Cooking Tips & Tricks

සැප්තැම්බර් 16, 2024

අප වෘත්තීය වශයෙන් කිනම් රැකියාවක් කළද ගෘහිණියක ලෙස නි‍ෙවසේ ඇති කාර්යභාරය අමතක කරන්නට බැහැ. එහි කටයුතු සමස්ත පවුලේම නීරෝගීතාවයට මෙන්ම කාර්යක්ෂම බව කෙරෙහි ද බලපානවා. ඉතින් කාර්යයබහුල ගෘහිණියකවන ඔබට මෙන්න මේ දේවල් ඔබේ කටයුතු පහසුකර ගැනීමට උපකාර කරාවි.

 

1. අස්පස් කිරීම් කොටස් ලෙස වෙන් කර ගනිමු

 

රැකියාවට යන, සතියේ දිනවල විවිධ වෙනත් රාජකාරී කටයුතුවලින් බහුල ඔබට නි‍ෙවස පිරිසුදු කිරීම් කටයුතුවලට දිනපතා කාලය සොයා ගැනීම අසීරු වෙන්නට පුළුවන්. මෙයට හොඳම විසඳුම වන්නේ නි‍ෙවස කොටස්වලට වෙන් කර ඒ ඒ කොටස් වෙනුවෙන් දවසක සුළු කාලයක් වෙන් කර ගැනීමයි. ඒ සඳහා නියමිත කාල සටහනක් වගේම පවුලේ අයගේ සහයද එකතු කර ගැනීමට ඔබට පුළුවන්. එවිට නි‍ෙවසේ පිරිසුදුකම පවත්වා ගැනීමේ වගකීම පවුලේ සියලුමදෙනා සතු වගකීමක් වෙනවා.

 

2. ගෑස් ළිප පවිත්‍ර කර ගන්න ලේසිම ක්‍රමය

 

එදිනෙදා ඉවුම් පිහුම් කටයුතු කිරීමේදී ළිප අපිරිසුදු වීම සාමාන්‍ය දෙයක්. එම නිසාම දවසේ ආහාර සකස් කළ බඳුන් සෝදා පිරිසුදු කරගන්නවා හා සමානව එය දිනපතා පිරිසුදු කර ගැනීම හරිම වැදගත්. මේ සඳහා ළිපේ සියලුම උපාංග ගලවා, ග්ලාස් ක්ලීනර් සහ බේකිං සෝඩා ඒ මතට ඉස ස්පොන්ජ් එකකින් අතුල්ලා සෝදා ගන්න. මෙය දිනපතා කරන්නට පුළුවනි.

 

3. සින්ක් සහ ටැප් පිරිසුදු කිරීම

වතුර පැල්ලම් වගේම තෙල්, ඉඳුල් පැල්ලම්වලට නිරාවරණය වන නිසා නිතරම මේ තැන් දෙකම පිරිසුදු කිරීම හරිම වැදගත්. ඉහත ද්‍රව්‍ය යොදාගෙන, ඒ ආකාරයටම පිරිසුදු කිරීම කරන්නට පුළුවන්. ඒ වගේම ග්ලාස් ක්ලීනර් සඳහා ඩිශ් වොශ් යොදා ගන්නටත් පුළුවන්.

 

4. කිචන් ටවල් පිරිසුදු කර ගැනීම

කිචන් ටවල් කියන්නෙත් ඉතාමත්ම පිරිසුදුව පවත්වාගත යුතු වගේම දිනපතා පිරිසුදු කරගත යුතු දෙයක්. නමුත් සමහර අවස්ථාවල ඔබ දවස් කීපයකට වරක් පිරිසුදු කරනවාද විය හැකියි. පාවිච්චි නොකරන බඳුනකට වතුර දමා රත් කරන්න. එයට කිචන් ටවල් දමා හොඳින් රත් කරන්න. උතුරන විට ළිප නිවාගෙන ටවල් ඉවත් කර ගන්න.අතුල්ලමින් සෝදන්න. ඉතාමත්ම හොඳින් පිරිසුදු වෙනවා.

 

5. සතියකට අවශ්‍ය දේවල් කලින් පිළියෙල කර ගන්න

රැකියාවකට වගේම දවසේ දූ දරුවන්ගේ වැඩ කටයුතු සමඟ සතියේ දිනයන් හි කාර්ය බහුලවන ඔබට සති අන්තයේදී සතියේ දවස් පහට අදාළ කෑම වර්ග පහසුවෙන් සූදානම් කර ගත හැකි ලෙස සකසා තබා ගන්නට හැකි නම් එය ඉතාමත්ම පහසුවක්.නමුත් මේ ආහාර හෝ සැකසුම් නරක් නොවී කල් තබා ගැනීමත් තරමක අසීරු කාර්යයක්. ශීතකරණයේ ගබඩා කරන අමු ආහාර සෝදා පිරිසුදු කරගෙන හොඳින් තෙත මාත්තු කර ගන්න හෝ වතුර බේරා ගන්න. රම්පේ, කරපිංචා, එළවළු, කොළ වර්ග ආදී සියලුම දේවල් මෙලෙස අසුරා තබා ගන්නට හැකියාව තිබෙනවා. ඊට පසු ටිෂූ කොළයක් හෝ තුනී කපු සර්වියට් එකක් අසුරන බඳුනට දමා එයින් ආවරණය කර, පියන වසා ශීතකරණයේ තබන්න.

 

6. තුනපහ බෝතල් මේ විදිහට පිරිසුදු කරගන්න

කුස්සියේ පිටත තිබෙන තුනපහ බෝතල් ආදියේ නිතරම ඇලෙනසුළු ගතියක් දකින්නට පුළුවන්. තෙල් සහ දූවිලි නිසා තමා එහෙම වෙන්නෙ. පේපර් ටවල් එකකට ග්ලාස් ක්ලීනර් ටිකක් දමා හොඳින් පිසදා ගන්න පුළුවනි. මෙය සතියකට දවසක් පමණක් කිරීමෙන් අලුත් පිරිසුදු පෙනුමක් රඳවා තබා ගන්නට පුළුවනි.

 

මෙන්න මේ දේවලුත් සියල්ලම ඔබේ එදිනෙදා ජීවිතය වඩාත් පහසු, කාර්යක්ෂම එකක් බවට පත් කරන බවට කිසිදු සැකයක් නැහැ.කාර්යක්ෂම ගෘහිණියක් ලෙසට ඔබේ කාලේ ඉතිරි කර ගන්න ඒ වගේම පහසුවෙන් සැහැල්ලුවෙන් එදිනෙදා ගෙදර වැඩ කටයුතු වල නියැළෙන්නට මේ kitchen tips ඔබට උපකාර වේවි. බිත්තර තැම්බූ පසු උණුවෙන්ම සීතල වතුර බඳුනකට දමන්න පහසුවෙන්ම කටු ඉවත් කර ගන්නට පුළුවන් .

වීදුරු බෝතලයකට බිත්තර පිටි ලුණු දමා මූඩිය වසන්න. හොඳින් සොලවන්න .එය ශීතකරණයේ තබා ගෙන බිත්තර රොටී අවශ්‍ය වෙලාවට ඉන් ටිකක් දමා එකක් සාදා ගන්න පුළුවන් කලබල වෙලාවට කදිම පහසුවක් .

තම්බා ගත් අල ඉක්මනින්ම සීතල වතුරට දමන්න. ඉතාමත් පහසුවෙන් ම පොතු ගැලවෙනවා.

වියලි සුදු ලූනු පොතු ඇර ගන්න පහසුම ක්‍රමයක් තමයි මේ බඳුනකට සුදු ලූනු දමන්න. තවත් බඳුනකින් වසා හොඳින් සොලවන්න. පොතු ගැලවී යනවා.

හෑන්ඩ් බීටර් එකෙන් බීට් කරද්දි බීට් කරන ද්‍රව්‍ය ඉවතට විසිවීම බොහෝ දෙනා මුහුණ දෙන ගැටලුවක්. පේපර් ප්ලේට් එකක් ගෙන බීටරය එය හරහා සවි කරන්න.

මේස රෙද්ද මතට තෙල් වැටුණු විට විගසින්ම ඒ මතට කෝන්පිටි ටිකක් ඉසින්න.විනාඩි පහළොවකින් පමණ ඉවත් කරන්න. තෙල් පැල්ලම අතුරුදන් වී තිබෙන බව ඔබට පෙනේවි. පිහිය මුවහත් නැත්නම් පෝසිලේන් කෝප්පයක් ගන්න. එහි යටි පැත්තේ දාරවල පිහිය හොඳින් අතුල්ලන්න දැන් වෙනස බලන්න.

කැඳ වර්ග සාදා ගැනීමට අවශ්‍ය කොළවල යුෂ කල් තබා ගැනීමට අයිස් කැට ලෙස සකසා තබා ගන්න.