පහර දුන්නට පන්දු රැකීමේදී පන්දු දෙකක්ම ඔබේ අතින් ගිලිහී ගියා. එයින් ඔබ මානසිකව නොවැටී හොඳින් පන්දුවට පහර දුන්නේ කොහොමද?

ඇත්තටම මගේ අතින් පන්දු දෙකක්ම අත හැරුණා. නමුත් මම dressing Room එකට ආවට පස්සේ ප්‍රධාන පුහුණුකරු අපට විශාල නිදහසක් දුන්නා. අපගේ මනස හදාගෙන ක්‍රීඩා කරන්න ඒක විශාල ශක්තියක් වුණා. ඒ නිසා පන්දුවට පහරදීමේදී මගේ අතින් වුණු අඩුපාඩුව හදාගෙන ක්‍රීඩා කරන්න මට ශක්තියක් ලැබුණා. ඒ නිසා කිසිම පීඩනයක් නැතුව හොඳින් ක්‍රීඩා කරන්න මට පුළුවන් වුණා.

 

ඔබ මේ තරගයේදී ඉතාම සූක්ෂම ලෙස හොඳින් ලකුණු රැස්කිරීම සිදු කරන අයුරු කවුරුත් දැක්කා. එසේ ලකුණු රැස්කිරීම කළේ කොහොමද?

ඒ වෙලාවේ හැටියට හතරේ පහරවල් ගහන අතරේ තනි ලකුණු රැස්කිරීමේ අවශ්‍යතාවය තිබුණු බව මම දැක්කා. මම ඒ නිසා සෑම අවස්ථාවකදීම ලකුණක් රැස්කිරීම අත්හැරියේ නැහැ. ඇත්තටම මේ තරගය පසුගියදා පාකිස්තානය සමඟ පැවති තරගයට වඩා පහසු වුණේ පන්දුවට පහර දෙන අයට වාසිදායක තණ තීරුවක් නිසයි. ඒ නිසා මට ලකුණු රැස්කර ගැනීම පහසු වුණා.

 

ඔබ මේ තරග ජයග්‍රහණය ගැන දකින්නේ කොයි ආකාරයටද?

මේක මම විතරක් ලබපු ජයග්‍රහණයක් නෙවෙයි අපේ කණ්ඩායමේ හැම කෙනෙක්ම මේ තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කළා. ඒ නිසා තමයි අපට අවසාන මහා තරගය දක්වා අපරාජිත කණ්ඩායම ලෙසින් තරග කිරීමට අවස්ථාව ලැබුණේ. ඇත්තටම මේ වගේ විශාල ක්‍රීඩා ප්‍රේක්ෂකයින් පිරිසක් ඉදිරියේ මම ක්‍රීඩා කළ පළමු අවස්ථාව. ඒක අපට ලොකු හයියක් වුණා. ඇත්තටම අපේ ලොකුම ඉලක්කය තමයි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම. ඉදිරියේදී 20-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වෙනවා. එම තරගාවලියේදී ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න. මේ ජයග්‍රහණය වඩාත් වැදගත්. අපි තරග ජයග්‍රහණය කරා යන්නේ තරගයෙන් තරගයට. අප මේ ලැබූ ජයග්‍රහණය ශක්තිය ලෝක කුසලානය ජයග්‍රහණයට වඩාත් වැදගත්.

 

හර්ෂිතා, දැන් ඔබ රටම දන්න දක්ෂ ක්‍රීඩිකාවක්. ඔබේ ක්‍රීඩා ජීවිතයේ ආරම්භය ගැන මොකද හිතෙන්නේ?

මම ක්‍රීඩා කරන්න පටන් ගන්නේ මට අවුරුදු එකොළහක් විතර වයසේදී. එතකොට නම් ජාතික කණ්ඩායමට එකතු වෙන්න ඕනෙ කියලා ආසාවක් තිබුණේ නැහැ. මගේ දක්ෂතාවය දැකපු ලලංග රාජපක්ෂ සර් තමයි ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න මට මුලින්ම අත දුන්නේ. ඒ වගේම ශෂිකලා සිරිවර්ධන මිස් සහ ඇයගේ සැමියා නාමල් සෙනෙවිරත්න සර් දෙන්නා මට මේ තරම් දුරක් එන්න හුඟක් උදව් කරපු පුහුණුකරුවන් දෙන්නෙක්.

මම මුලින්ම පාසල් ගියේ කොළඹ සංඝමිත්තා විද්‍යාලයට. ඉන්පසු මම ශිෂ්‍යත්වය හොඳින් සමත් වෙලා ගෝතමී බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. එම විද්‍යාලයෙන් ඉවත් වෙලා අනුලා විද්‍යාලයට මට යන්න සිද්ධ වුණේ ක්‍රීඩා කිරීමේ අරමුණ නිසයි. ඇත්තටම මම ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ අයියා නිසයි. මගේ අයියා ලහිරු සමරවික්‍රම.

 

ඇත්තටම කාන්තාවක් ක්‍රිකට් ක්‍රීඩාවට තවමත් උනන්දුව අඩුයි. අම්මලා හිතනවා දරුවාගේ අධ්‍යාපන කටයුතු අඩාළ වෙයි කියලා. ඔබ ඒ දෙකම සමබරව පවත්වාගෙන ගියේ කොහොමද?

මට ඒකට ලොකුම සහයෝගය ලැබුණේ මගේ අම්මාගෙනුයි තාත්තා සහ අයියාගෙන්. දැන් අයියා විවාහකයි. ඒ වගේම මගේ පාසලේ ගුරුවරු විශාල සහයෝගයක් දුන්නා මේ දෙකම සමබරව කරගෙන යන්න. මගේ යාළුවෝ සමහර විෂයයන් අතපසු වුණාම ගෙදර වැඩ සියල්ලම ඒ අය මට ලබා දුන්නා. ඒ සියලු දෙනාගේ සහයෝගය නිසයි මට සාර්ථක ගමනක් යන්න අවස්ථාව ලැබුණේ.

 

ඔබ ක්‍රිකට් ක්‍රීඩා කරන්න යන්න හදනකොට අම්මයි, තාත්තයි මොකද කිව්වේ?

තාත්තා ඒකට මට සම්පූර්ණයෙන්ම උදව් කළා. මම පුහුණුවෙන තරගවලට එක්ක ගියේ, තරග පැවැත්වෙන විට ඒ තරගවලට මාත් එක්ක යන්න හිටියේ තාත්තා. ක්‍රීඩා උපකරණ අරන් දුන්නෙත් තාත්තාමයි. මගේ තාත්තා ජයන්ත සමරවික්‍රම. ඔහු තවමත් මම ක්‍රීඩා කරනකොට එනවා. නමුත් මගේ අම්මා මට සෑම වෙලාවේම කිව්වේ අධ්‍යාපන කටයුතු සමබරව කරන අතර ක්‍රීඩා කරන්න කියලා. අම්මා හැම වෙලාවෙම මාව අධ්‍යාපනයට උනන්දු කරපු නිසා මම පාසල් අධ්‍යාපන වැඩත් හොඳට කළා. නමුත් පසුගිය වසරේ මගේ අම්මා හදිසියේම මිය ගියා. මගේ අම්මා හර්ෂිකා මාධවී සමරවික්‍රම. ඇය මගේ පස්සෙන්ම හිටියා. ඇත්තටම අම්මා අද මේ මැච් එක කොහේ හරි ඉඳලා බලාගෙන ඉන්න ඇති. මම මේ එඪද එක ගැහැව්වෙ අම්මා වෙනුවෙන් කියලායි මම හිතන්නේ.

 

ඔබට ශ්‍රී ලංකා 19න් පහළ සහ 23න් පහළ කණ්ඩායමේ නායිකාව ලෙස හොඳ අත්දැකීමක් තිබෙනවා. ඔබ ලැබූ ඒ අත්දැකීම කොයිතරම් ප්‍රයෝජනවත්ද?

මට ලැබුණු අත්දැකීම අනුව මනසින් ශක්තිමත්ව තරගයට මුහුණ දීම ඉතා වැදගත් බව මම හොඳින්ම තේරුම් ගත්තු දෙයක්. චමරි අක්කා, ඕෂදී අක්කා, ශෂිකලා අක්කාගෙන් දැන් මම හුඟක් දේ ඉගෙන ගෙන තියෙනවා. ඒ අය අපට දෙන උපදෙස් හරිම වටිනවා. හැමෝටම නායිකාව වෙන්න බැහැ. ඒකටත් හැකියාව සහ නායකත්වය ගැන හොඳ අවබෝධයෙන් කළ යුතු දෙයක්. චමරි අක්කාගෙන් මම හුඟක් දේ ඉගෙනගෙන තියෙනවා. ඇත්තටම චමරි අක්කා වගේ නායිකාවක් ලැබීම අපේ කණ්ඩායමට ලොකු වාසනාවක්.